iMage:BBC

[මෙම ලිපිය 2026 එක්සත් ජනපද-ඉරාන ගැටුම, ඉන් ඇති කරන මානව හානිය සහ ස්වයං තීරණය සඳහා වන නොනවතින අරගලය පිළිබඳව කරන විවේචනාත්මක විමර්ශනයකි.]

නව පෙරමුණක ආරම්භය

2026 පෙබරවාරි 28 වන දින, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කරන ලද්දේ ප්‍රධාන ඉරාන හමුදා සහ දේශපාලන ඉලක්කයන් වෙතයි. ජ්‍යෙෂ්ඨ ඉරාන නායකයින් මරා දැමූ එම ප්‍රහාර, ටෙහෙරාන් අගනුවරින් ක්ෂණික හා කල් පවත්නා යුදමය ප්‍රතිචාරයක් ආරම්භ කළේය. එක්සත් ජනපද අධිකාරිය විසින් ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) ලෙස ක්ෂණිකව නම් කරන ලද යුද්ධය අනතුරු ඇඟවීමකින් තොරව මතු වූවා නොවේ. එහි මූලයන් රැඳී ඇත්තේ වසර ගණනාවක් පුරා උත්සන්න වන ආතතිය තුළ, එනම්, සම්බාධක, ප්‍රොක්සි ගැටුම්, න්‍යෂ්ටික අවි අවදානම සහ 2025 දින දොළහක යුද්ධයේ නොවිසඳුනු උරුමය තුළ යි. එහෙත් එය පිපිරී යෑම විසින්, රාජ්‍ය තාන්ත්‍රික භාවයට තවමත් ජය ගත හැකි වනු ඇතැ යි විශ්වාස කිරීමට තරම් නිර්භීත වූ ගෝලීය ප්‍රජාවක් කම්පනයට පත් කරන ලදි.

පළමු බෝම්බ හෙළීමට දින කිහිපයකට පෙර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් එරග්චි, න්‍යෂ්ටික අවි කෙරෙහි ඉරානයේ විරුද්ධත්වය යළි තහවුරු කරමින්, ගැටුම් වළක්වා ගැනීම සඳහා ඓතිහාසික ගිවිසුමකට එළඹිය හැකි බව ප්‍රකාශ කළේය. සෞදි අරාබිය සහ ඊශ්‍රායලය විසින් කරන ලද දැඩි බලපෑම් හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් හමුදාමය විසඳුමක් වෙනුවෙන් සාකච්ඡා මේසය අතහැර දැමීමට පෙලඹුණු බවට පසුව වාර්තා විය. පුළුල් ඇමරිකානු මැදිහත් වීමක් වෙනුවෙන් දේශපාලන ආවරණයක් සැපයීම සඳහා ඊශ්‍රායලය පළමුව පහර දිය යුතු යැයි එක්සත් ජනපද නිලධාරීන් යෝජනා කළ බව ද වාර්තා විය. ඉන් පසුව සිදු වූයේ, 2003 ඉරාක ආක්‍රමණයෙන් පසු මැද පෙරදිග කරන ලද වඩාත්ම ප්‍රතිවිපාක ගෙන දෙන යුදමය උත්සන්න කිරීම් වලින් එකකි.

මානව පිරිවැය

ගැටුම නිසා මෙතෙක් සිදු කර තිබෙන මිනිස් හානිය අති විශාල ය. පළමු දින හය තුළ පමණක් යුද්ධයට ඇමරිකානු ඩොලර් බිලියන 12.7 ක් වැය වූ බවට ඇස්තමේන්තු කර ඇත. මූල්‍ය ලෙජරයට පමණක් සීමා වන එම ගණන් හිලව්, සාමාන්‍ය ඉරාන වැසියන්ගේ සිරුරු මත සටහන් ව ඇති දුක් වේදනා ගැන කිසිවක් නොකියයි. 2026 මාර්තු මැද භාගය වන විට, ගතානුගතික ඇස්තමේන්තුවලට අනුව ඉරාන හමුදා තුවාල කරුවන් 3,000 ත් 4,800 ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර සිවිල් මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබුණි. මිනාබ් නගරයේ පාසලක් අසල කරන ලද එක්සත් ජනපද-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පමණක් පුද්ගලයින් 180 දෙනෙක් මරා දමන ලද අතර, ඔවුන්ගෙන් අතිමහත් බහුතරය වූයේ ළමයින් ය.

නේවාසික ගොඩනැගිලි, වාණිජ පරිශ්‍ර සහ වෛද්‍ය පහසුකම් ඇතුළු 6,600 කට අධික ව්‍යුහයන් ප්‍රමාණයක් විනාශ කර දමා හෝ දැඩි ලෙස හානි පමුණුවා තිබුණි. ප්‍රධාන වශයෙන් රාජ්‍ය ප්‍රචාරණ අරමුණු වෙනුවෙන් සිම්කාඩ් පත් බෙදා හැරීමට යොමු වූ ආණ්ඩුව ඉරානය පුරා අන්තර්ජාල ප්‍රවේශය බොහෝ දුරට කපා හැර තිබුණි. බෝම්බ හෙළා ගෙන ඉදිරියට යන මාවතේ පිහිටා ඇති ඉරානයේ සංස්කෘතික උරුම ස්ථාන සුරැකීම සඳහා යුනෙස්කෝව හදිසි ඉල්ලීම නිකුත් කළේය. ලෙබනනයේ දී, සමගාමීව කල ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් 1,000 කට අධික පිරිසක් මිය ගොස් මිලියනයකට අධික සිවිල් වැසියන් අවතැන් කර තිබුණි. ඉරාක භූමියේ සිටින ඉරාන පිටුබලය ලත් හමුදාවන්ට එරෙහිව දියත් කරන එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවල ප්‍රතිවිපාක ඉරාකය ද දරා ගත්තේය.

මේවා වියුක්ත කර ගත හැකි කාරණා නොවේ. ඒවා තත්කාලීන ව දිග හැරෙන මානුෂික ව්‍යසනයක ස්වභාවය වෙයි. එය ගාසා තීරයේ සිදු වෙමින් පවතින විනාශයට අපහසුතාවෙන් යුක්තව සමාන කළ හැකිය. ගාසා තීරය යනු, ගැටුමට ආණ්ඩුව සම්බන්ධ වීම දැඩි දේශීය විවේචනයට ලක්ව තිබෙන ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල අධ්‍යාපනඥයින්, වෘත්තීය සමිති සාමාජිකයන් සහ සිවිල් සමාජ සංවිධාන විසින් පැහැදිලිව ඇඳ තිබෙන සමාන්තරයකි.

ඕස්ට්‍රේලියාවේ අනුග්‍රහය

සතුරුකම් ආරම්භයේ සිටම එක්සත් ජනපද හමුදා අරමුණු සමඟ ඕස්ට්‍රේලියාවේ ඇති පෙළගැස්ම අගමැති ඇන්තනි ඇල්බනීස් සහ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් ප්‍රසිද්ධියේ තහවුරු කළහ. යුද්ධය හෙළා දැකීම සඳහා හදිසි රැස්වීමක් කැඳවූ මහජන අධ්‍යාපන කමිටුව (CFPE) ඇතුළු විචාරකයෝ තර්ක කළේ මෙය නීති විරෝධී ගැටුමක් අනුමත කිරීමක් බවට යි. කලාපයේ එක්සත් ජනපද නිරීක්ෂණ සහ ඉලක්ක ගත මෙහෙයුම්වල දිගු කලක් තිස්සේ මුල් ගලක් වූ උතුරු ප්‍රදේශයේ පයින් ගැප් ඒකාබද්ධ අවේක්ෂණ මධ්‍යස්ථානය විශේෂ අවධානයට ලක් විය. AUKUS හි ඕස්ට්‍රේලියාවේ සහභාගීත්වය සහ ආරක්ෂක වියදම් වැඩි කිරීමට ඕස්ට්‍රේලියාවේ කැපවීම ඇමරිකානු අධිරාජ්‍ය උපාය මාර්ගයට ගැඹුරු බවට පත් වන ගැති භාවයක සාක්ෂි ලෙස දක්වා ඇත.

ගාසා තීරයට සමාන්තරව ඇත්තේ හුදෙක් වාග්ලංකාරය ම පමණක් නොවේ. මෙම වේදිකා දෙකෙහි ම, එක්සත් ජනපද හමුදා සහාය පාසල් සහ රෝහල් වෙත එල්ල කරන ප්‍රහාර ප්‍රතිරක්ෂණය කර ඇති අතර, අවස්ථා දෙකේ දීම ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මානුෂීය මූලධර්මයට වඩා උපාය මාර්ගික පක්ෂපාතිත්වය තෝරා ගෙන ඇත. ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකුට – විශේෂයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ සමඟ සෘජු සම්බන්ධතා ඇති සංක්‍රමණික සහ ඩයස්පෝරා ප්‍රජාවන් තුළ සිටින අයට – මෙම අනුග්‍රහය විදේශ ප්‍රතිපත්ති වියුක්ත කොට සැලකීමේ කාරණයක් නොව ගැඹුරු ලෙස බලපාන පෞද්ගලික සහ සදාචාරාත්මක ප්‍රතිවිපාකයක් ද වූයේය.

නීත්‍යානුකූලබව පිළිබඳ ප්‍රශ්නය

පළමු ප්‍රහාර එල්ල කිරීම සඳහා අවසර දුන් මොහොතේ සිටම, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මෙහෙයවන ඒකාබද්ධ යුද්ධ ව්‍යාපාරයේ නීති විරෝධී ස්වභාවය පැහැදිලිව දකින්නට තිබිණි. එක්සත් ජනපද කොංග්‍රසයෙන් යුද්ධ ප්‍රකාශනයක් ඉල්ලා හෝ ලබා ගෙන හෝ නැත. ජනාධිපතිවරයාගේ හමුදා අධිකාරිය සීමා කිරීමට උත්සාහ දරමින් කොංග්‍රස් සභිකයින් විසින් ඉදිරිපත් කරන ලද යුද බලතල යෝජනාව, රිපබ්ලිකන් විරෝධය හමුවේ අසාර්ථක බවට පත් විය. නීති විශාරදයෝ සහ ජාත්‍යන්තර නීති වෘත්තිකයෝ එක්සත් ජනපදය වළක්වා ලීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නිරූපනය කළ කාරණයේ පදනම පිළිබඳව ප්‍රශ්න කළහ. පර්සියානු ගල්ෆ් කලාපය හරහා එක්සත් ජනපද ස්ථාපනවලට පහර දීම් සහ එක්සත් ජනපද ධජය සහිත ටැංකි ඉලක්ක කිරීම ඇතුළුව ඉරානය පළි ගැනීමේ අදහසින් කරන ප්‍රහාර ගත් විට – ඒවා සහජයෙන් ම විනාශකාරී වුවද – පූර්ව ආක්‍රමණයට එරෙහිව නීත්‍යානුකූලව ආරක්ෂා කළ හැකි ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැකි බව ඔවුහු සඳහන් කළහ.

ඉරානය ගල්ෆ් නැව් මාර්ගවලට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස ඉල්ලමින් 2026 මාර්තු 11 වන දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනා අංක 2817 සම්මත කලේය. පැහැදිලිවම, එම ප්‍රහාරවලට හේතු වූ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර පිළිබඳව යෝජනාවේ කිසිදු සඳහනක් තිබුනේ නැත. ගෝලීය දකුණ පුරා සිටින ජාතීන්ට මෙහි පැවතුණු නොගැළපීම අමතක වූයේ නැත. එක්සත් ජනපද සහ ඊශ්‍රායල හැසිරීම හෙළා දැකීම පුළුල් ලෙස පැතිරී ගිය අතර, ඇතැම් අවස්ථාවල දී රටවල් තුළ, විශේෂයෙන් ඉරානයට පක්ෂපාතී විරෝධතා හේතුවෙන් හමුදා යෙදවීම් සිදු කල පකිස්ථානය තුළ, සැලකිය යුතු අන්දමේ දේශීය නොසන්සුන්තාවයන් ද හට ගත්තේය.

භූ දේශපාලනික පරිසරය

මේ ගැටුම සැලකිය යුතු වේගයකින් උපාය මාර්ගික පෙළ ගැසීම් යළි සකස් කර තිබේ. විශ්ලේෂකයින්ට අනුව, ඉරානය තුළ එක්සත් ජනපදය කරන අඛණ්ඩ මිලිටරි මැදිහත් වීම විසින් යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාව මත එල්ල කරන පීඩනය පවත්වා ගැනීමට ඇමරිකාවට ඇති හැකියාව සංකීර්ණ තත්වයට පත් කරනු ලබන්නේ වුවද, එයින් ගල්ෆ් කලාපය පුරා පවත්නා චීන බලපෑම දුර්වල කරනු ලැබිය හැකිය.

මිලිටරි සංයමයෙන් කටයුතු කල ද, ටෙහෙරානය සමඟ දැඩි දේශපාලන සහයෝගිතාව ප්‍රකාශ කර ඇති යේමනයේ හූතිවරු, තත්වයන් විසින් බල කරනු ලැබුව හොත් සිය කටයුතු උත්සන්න කරන්නට සූදානම් බව හඟවා ඇත. ලෝකයේ ඛනිජ තෙල් අපනයනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කරන හෝර්මුස් සමුද්‍ර සන්ධිය බොහෝ දුරට නාවික ගමනාගමනයට වසා දැමීමත් සමඟ, ලෝක ආර්ථිකයන් ඔස්සේ අවපාතයක් ඇති කිරීමේ උද්ධමනයේ අවතාරය ඔසවා තබමින් ගෝලීය තෙල් මිල විස්මය ජනක ලෙස ඉහළ නංවා ඇත.

මාර්තු 1 වන දින උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් කළ නිවේදනය අස්ථාවර තත්වය තවත් දුරට ගැඹුරින් උත්සන්න කිරීමක් සනිටුහන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉරාන හමුදා මෙහෙයුම් තීව්‍ර වූ අතර, ඉරාන විදේශ අමාත්‍යාංශය විසින්ම රටේ සමහර කොටස් කෙරෙහි ආණ්ඩුවේ පාලනය හීන වී ගොස් ඇති බව පිළි ගත්තේය. පසුව ඊශ්‍රායලය අලි ලරිජානි සහ තවත් නායකයින් කිහිප දෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ඝාතන, එක්සත් ජනපද සහ ඊශ්‍රායල මෙහෙයුමේ අභිප්‍රාය සහ ස්වභාවය පිළිබඳව නව අනතුරු ඇඟවීම් ඉස්මතු කළේය. එහි නිර්මාපකයින් සමහරකු විසින් පොරොන්දු වූ පරිදි නායකත්වය වේගවත් ලෙස විනාශ කර දැමීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් වෙනුවට, මෙම යුද මෙහෙයුම් බිම් මට්ටමින් භින්න වී ගිය, අස්ථාවර සහ වඩ වඩාත් පාලනය කළ නොහැකි තත්වයක් ඇති කර තිබේ.

ඉරාන ජනතාව

මෙම සිදුවීම්වලට ඉරාන ජාතිකයන් විසින් ම ප්‍රතිචාර දක්වා ඇති ආකාරය සංකීර්ණ ය. කමේනිගේ මරණය ඩයස්පෝරා කොටස් අතර සහ වාර්තාවලට අනුව, ඉස්ලාමීය ජනරජයට එරෙහි විරෝධයට දැඩි හා නීත්‍යානුකූල හේතූන් සහිතව ඉරානය තුළ සිටින ඇතැම් අය අතර උත්සව ඇති කර ලීය. අවසානයට සිටි ෂා රජුගේ පිටිවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි, සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින අතර, එක්සත් ජනපද ප්‍රහාර අනුමත කළේය. උතුරු ඉරාකයේ කුර්දි ජාතික ඉරාන නායකයින් එක්සත් ජනපද ගොඩ බිම් මෙහෙයුමකට කොන්දේසි සහිත සහයෝගය ප්‍රකාශ කළ නමුත් ඕනෑම සැලසුම් සහගත මිලිටරි සම්බන්ධීකරණයක් ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

එහෙත් මෙම ප්‍රතික්‍රියා සමඟම ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර ධාරාවක් ද, එනම්, බොහෝ ඉරාන ජාතිකයෝ තම විමුක්තියේ වාහකය ලෙස විදේශීය බෝම්බ සාදරයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ද, ක්‍රියාත්මක විය. ස්වාධීන වෘත්තීය සමිති තහනම් කිරීම, නිදහස් මැතිවරණ ප්‍රතික්ෂේප කිරීම, දේශපාලන සිරකරුවන් රඳවා තබා ගැනීම, “කාන්තාව, ජීවිතය, නිදහස” නමැති ව්‍යාපාරය සහ මහ්සා අමිනිගේ මරණය විසින් ඇති කරන ලද විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම වැනි සියළු අකාරයේ අධිකාරවාද තිබියදීත්, ඉස්ලාමීය ජනරජය, පුළුල් ආකාරයේ කැරැල්ලකට මුහුණ දී නොමැත.

1979 විප්ලවයේ ඉතිහාසය සාමූහික බලමුළු ගැන්වීම තුළින් ඉරාන ජාතිකයින්ට අත් කර ගත හැක්කේ මොනවාද යන්න පෙන්නුම් කළේය. 1953 දී අගමැති මොහොමඩ් මොසාඩ්ඩෙග්ට එරෙහිව සී අයි ඒ සංවිධානය විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයේ ඉතිහාසය, සමාන නිරවුල්තාවකින් යුක්තව විදහා දැක්වූයේ විදේශ මැදිහත් වීම් මගින් ඇති කරන්නේ: ප්‍රජාතන්ත්‍රවාදය නොව, වඩා දරුණු අධිකාරවාදයත්, කල් පවත්නා ජාතිකවාදී දුක්ගැනවිලි ත් ය යන්නයි.

බාහිර හමුදා බලය යොදා ගෙන ඉස්ලාමීය ජනරජයේ නායකත්වය ඉවත් කර දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය උදෙසා විශ්වාස කටයුතු මාවතක් ලෙස සේවය කළ හැකි යැයි සිතීම බරපතළ වැරැද්දකි. එවැනි සංක්‍රාන්තියක් සඳහා අවශ්‍ය ආයතනික යටිතල පහසුකම්, එනම්, ස්වාධීන වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, පාලනයට පත් විය හැකි විපක්ෂ ජාල, දශක ගණනාවක් තිස්සේ පැවති මර්දනය තුළ ක්‍රමානුකූල ව විසුරුවා දමා ඇත. මෙම ව්‍යුහයන් නොමැති විට, බොහෝ දුරට සිදු විය හැකි දේ වන්නේ නව බලවතෙකු යටතේ හදිසි බලතල ඒකාබද්ධ කිරීම යි; නැතහොත්, රාජ්‍ය අධිකාරිය දිගු කාලීන ව හා ලේ වගුරමින් ඛණ්ඩනය වීමයි.

ප්‍රතිරෝධය, සංස්කෘතිය සහ දුර දැක්ම

අඳුරුතම වාතාවරණයන් යටතේ පවා, විරෝධය පෑම නොනැසී පවතී. ඉරාන චිත්‍රපට නිෂ්පාදක ජෆාර් පනාහි ට දශක දෙකක් පුරා චිත්‍රපට නිර්මාණය කිරීම තහනම් කර ඇත. කෙසේ වෙතත්, ඔහු නිර්මාණ කටයුතු දිගටම කර ගෙන ගොස් ඇත. එසේ කිරීමෙන් ඔහු, ඉරාන සිවිල් සමාජය සිය පැවැත්ම සඳහා කරන අවධාරණය මූර්තිමත් කර ඇත. කවි, යටි බිම් ගත සිනමාව, ස්වාධීන පුවත්පත් කලාව, රහසිගතව කම්කරුවන් සංවිධානය වීම යන මේවා හුදෙක් විරෝධතාව පිළිබඳ ඉඟි කිරීම් නොවේ; ඒවා ඉරාන වැසියන් විසින්ම පමණක් ගොඩනගා ගත හැකි අනාගත ඉරානයක ගෘහ නිර්මාණ ශිල්පය යි.

පර්සියානු භාෂාව කතා කරන ලෝකය පුරා ආදරණීය වූ සහ “කවියෙකුගේ කවියෙකු” හා ආදරයේ විශ්වීය හඬක් ලෙස ගෞරවයට පාත්‍ර වූ දහ හතරවන සියවසේ විසූ කවියෙකු වූ හෆීස් (Ḥāfeẓ-e Shīrāzī), බලයේ සදාචාරාත්මක කුහක කම් පිළිබඳව සහ ප්‍රකාශිත ධර්මිෂ්ඨ කම සහ සැබෑ හැසිරීම අතර පවතින පරතරය ගැන යමක් දැන සිටියේය. බෝම්බ හෙලීම් මෙහෙයවන අය ව්‍යසනයේ තත්වයන් නිර්මාණය කරන අතරම විමුක්තියේ භාෂාව කතා කරන වත්මන් මොහොතේ ඔහුගේ කවි පද අලුත් හදිසි අවශ්‍යතාවකින් යුක්තව දෝංකාර දෙයි. මේ අර්ථයෙන් ගත් කල, ඉරානයේ කලාකරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ සංස්කෘතික විරෝධය පෑම දේශපාලන අරගලයේ පරිධියේ සිදු වන්නක් නොවේ. විදේශීය හමුදා සැලසුම්කරුවන්ට බෝම්බ හෙලා පැවැත්මට ගෙන ආ නොහැකි සහ ඔවුන් තේරුම් නොගන්නා සමාජයක් ගොඩ නැගීමට ඇති හැකියාව ජීවමාන ව පවත්වා ගන්නා විරෝධය පෑම එහි කේන්ද්‍රය වන්නේය.

ත්‍රස්තවාදයේ ද්විත්ව ප්‍රමිතිය සහ උත්සන්න වීම

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායෙල් කැට්ස් ඉරානයට එරෙහිව එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වල සැලකිය යුතු වැඩි වීමක් පෙන්වා දුන්නේ, නැව් 130 ක් ඇතුළුව ඉරාන හමුදා ඉලක්ක 8,000 කට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද අද්මිරාල් බ්‍රැඩ් කූපර් ප්‍රකාශ කිරීමත් සමඟ යි. මාර්තු 21 වන දා, එක්සත් ජනපදය බංකර් බස්ටර් බෝම්බ යොදා ගනිමින්, නැටන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත ප්‍රහාර එල්ල කලේය. එය “ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්” ලෙස හෙළා දුටු රුසියාව, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියෙන් (IAEA) සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. එකටෙක කිරීමක් ලෙස, 78 දෙනෙකුට හානි සිදු කරමින් ඊශ්‍රායලයේ ඩිමෝනා නගරය ඉලක්ක කල ඉරානය, පසුව, 116 කට වැඩි පිරිසකට හානි සිදු කල තවත් ප්‍රහාරයක් අරද් නගරය වෙත එල්ල කළේය. ඩියාගෝ ගාර්ෂියා හි එක්සත් ජනපද – එක්සත් රාජධානි හමුදා කඳවුරට අසාර්ථක ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලද බවත්, එය වළක්වා ලන ලද බවත් CNN සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා සඳහන් කලේය. ඒ සිද්ධිය ඊශ්‍රායල ප්‍රකෝප කිරීමක් බව ප්‍රකාශ කරමින් ඉරානය, ඊට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළේය.

බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෝමූස් සමුද්‍ර සන්ධි මෙහෙයුම්වලට සම්බන්ධ වීම පිළිබඳව අනතුරු හඟවමින් යේමනයේ හූති ව්‍යාපාරය, ඉරානය හා සම්බන්ධයෙන් ඇති කරන ඕනෑම උත්සන්න කිරීමකට එරෙහිව ප්‍රතිවිපාක ඇති කරවන බවට තර්ජනය කළේය. ඉරාන බලාගාරවලට එරෙහිව පළි ගැනීමේ ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ට්‍රම්ප්, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස ඉරානය වෙත අවසාන නිවේදනයක් නිකුත් කළේය. සමුද්‍ර සන්ධිය වසා දමා වැදගත් කලාපීය යටිතල පහසුකම් වලට පහර දෙන බවට තර්ජනය කිරීමෙන් ඉරානය ඊට ප්‍රතිචාර දැක්වීය.

F-15 යානයක් වෙඩි තබා බිම හෙළීමේ ප්‍රකාශ ඇතුළුව උත්සන්න වන ආතතීන් මැද්දේ, ඉරානය සමඟ සාකච්ඡා සිදු වෙමින් පවතින බව ප්‍රකාශ කල ට්‍රම්ප් හමුදා ප්‍රහාර දින පහකින් කල් දැමීය. මෙම ප්‍රකාශය රැවටිලි කාර එකක් බවට හංවඩු ගසමින් සහ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ලැදියාවන්ට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව හඟවමින් ඉරානය ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර සමච්චලයට ලක් කළේය.

ඉරානය “ත්‍රස්තවාදයේ අංක එකේ රාජ්‍ය අනුග්‍රාහකයා” ලෙස හංවඩු ගසන ට්‍රම්ප්, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර විනාශ කරන බවට තර්ජනය කරයි. එහෙත් ඔහුගේ ම තර්කනයට අනුව, කෙනෙකු මෙසේ ඇසිය යුතුය: සිවිල් ජනගහනය අඩපණ කර දැමීම සඳහා හිතාමතාම නිර්මාණය කරන ලද, කියුබාව, වෙනිසියුලාව සහ ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම හරහා දශක ගණනාවක් පුරා කර ගෙන යන ආර්ථික යුද්ධය, එම නිර්ණායකය සපුරා ලන්නේ නැද්ද? දේශපාලනිකව යටත් වීමට බල කිරීම සඳහා ජාතියක ආර්ථිකයේ හුස්ම හිර කර දැමීම රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදයක් නොවන්නේ නම්, එම අර්ථ දැක්වීම මුළුමණින්ම රඳා පවතින්නේ මෙගෆෝනය අත් කර ගෙන සිටින්නේ කවුරුන්ද යන්න මතය.

ඉරානයට එරෙහිව කරන මෙහෙයුම්වලට සහාය වීම සඳහා පැරෂුට් ප්‍රහාර එල්ල කිරීම් ප්‍රගුණ කරන ලද “ක්ෂණික ප්‍රතිචාර බලකාය” ලෙස හැඳින්වෙන හමුදාවේ 82 වන එලීට් ගුවන් බලකායේ සොල්දාදුවන් 3,000 ක් පමණ වන බල සේනා කණ්ඩායමක් ඉක්මනින් ම මැද පෙරදිග ට යෙදවීමට පෙන්ටගනය අපේක්ෂා කරන බව වාර්තා වේ. පුළුල් ලෙස වාර්තා වී තිබුනද, මෙහෙයුම් සුරැකියාව උපුටා දක්වන පෙන්ටගනය, මෙම යෙදවීම් නිල වශයෙන් තහවුරු කර නැත.

ජලය යුද අවියක් ලෙස

ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ දී පාලන මෙවලමක් ලෙස ඓතිහාසික ව භාවිතා කර තිබෙන ජලය, 2026 මුල් භාගය වන විට, ඉරානය සමඟ උත්සන්න වන එක්සත් ජනපද-ඊශ්‍රායල ගැටුම තුළ තීරණාත්මක “යුද අවියක්” ලෙස මතු වී තිබේ. නවතම වාර්තාවලට අනුව, පර්සියානු ගල්ෆ් කලාපය පානීය ජලය වෙනුවෙන් ලවණ ඉවත් කිරීම මත දැඩි ලෙස රඳා පවතින බැවින්, අත්‍යවශ්‍ය ජල සම්පත් උපාය මාර්ගික ඉලක්ක බවට පත් කරමින්, මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි වැඩියෙන් ඉලක්ක කරනු ලැබේ. හිතාමතාම ජලයට ඇති ප්‍රවේශය සීමා කිරීමෙන් සහ ගාසා තීරයේ ජල හා සනීපාරක්ෂක යටිතල පහසුකම් විනාශ කර දැමීමෙන් ඊශ්‍රායලය “පිපාසය ආයුධයක් ලෙස” භාවිතා කරන බවට ඔක්ස්ෆෑම් සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ චෝදනා කර ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ලබා ගත හැකි ජලය 94% කින් අඩු වීම යි. 2023 ඔක්තෝබර් මාසයේ සිට, ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මගින් ගාසා තීරයේ ළිං, ලවණ ඉවත් කිරීමේ ඒකක සහ නල මාර්ග ඇතුළුව ජල හා සනීපාරක්ෂක පහසුකම්වලින් 89% ක් හානි කර හෝ විනාශ කර දමා ඇත.

2026 පෙබරවාරි අග භාගයේ ආරම්භ වූ ගැටුම අතරතුර, දෙපාර්ශ්වයම තීරණාත්මක ජල යටිතල පහසුකම් ඉලක්ක කර ඇත. බහරේනය එහි ලවණ ඉවත් කිරීමේ යටිතල පහසුකම්වලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා කල අතර, එක්සත් ජනපදය ගම්මාන 30 කට ජලය වසා දමමින් කෙෂ්ම් දූපතේ ලවණ ඉවත් කිරීමේ බලාගාරයකට පහර දුන් බව ඉරාන නිලධාරීහු කියා සිටියහ. ගල්ෆ් රාජ්‍යයන් (කුවේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, බහරේනය, ඕමානය) ලවණ ඉවත් කිරීමේ කම්හල් 400 කට අධික සංඛ්‍යාවක් මත දැඩි ලෙස රඳා පවතී. කටාර් සහ බහරේනය ඔවුන්ගේ පානීය ජලයෙන් 90% කට වඩා ලබා ගන්නේ මෙම පද්ධති මගිනි. එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය විසින් ඉරාන යටිතල පහසුකම්වලට පහර දුන්නොත්, ගල්ෆ් කලාපයේ – විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ – ලවණ ඉවත් කිරීමේ කම්හල් ඉලක්ක කරන බවට ඉරානය තර්ජනය කර ඇත. මෙම බලාගාර අක්‍රීය කිරීමෙන් මිලියන ගණන් ජනයා දැඩි දුක් වේදනාවන්ට ලක් කරන අතර, එවැනි ප්‍රහාර “යුද අපරාධයක්” සමන්විත කරන බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

නිගමනය: අධිරාජ්‍ය යුද්ධයක තර්කනයට එරෙහිව

ඉරානයට එරෙහි යුද්ධය කරවන ලද්දේ, දශක ගණනාවක් තිස්සේ පැවති ද්විපාර්ශ්වික ඇමරිකානු උමතුව විසින්, ඊශ්‍රායල උපාය මාර්ගික ගණන් බැලීම් විසින්, ඕස්ට්‍රේලියාව ඇතුළු මිත්‍ර ආණ්ඩු ලබා දෙන අනුග්‍රහය විසින්, සහ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු, ඔහුගේ ම වචන වලින් පවසා තිබෙන පරිදි, ‘හුදෙක් විනෝදය සඳහා’ කාර්ග් දූපතට බෝම්බ හෙලීම ගැන සිතමින් සිටින බවට වාර්තා වන අස්වාභාවික දර්ශනය විසින් ද වේ. එය, සිවිල් වැසියන් විශාල ලෙස මරණයට පත් කර, පාරිසරික විනාශය, ආර්ථික කඩාකප්පල් වීම, සහ ප්‍රධාන පෙළේ මානුෂීය අර්බුදයක් ඇති කර තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදය බිහි කර නැත; එසේ බිහි නොකරනවාද ඇත.

ඉරානයේ, එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාවේ සහ ලොව පුරා සාමය වෙනුවෙන් පෙනී සිටින අය – ඉස්ලාමීය ජනරජයේ ස්වභාවය ගැන නොදන්නවා නොවේ. පාලන තන්ත්‍රය අධිකාරවාදී බව ද, එය එහි ජනතාව මර්දනය කරන බව ද, එය ඔවුන්ගේ මූලික නිදහස ප්‍රතික්ෂේප කරන බව ද තේරුම් ගෙන ඇති ඔවුහු පැහැදිලිව එසේ පැවසීමට ද සූදානම් ව සිටිති. කෙසේ වෙතත්, ඔවුන් ඒ හා සමාන පැහැදිලි බවෙන් යුක්තව අවධාරණය කරන්නේ ඉරානයේ ඉරණම තීරණය කළ යුත්තේ කෲස් මිසයිල මගින් නොව, රැක ගැනීමට උපාය මාර්ගික ලබැඳියාවන් සහිත විදේශීය බලවතුන්ගේ කූටෝපායයන් මගින් නොව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ ගාසා තීරය නටබුන් බවට පත් කර ඇති එම අධිරාජ්‍ය තර්කනයෙන් නොව, ඉරාන ජාතිකයන් විසින් ම බවයි.

කල් පවතින ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් උදෙසා, තමන්ගේම සමාජයන් තුළ, එනම්, සේවා ස්ථාන, ජන ප්‍රජාවන් සහ සංස්කෘතික ආයතන තුළ, තමන් පීඩාවට පත් කරන ව්‍යුහයන්ට එරෙහිව සංවිධානය වන ජනතාවගේ ඉවසිලිවන්ත, නිර්භීත වැඩ කටයුතු අවශ්‍ය කරන බව ඉතිහාසය උගන්වයි. ඉරාන ජනතාව දශක ගණනාවක අරගලය තුළින් පෙන්වා දී ඇත්තේ ඔවුන් එම කාර්යයට උර දෙන්නට ඉතාමත් සුදුසු අය බවයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ නමින් හෙළනු ලබන බෝම්බ නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ සහයෝගීතාවය සහ තමන්ගේම අනාගතය තීරණය කිරීම සඳහා අවශ්‍ය අවකාශයයි.

ලයනල් බෝපගේ | Lionel Bopage