iMage: TheiSland

මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ අතකොළු වශයෙන් ක්‍රියාත්මක වන සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් දියත් කරනු ලබන ව්‍යපාරයක් වන බවයි. ජනාධිපතිවරයාගෙන් ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු, ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි මේ අවස්ථාවේ ඉල්ලා සිටින විට, එය සත්භාවයෙන් කරනු ලබන ඉල්ලීමක්ද නැද්ද යන්න සොයා බැලිය යුත්තේ, ඒ පුද්ගලයා එසේ ඉල්ලන්නේ ජනාධිපතිවරයාගෙන් ‘තාන්නමාන්න’ ලබාගත් නිසාද, එසේ නැත්නම්, එක දිගටම දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා ප්‍රතිපත්තියක් වශයෙන් එය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටියෙකු සහ පෙනී සිටින්නෙකු වශයෙන්ද යන්නයි. මේ කියන කෙනා, ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි අද කියන්නේ, තමාට ජනාධිපතිවරයාගෙන් ‘තාන්නමාන්න’ ලැබුණු නිසා නම්, එම ඉල්ලීම ඔහු සත්භාවයෙන් කරන්නක් නොවේ යැයි කෙනෙකුට සාධාරණ පදනමක පිහිටා චෝදනා කළ හැකිය. එහෙත්, මේ චෝදනාව නඟන විපක්ෂ නායකවරයා ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටි කාලයේ පවා මේ කියන පුද්ගලයා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එක දිගටම පෙනී සිට ඇති බව ඉතිහාසය පිරික්සූ විට කෙනෙකුට පෙනී යන කාරණයකි. එය, අඩු වශයෙන්, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ කාලයේ පටන් ඔහු පෙනී සිටි කාරණයක් වී ඇති බව අපට නිරීක්ෂණය කළ හැකිය.

ඊළඟට, විපක්ෂ නායකවරයා, ඇතැම් සිවිල් ක්‍රියාකාරීන්ද මෙහිදී පිල්ලි වශයෙන් ක්‍රියාත්මක වන බවට චෝදනා කරයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීම සිවිල් ක්‍රියාකාරීත්වය පැත්තෙන් පැනනඟින්නේ, ජේ. ආර්. ජයවර්ධන මේ ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ, එනම් 1970 දශකයේ අවසානයේ පටන් ය. මේ ක්‍රමයේ ඇති විනාශකාරීත්වය තර්කානුකූලව එදා රටට පෙන්වා දුන්නේ සමසමාජ පක්ෂය ඇතුළු වාමාංශික ව්‍යාපාරයයි. එසේම, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එම ක්‍රමය ඇති කිරීම කෙරෙහි සිය විරෝධය දැක්වීය.

තවදුරටත් මේ කාරණය පරීක්ෂා කර බැලිය හැකි ක්‍රමයක් තිබේ. එනම්, මේ වෙනුවෙන් අදත් පෙනී සිටින සිවිල් ව්‍යාපාර මොන අවස්ථාවකදී හෝ තමන්ගේ ඒ ස්ථාවරය (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ස්ථාවරය) වෙනස් කරගෙන හෝ තනුක කරගෙන හෝ යටපත් කරගෙන හෝ තිබේද යන්නයි. ඊට දිය හැකි උත්තරය, ‘නැත’ යන්නයි. රාජපක්ෂලා සහ විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින වෙනත් දක්ෂිණාංශික දේශපාලන ව්‍යපාර සමග හැර, අනෙක් සියලූ දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර සමග, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එක දිගටම එකම වේදිකාවේ ‘පුරවැසි බලය’ වැනි සංවිධාන හඬ නඟා ඇත. එහිදී, අද විපක්ෂ නායකවරයාගේ පක්ෂයේ සිටින ප්‍රධානීන් සහ වර්තමාන ජනාධිපතිවරයාගේ පක්ෂයේ සිටින්නන් සමග පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ සහ වෙනත් නොයෙකුත් වාමාංශික ව්‍යාපාර සමගත් මේ කියන සිවිල් සංවිධාන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දේශපාලනික ව්‍යාපාරවල එක දිගටම කටයුතු කර ඇත. ඒ නිසා, ඔවුන් ජනාධිපතිවරයාගේ හෝ වෙනත් අයෙකුගේ පිල්ලියක් වශයෙන් මේ අවස්ථාවේ කටයුතු කරතැයි චෝදනා කිරීම මොන විදිහකින්වත් සාධාරණ නැත.

තමා දරන මතයට වෙනස් මතයක් දැරූ පමණින් එම කෙනා පිල්ලියක් හෝ අතකොළුවක් වශයෙන් හඳුන්වයි නම්, එයින් පෙනෙන්නේ, තමා දරන මතය තර්කානුකූලව ස්ඵුට කරගැනීමේ නොහැකියාව නිසා කෙනෙකු පත්වන අසරණ භාවයකි. එවැන්නෙකු බොහෝවිට බලන්නේ, තමාගේ මතය වෙනුවෙන් සාරගර්භව පෙනී සිටීමට වඩා අනෙකාගේ මතය ‘පිල්ලියකට’ ලඝු කිරීමටයි. එය, තර්කයකට වඩා කුතර්කයකි.

විධායක ජනාධිපති ක්‍රමය එක දිගට පවත්වාගැනීම වෙනුවෙන් මෙතෙක් කටයුතු කර ඇති කඳවුර පසුපස ඇති චින්තනයේ තුන් ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. එනම්:

(1) මහ-ජාතිකවාදී වීම:

ජේ. ආර්. ජයවර්ධන මේ ක්‍රමය ඇති කළ දා පටන් මේ රටේ සියලූ මහ-ජාතිකවාදී ව්‍යාපාර සිටියේ මේ ක්‍රමය ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, අද ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරන කෙනෙකු මීට කලකට ඉහතදී පෞද්ගලික සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්, මේ කියන කාරණය ඉතා සරල ආකාරයෙන් තේරුම්ගැනීමට පහසුවක් විය හැකිය. ඔහු එදා කීවේ මෙයයි: ‘‘මේ ජනාධිපති ක්‍රමය නැති කළොත්, මේ රටේ ඕනෑම හම්බයෙකුට, ඕනෑම දෙමළෙකුට මේ රටේ පළමු පුරවැසියා වෙන්න පුළුවන් හරිම ලේසියෙන්.’ මේ ජනාධිපති ක්‍රමයට පිටුබලය සපයන ජාතිකවාදී සාරය ඒ ප්‍රකාශයෙන් කැටිකොට දැක්වෙයි. පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් තවත් ජාතිකවාදියෙකු/ජාතිවාදියෙකු වන උදය ගම්මන්පිල ප්‍රධාන විපක්ෂයට උපදේශාත්මක අනතුරු ඇඟවීමක් කෙළේය. එනම්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි කියන වර්තමාන උගුලට හසු නොවන ලෙසයි. එහිදී ඔහුගේ ප්‍රධාන තර්කය, මේ ක්‍රමය ආරක්ෂා කරගැනීම සඳහා මෙතෙක් ඔහු වැනි ජාතිවාදීන් නඟා ඇති සියලූ තර්කවලටත් වඩා බොළඳ එකක් විය. ඔහු කීවේ, මේ මගින් ඡන්දයක් නැති කෙරෙන්නේය යන්නයි. ඒක ඇත්ත! ඊළඟ ජනාධිපතිවරණයට කලින් ජනාධිපති ක්‍රමය අහෝසි කළොත්, ඊළඟ ජනාධිපති ඡන්දයක් නොපැවැත්වෙනු ඇත! එහි ඇති වරද කුමක්ද? මිනිසුන් ඡන්දයක් පාවිච්චි කරන්නේ හුදෙක් ඡන්දයක් පාවිච්චි කිරීම සඳහාමද, එසේ නැත්නම්, යම් කිසි පරමාර්ථයක් සාධනය කරගැනීම සඳහාද? අදාළ පරමාර්ථය වෙනස් කෙරෙයි නම් (එනම්, ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාව නැති කෙරෙයි නම්) ඒ වෙනුවෙන් තමන්ට හිමි විය යුතුව තිබුණු ඡන්දය අහිමි වෙතැයි කීම හිස් කතාවකි. ඒ නිසා, මෙවැනි ජාතිවාදීන්ගේ ‘තර්ක’ බරසාරව ගණන් ගැනීම නම් කාලය කාදැමීමක් පමණි.

(2) දෘෂ්ටිවාදී වීම:

විධායක ජනාධිපති ක්‍රමය ඉතා කාර්යක්ෂම පාලන ක්‍රමයක් බවත්, බොහෝ දියුණු රටවල් එම ක්‍රමය අනුගමනය කරන බවත් මේ අය පෙන්වා දෙති. සාමූහිකය වෙනුවට තනි පුද්ගලයා අධිනිශ්චය කිරීමේ අභිප්‍රාය මෙහිදි දැකගත හැකිය. එක පැත්තකින්, අපගේ වැනි නොදියුණු රටවල් සංවර්ධනය කිරීමට නම් එවැනි බලවත් පුද්ගලයෙකුට බලය පැවරිය යුතු බව ඔවුන්ගේ මතයයි. වරක්, අස්ගිරියේ නායක හිමිනමක්, ගෝඨාභය රාජපක්ෂගෙන් ‘හිට්ලර්’ කෙනෙකු වී මේ රට ගොඩගන්නැයි ඉල්ලා සිටියේ එබැවිනි. පාර්ලිමේන්තුව වැනි පුළුල් සාමූහිකයක් ගැන මෙවැනි අය තුළ විශ්වාසයක් නැත. මේ දෘෂ්ටිවාදයට අනුව, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යම් තරමකට හෝ හැකිළීමකින් තොරව, රටක් සංවර්ධනය කළ නොහැකිය යන මතයක් ඔවුන් තුළ තිබේ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක, අපේ ‘ව්‍යවස්ථා සභාව’ තමාගේ විධායක කාර්යයට බාධා පමුණුවන බවට චෝදනා කෙළේද ඒ මතයම සනාථ කරමිනි. ඔහු එයින් අදහස් කෙළේ, ජනාධිපතිවරයා වශයෙන් තමන්ට කැමති ආකාරයකින් තමන්ට කැමති පුද්ගලයන් (උදාහරණයක් වශයෙන් පොලිස්පතිවරයා) තමන්ට කැමති තනතුරුවලට පත්කිරීමට ‘ව්‍යවස්ථා සභාව’ හරහට සිටීම නපුරක් බව ය. එසේ තමාට බාධා කිරීමට ‘ව්‍යවස්ථා සභාවට’ තමා ඉඩ නොදෙන බවත් ඔහු කීවේය. එහෙත් අනිත් අතට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යම් අදහසක් අද ඇතැයි කියන්නේද ඔහුට ය! මේ නිසාම, ඔහු කියන විධායක ජනාධිපති ක්‍රමය අවලංගු කිරීමක් සද්භාවයෙන් කිරීමට අදහස් කරන දෙයක්ද යන්න ගැන බරපතළ සැක මතුවන බව කෙනෙකු පෙන්වා දුන්නොත් ඒ සමග එකඟ වීමට බැරිකමක් නැත.

3. ඊළඟ වාරය තමන්ට එතැයි සිතන නිසා අහෝසියට විරුද්ධ වීම

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට දක්වන විරෝධය, පිළිගත හැකි, සාධාරණ කාරණා මත පදනම් නොකර, හුදෙක් එම අදහස ගැන පවා කෝපයට පත්ව හතරවටේට පහරදෙන අය අයත් වන්නේ මේ කාණ්ඩයට ය. ඊළඟට එන්නේ තමන්ගේ වාරය යැයි මෙවැන්නෝ සිතති. ඒ නිසා, තමන්ට ලැබීමට ඇති ඒ අවස්ථාව නැති කරගන්නේ කුමකටදැයි ඔවුන් සිතනවා විය හැකිය. ඒ නිසා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් පක්ෂ වන මුත්, මේ මොහොතේ එසේ කිරීමට පක්ෂ නොවන්නේ පෙර කී හේතුව නිසා නොවන බව කරුණු සහිතව පෙන්වා දීමේ වගකීමක් විපක්ෂ නායකවරයාට තිබේ.

ඇත්ත, වර්තමාන ජනාධිපතිවරයා මේ වන විට, ජනතාවගේ ඡන්ද අයිතිය කිහිප වරක්ම උදුරාගෙන ඇත. ඔහු පිළිබඳ විශ්වසනීයත්වය ඔහු විසින්ම හෑල්ලූ කරගෙන තිබේ. අවසාන වරට, එවර අයවැයෙන් පවා වෙන් කරන ලද මුදල් ලබා නොදී සිටීම තුළින් පළාත් පාලන මැතිවරණය පවා නොපවත්වා සිටීමට තරම් ඔහු, ජනතාවගේ කැමැත්ත උරගා බැලීමේ මහා භීතියකින් පෙළෙන්නෙකු බව පෙන්වා දී තිබේ. ඉතිං, එවැනි පුද්ගලයෙකු විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමක් ගැන දැන් කතා කරන්නේ, වෙනත් රහස් අභිලාෂයක් මුල් කරගෙනද යන්න පිළිබඳ කෙනෙකු තුළ කුකුසක් ඇති වුණොත් එහි පුදුමයක් නැත.

එහෙත්, මේ සියලූ සැකසාංකා සිහියේ තබාගෙන, මේ ප්‍රශ්නය ගැන සාධාරණ ආකාරයකින් බැලීමටත් කෙනෙකුට හැකියාව තිබේ. පහත සඳහන් යෝජනාව අප මතු කරන්නේ ඒ අර්ථයෙනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍යයි. ඊළඟට, එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතුයි. ඒ සඳහා යම් කාලයක් ගත වෙයි. ඊළඟ ජනාධිපතිවරණය නියමිතව තිබෙන්නේ මේ වසරේ සැප්තැම්බරයේදී ය. ඒ නිසා, ඊට කලින් අර කියන කාරණා ද්වය ප්‍රායෝගිකව අවසානයක් කරගත හැකිද යන්න සොයාබැලීම වටී. එසේම, ඒ කාරණා දෙකම, විපක්ෂයේ සහයෝගයකින් තොරව සාර්ථක කරගත හැකි දේවල්ද නොවේ. ඒ නිසා, විපක්ෂයටත් ප්‍රතික්ෂේප කළ නොහැකි, විශ්වසනීය කොන්දේසි මේ යෝජනාවට එක් කළ යුතුව ඇත. උදාහරණයක් වශයෙන්, පාර්ලිමේන්තුව තුළින් තුනෙන් දෙකකින් සම්මත කරගැනෙන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ එකී යෝජනාව සමග එකටම, පාර්ලිමේන්තුවත් ඉබේම විසුරුවා හැරීමේ කොන්දේසියත් එක් කළොත්, තවත් ජනාධිපතිවරණයක් නොපවත්වා, වර්තමාන ජනාධිපතිවරයාටද නියමිත කාලයෙන් එක දවසක්වත් වැඩි පුර එම තනතුරේ රැඳී සිටීමට අවසරයක් නොදී, අලූත් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා, අලූත් ආණ්ඩුවක් පත්කරගැනීමේ අවස්ථාව උදා වන්නේය. එහිදී සිදුවන්නේ, අලූත් ආණ්ඩුවක් පත්කරගැනීමේ ඡන්ද අයිතිය ආරක්ෂා කරගෙන, අලූත් ජනාධිපතිවරයෙකු පත්කරගැනීමේ ඡන්ද අවශ්‍යතාව පමණක් අහෝසි වීම ය. එවිට, ඊළඟ වර තමාට ජනාධිපති විය හැකි යැයි දැනට සිතන කෙනෙකුට, අලූත් ක්‍රමය යටතේ ඊළඟ ප්‍රථම විධායක අගමැති විය හැකිය. එවැනි එකඟතාවක් මත මේ අහෝසිය සිද්ධ කෙරෙයි නම්, ඊටත් විරුද්ධ වීමට කෙනෙකුට ඉතිරි විය හැක්කේ එක හේතුවක් පමණි. එනම්, ඊළඟ සර්වබලධාරී ජනාධිපති වරය තමන්ට ලැබෙතැයි යන විශ්වාසය අතහැරීමට ඇති ලෝභකම පමණි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda