Image: Stuttgarter-zeitung / Foto dpa/Christoph Schmidt

ජර්මන් ජනයා දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහස් ගනනින් වීදි බසිමින් සිටී. එය එසේ සිදුවෙනවා දැකීම සතුට ගෙන දෙන කරුණක්. එයට පසුබිම් වන කාරනය වන්නේ AfD නැමති දේශපාලන පක්ෂයේ දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිවයි.

AfD පක්ෂයේ එක් දේශපාලන සටන් පාඨයක් වන්නේ සංක්‍රමණිකයන් ජමනියෙන් පිට කලයුතු ය යන්නයි(Remington). පසුගිය නොවැම්බර් 25 ඉතා රහසිගතව රැස්වූ එම පක්ෂය ඔවුනට බලය ලැබුණහොත්, සියලු සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමට අදාල සැලසුම් සකස් කළ බවට මාධ්‍ය වල සඳහන්. ඒකී කාරනය වැඩිදුරටත් තහවුරු වන්නේ ජූනි මාසයේදී පැවැත්වෙන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයෙකු පොතක් ලියමින් සඳහන් කරන්නේ සංක්‍රමණික පසුබිමක් සහිත මිලියන 15 ක් පමණ වන ජර්මන් ජාතිකයන්ද ජර්මනියෙන් පිටකර හැරිය යුතු බවයි.

නාසි දක්ෂිණාංශික අන්තවාදීන්ගේ නැගීටීම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානවවාදය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සති අන්තයේ දහස් ගනනින් ජනයා පවුල් පිටින් තමන්ගේ ළමයින්ද සමඟ පාරට ආවේය. ජර්මන් පොලිස් වාර්තාවලට අනුව ඇතැම් නගරවල 2000 ක් පමණ විරෝධතාකරුවන් අපේක්ෂා කලත් විනාඩි ගනනාවක් ඇතුලත එය දහස් ගනනක් , ලක්ෂ ගනනක් දක්වා වැඩිවිය. දුම්රිය ජනයාගෙන් පිරී ඉතිරී ගියේය. එය එසේ වෙනවා දැකීම සිතට සතුටක් ගෙන දෙන්නක් විය.

ලෝක යුද්ධවල කටුක අත්දැකීම් ඇති ජර්මන් ජාතිකයන්ට නැවත වතාවක් එවැනි අමිහිරි අතීතයකට යාමට ඇති අකමැත්ත මෙය කදිම සාක්ෂියකි. එපමණක් ද නොව මහා පවුරක් ලෙස පෙනී සිටිමින් ඔවුන් ආරක්ෂා කරන්නේ සංක්‍රමණිකයන් ලෙස මෙරටට පැමිණි ජනයාගේ අයිතිවාසිකම්ය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීමේ වාසිය තමාට පමණක් නොව මුළු රටටම වැදගත් වන බව ඔවුන්ගේ හැගීමයි. මෙසේ වීදි බැසූ ජනයාට තමාටම පෞද්ගලික වූ දේශපාලන මතයක් තිබුණද, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම අංක එක ලෙස ඔවුන් සලකයි. ජර්මන් ජාතිකයන්ගේ මෙම ගුණය කවදත් අගය කළ යුතුය.

ශ්‍රී ලංකාවටද එවැනි අමිහරි මතකයන් බොහෝ තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම හා තමාගේ මෙන්ම අනෙකාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය මානවවාදී හැගීම ජනිත වන්නේ ඉතා සුළු පිරිසකට පමණි. වසර 30 කට ආසන්න යුද්ධයකින් ඉතා අමිහිරි මතකයන් තිබුණද එකී ගැටළුවට විසදුමක් අවශ්‍ය බව කියා අප පාරට එන්නේ නැත. මන්ද එය අපගේ ප්‍රශ්නයක් නොව අනෙකාගේ ප්‍රශ්නයක් පමණක් වන බැවිනි.

වතුකරයේ ජනතාව වසර 200 ක් තිස්සේ දෙවෙනි පුරවැසියන් ලෙස සලකමින් රාජ්‍ය අපරාධයක් තවමත් සිදු වෙමින් පවතී, නමුත් ඊට එරෙහිව ජනයා පාරට එන්නේ නැත. මන්ද එය අපගේ ප්‍රශ්නයක් නොව අනෙකාගේ ප්‍රශ්නයක් පමණක් වන බැවිනි.

මෙවැනි බොහෝ උදාහරණ විශාල ප්‍රමානයක් අප සමාජයේ තිබුණත් අපට තවමත් ප්‍රශ්නය තේරුම් ගැනීමට අපට නොහැකි වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය අංක 1 ලෙස ගැනෙනවා වෙනුවට අංක 1 වන්නේ තමන්ගේ පෞද්ගලික පක්ෂ දේශපාලනයයි.

පසුගිය දා සිදුවූ ‘අරගලය’ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සිදු වූ අරගලයක ලක්ෂණ පෙනෙන්නට තිබුණද, එය දකුණට සීමා වූ ද, දේශපාලකයන් කෙරෙහි ඇතිවූ තරහ පිරිමසා ගැනීම වෙනුවෙන් සිදුවූවක් බවද කිව හැක. මන්ද යත් අරගලය නිම වීමෙන් පසු සියලු දෙනා තමාට පහසු තැන සිට බෙදී වෙන්වී තමන්ගේ දේශපාලනය කරන බව පෙනෙන්නට තිබෙන නිසාවෙනි.

ජර්මන් ජාතිකයන්ගෙන් අප ඉගන ගත යුත්තේ, අන්ත දක්ෂිණාංශිකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වන අභියෝගයන්ට එරෙහිව පාරට ඒමට උත්තේජනය සැපෙයෙන්නේ දේශපාලන පක්ෂ වලින් නොව එය ඔවුන් තුලම ඇති අත්හල නොහැකි ගුණයක් ලෙසයි. මෙවැනි සමාජයකට අපි ශක්තිමත් සිවිල් සමාජයක් යැයි කියමු! උද්ඝෝෂණ අවසානයේ ජර්මන් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට පැමිණි ජනයාට ස්තුති වන්ත වන බවයි.

ලෝකයේ කෙහේ හෝ මෙවැනි දේ වෙනවා නම් අප සතුටු වෙමු!

සේනක වත්තේගෙදර | Senaka Wattegedara