iMage:Lankadeepa
අද(25) සමාජ මාධ්‍ය තුළ රැව් දුන් එක් ප්‍රවෘත්තියක් විය. එය මෙයයි. ‘
විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් මෙතෙක් කල් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.
ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකිනි. කෙසේ වෙතත්, එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය ද අතිරේකව එක් කර තිබිණි.’
by Lankadeepa
කෙසේ නමුත් එම රෝහල් කාමරය/ ඇඳ පිළිබදව මා දන්නා මිතුරන් කිහිප දෙනෙක් ඔවුන්ගේ ෆේස්බුක් තුළ මෙවැනි අදහස් ලියා තිබිණි.
‘ඇඳක් විතරක් නෙවෙයි, තමන්ටම කියලා පුටුවකුත් ජේ.ආර්. හදාගත්තා. ඒකෙ වාඩිවීම අනුර නවත්තන්නෙ කවද්ද?’ ගාමිණි වියන්ගොඩ
‘රෝහල් ඇද නොව JR විසින් ඇතිකල, විධායක ජනාධිපති පුටුව නම් මේ AKD අත අරින්නේ නැහැ. උපරිම උත්සාහයෙන් රැකගන්නවා’ හසන්ත ගුණවීර
‘ජේ.ආර්.ගෙ ඇඳ නම් මිනිස්සුන්ට දුන්න. හැබැයි ජේ.ආර්. හදපු පුටුව නම් අතහරින පාටක්වත් නෑ. තදට අල්ලගෙන ඉන්නෙ.’ ශ්‍රීනාත් පෙරේරා
මෙම අදහස් තුළ ඇත්තේ ගැඹුරු සත්‍යකි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණ සිය ඉතිහාසයේ පටන් දැඩි ලෙස විරුද්ධවූ තවත් ප්‍රධානම දෙයක් වන්නේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයයි. ඒ වෙනුවෙන් සම්මන්ත්‍රණ, සාකච්ඡා දක්වා මහ පාරේ පවා සිය විරෝධය දැක්වූ පක්ෂයක් තවත් ශ්‍රී ලංකාවේ ඇත්තේ නැත. ඒ තරමටම ඔවුන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූහ. දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විධායක ජනාධිපති පුටුවේය. එපමණක්ද නොව එදා ගිරිය කඩා ගෙන විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව වූ ඔවුන් අද එම ධුරය අත්හරින බවක් නම් පෙනෙන්නට නැත. එදා පැවති විරෝධය දැන් ආදරයක් බවට පත් වී ඇති සේයකි. නමුත් ඔවුන් විධායක ජනාධිපති ධූරය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් ජේ. ආර්. ජයවර්ධන භාවිතා කළ ඇඳ පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද බව කියැවිණි.
ඇඳ සහ පුටුව
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය යනු බොහෝ විට සලකුණු (Symbols) සහ යථාර්ථය (Reality) අතර පවතින දැවැන්ත පරතරය පිළිබඳ කතාවකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 1001 අංක දරන “ජනාධිපති ඇඳ” මහජනතාවට විවෘත කිරීම සහ ඒ වටා ගෙතුණු සමාජ මාධ්‍ය සංවාදය මෙම පරතරය මනාව පැහැදිලි කරයි. ඉහත සදහන් කළ මා මිතුරන්ගේ අදහස් තුළ ගැබ්ව ඇත්තේ හුදු උපහාසයක් පමණක් නොව, ලාංකීය දේශපාලනයේ පවතින ගැඹුරු ව්‍යුහාත්මක අර්බුදයක් පිළිබඳ විවේචනාත්මක කියවීමකි.
සංකේතීය දේශපාලනය සහ ව්‍යුහාත්මක යථාර්ථය
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය යනු දශක හතරකට වැඩි කාලයක්(වසර 48ක්) මෙරට බොහෝ දේශපාලන පක්ෂ/ කණ්ඩායම්වලට දේශපාලන වේදිකාවේ ප්‍රධානතම “සතුරා” විය. 1978 දී ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් මෙම ක්‍රමය, බලය එක් පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත කිරීමේ අත්තනෝමතික මෙවලමක් ලෙස විග්‍රහ කෙරිණි. එහිදී ඉහතින් සදහන් කළාක් මෙන් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ගමන්මග පුරා මෙම ධුරය අහෝසි කිරීම සිය ප්‍රමුඛතම සටන් පාඨය බවට පත් කරගෙන සිටියේය.
ඇඳ: මහජන ප්‍රදර්ශනය සඳහා වන සදාචාරය
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයාට වෙන් කළ ඇඳ පොදු ජනතාවට ලබා දීම සංකේතීය ක්‍රියාවකි (Symbolic Act). එයින් ජනතාවට පණිවිඩයක් ලබා දෙයි: “අපි ඔබ වැනිම සාමාන්‍ය මිනිසුන්ය, අපට වරප්‍රසාද අවශ්‍ය නැත.” මෙය ජනප්‍රියවාදී දේශපාලනය තුළ ඉතා ආකර්ෂණීය පියවරකි. නමුත් දේශපාලන විද්‍යාත්මක ඇසකින් බලන කල, රෝහල් ඇඳක් යනු භෞතික වස්තුවක් පමණි. එයින් පාලන තන්ත්‍රයේ ස්වභාවය හෝ බලය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් නොවේ. එය පාලකයාගේ “මානුෂීය මුහුණුවර” ප්‍රදර්ශනය කරන සදාචාරාත්මක මෙවලමක් මිස ව්‍යුහාත්මක වෙනසක් නොවේ.
පුටුව: බලයේ නොබිඳෙන ආකර්ෂණය
ඉහතින් දක්වන ලද මිතුරන්ගේ පෙන්වා දුන් පරිදි, සැබෑ ගැටලුව ඇත්තේ “ඇඳ” තුළ නොව “පුටුව” තුළය. විධායක ජනාධිපති පුටුව යනු ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කර ඇති අතිමහත් බලතල සහිත ව්‍යුහයයි.
බලයට පත්වීමට පෙර ඕනෑම පක්ෂයකට විධායක ක්‍රමය අහෝසි කිරීම පහසු සටන් පාඨයකි.(එක් ප්‍රධානම උදාහරණයක් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය, ඇය විසින් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට ලිඛිත පොරොන්දුවක්ද ලබා දුන් බව අපට මතකය – ඒ 1994 දීය) නමුත් එම පුටුවේ වාඩි වූ පසු, තමන්ට හිමිවන අසීමිත බලය අත්හැරීමට ඇති අකමැත්ත ඉතිහාසය පුරාම දක්නට ලැබුණි.
වරක් මාරාන්තික ලෙස විවේචනය කළ බල ව්‍යුහයකටම පාලකයන් ඇලුම් කිරීම දේශපාලන මනෝවිද්‍යාවේ දක්නට ලැබෙන ලක්ෂණයකි. බලය යනු හුදු මෙවලමක් නොව, එය පරිහරණය කරන්නා වසඟයට ගන්නා “මත්ද්‍රව්‍යයක්” බඳුය. ජේ.ආර්. ජයවර්ධන විසින් මෙම ක්‍රමය නිර්මාණය කළේ ස්ථාවර පාලනයක් වෙනුවෙන් යැයි කියැවිණි. අද අනුර කුමාර දිසානායක එම පුටුවේ වාඩි වී සිටින්නේ ද එම ස්ථාවරත්වය සහ “පද්ධතිමය වෙනසක්” සිදු කිරීමේ අරමුණෙන් යැයි ද සමහරුන් පවසති.
මෙහි ඇති උත්ප්‍රාසය නම්, ජේ.ආර්. ගේ භෞතික වස්තූන් (ඇඳ) ප්‍රතික්ෂේප කරන අතරතුර, ජේ.ආර්. ගේ දේශපාලන දෘෂ්ටිවාදයේ මුදුන්මල්කඩ වන විධායක බලය (පුටුව) ආරක්ෂා කර ගැනීමට සිදු වීමයි. “ඇඳ” මහජනයාට දීම මගින් ඇති කරන සදාචාරාත්මක ආවරණය තුළ “පුටුව” තවදුරටත් ශක්තිමත් වෙමින් පවතීද යන සැකය මහජනතාව තුළ මතු වීම සාධාරණ නොවේද?
දේශපාලන පක්ෂයක් විපක්ෂයේ සිටින විට දකින “රාක්ෂයා”, බලයට පත් වූ පසු “ආරක්ෂකයා-විශ්වාසවන්තයා” බවට පත්වීම ලාංකීය දේශපාලන ඛේදවාචකයයි. රෝහලක එක් ඇඳක් හෝ මිනිසුන්ට ලබා දීම අගය කළ යුතු මානුෂීය ක්‍රියාවක් වුවද, එයින් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ මූලික විවේචනය යටපත් කළ නොහැක.
සැබෑ වෙනස සිදුවන්නේ පාලකයා සැප පහසු ඇඳන් අත්හරින විට නොව, තමන් සතු අසීමිත බලතල (පුටුව) මහජන නියෝජිත ආයතන වෙත ස්වේච්ඡාවෙන් පවරා දෙන දිනයටය. එතෙක්, මෙම “ඇඳ දීම” යනු බලය පවත්වාගෙන යාම සඳහා වන දක්ෂ දේශපාලන උපක්‍රමයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon