iMage: VOX
[පළමු කොටස: භාෂාව, නීතිය සහ වසන් කිරීමේ නිර්මාණ ශිල්පය]
දෙවරක් මරා දමන වචනයක්
වචන යථාර්ථය හැඩ ගස්වයි. නූතන යුද්ධයේ දී, “අතුරු හානි” යන වචන දෙකෙන් සැදුම් ලත් යෙදුමට වඩා කෲරත්වය වසන් කිරීමට සමත් වූ වෙනත් යෙදුමක් නැත. එ එය සායනික ය. එය සත්‍යය විනාශ කර දමයි.
මෙම යෙදුම හමුදා භාෂාවට ඇතුළත් වූයේ විසි වන සියවසේ මැද භාගයේ දී යි. එක්සත් ජනපද ගුවන් හමුදා බුද්ධි තොරතුරු ඉලක්ක කිරීමේ මාර්ගෝපදේශය (United States Air Force Intelligence Targeting Guide) මගින් එය අර්ථ දක්වා ඇත්තේ, නීත්‍යානුකූල ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි, උපකරණ හෝ පුද්ගලයින්ට අහම්බෙන් සිදු වන හානිය ලෙසයි. එහි රාමු ගත කිරීම (සංකල්පය) මුළා කරවන තරම් සරල වූයේය. මරණය හානියක් බවට පත් විය. මිනිස්සු පිරිස් බවට පත් විය. අභිප්‍රාය වාක්‍යය වෙතින් අතුරුදහන් විය.
ස්කොට්ලන්ත ජාතික වාග් විද්‍යාඥ ඩෙබොරා කැමරන් එම යාන්ත්‍රණය නිවැරදිව හඳුනා ගත්තේය. මෙම වාක්‍ය ඛණ්ඩය වාග් මාලාවකි. එය සිදු වෙමින් පවතින දේ සඟවා ලයි. එය වියුක්ත ය; නියෝජිතයින් රහිත ය; බලපෑම් රහිත ය. එය මහජනතාව තුළ ඇති විය හැකි පිළිකුල හෝ සදාචාරාත්මක කෝපය පරිවරණය (insulate) කරයි. එම පරිවරණය එහි මූලික කාර්යය බවට ඇය තර්ක කළාය.
1999 දී, ජර්මානු වාග් විද්‍යාඥයෝ “කොලැටරල්ෂාඩන්” (Kollateralschaden) – අතුරු හානිය – ඔවුන්ගේ “වසරේ අශෝභන වචනය” (Un-Word of the Year) ලෙස නම් කළහ. කොසෝවෝ යුද්ධයේ දී නේටෝ හමුදා විසින් එය යොදා ගැනීම හෙළා දැකීමට ඔවුහු එම වචනය තෝරා ගත්හ. විද්වත්තු එය අමානුෂික උපමාලංකාරයක් (euphemism) ලෙස සැලකූහ.. කෙසේ වෙතත්, නේටෝව එය දිගටම භාවිතා කළේය.
මෙම ලිපියෙන් පරීක්ෂා කරන්නේ හිතාමතාම සිදු කරන ඉලක්ක කිරීම් වසන් කිරීම සඳහා පලිහක් ලෙස අතුරු හානි යන යෙදුම භාවිතා කරන්නේ කෙසේද යන්නයි. ගාසා තීරය, යුක්‍රේනය, ශ්‍රී ලංකාව, සිරියාව සහ ඉරාකය යන රටවල වාර්තාගත ගැටුම් පාදක කර ගනිමින් මෙය පුනරාවර්තී රටාවක්: එනම්, ක්‍රමානුකූල ව සිදු කරන සිවිල් විනාශය ‘අවාසනාවන්ත අනතුරක්’ ලෙස අලුත් මුහුණුවරකින් කරන අන්දම පෙන්වා දෙයි.
නීතිමය රාමුව සහ එහි ව්‍යුහාත්මක දුර්වලතාව
ජාත්‍යන්තර මානුෂීය නීතිය කුලුණු තුනක් මත, එනම්, වෙන් කර හඳුනා ගැනීම (Distinction), සමානුපාතිකතාව (Proportionality), සහ පූර්වාරක්ෂාව (Precaution) මත පදනම් වෙයි. වෙන් කර හඳුනා ගැනීමේ මූලධර්මය මගින් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් චේතනාන්විත ව සිදු කරන ප්‍රහාර තහනම් කරයි. සමානුපාතිකතාව, යුදමය වාසියට සාපේක්ෂව සිවිල් වැසියන්ට සිදු වන හානිය පැහැදිලි ලෙසම අධික යයි අපේක්ෂා කරන ප්‍රහාර තහනම් කරයි. පූර්වාරක්ෂාව මගින් අවධාරණය කරන්නේ සිවිල් වැසියන්ට සිදු වන හානිය අවම කිරීම සඳහා අණදෙන නිලධාරීන් හැකි සෑම පියවරක් ම ගත යුතු බවයි.
මෙම මූලධර්ම බල රහිත ඒවා නොවේ. රෝම ප්‍රඥප්තිය (Rome Statute) මගින් සිවිල් වැසියන් අරමුණු කර ගනිමින් සිදු කරන ප්‍රහාර සහ අහඹු සිවිල් හානි සිදු වන බව දැන දැනම සිදු කරන ප්‍රහාර අපරාධකරණය කර ඇත. ලියකියවිලිවලට අනුව, ආරක්ෂණ පද්ධතියේ ව්‍යුහය ඉතා ප්‍රබල ය.
භාවිතාවේ දී, එය අසාර්ථක ය. පසුගිය සියවස තුළ සිවිල් වැසියන් සහ සටන් කරුවන් අතර මරණ අනුපාතය තියුණු ලෙස ඉහළ ගොස් ඇත. ගුවන් යුද්ධ, නාගරික භූමි ප්‍රදේශය සහ වඩ වඩාත් විනාශකාරී වන අවි ආයුධ යොදා ගැනීම හේතුවෙන් සටන් කරුවා සහ සිවිල් වැසියා පැහැදිලි ලෙස වෙන් කර හඳුනා ගැනීම ප්‍රායෝගිකව දුෂ්කර බවට පත් කර ඇති අතර, උපාය මාර්ගික වශයෙන් මෙම වෙනස නොසලකා හැරීම පහසු කරවා ඇත.
නීති විශාරදයෝ වඩාත් දුෂ්කර ප්‍රශ්නයක් අසා ඇත: යුද මෙහෙයුමක දී සිවිල් වැසියන් මියයාම යලි යලිත් සිදු වන සහ කලින් ම අනුමාන කළ හැකි දෙයක් බවට පත් වන විට, අහඹු හානිය (incidental harm) ආරක්ෂා කිරීම සංවිධානාත්මක වංචාවක් බවට පත් වන්නේ කවර අවස්ථාවේ දී ද? එක් විශ්ලේෂණයකට අනුව සමානුපාතිකතාව පිළිබඳ මූලධර්මය, සිවිල් වැසියන් ඝාතනය කිරීම අහම්බයක් ලෙස හුවා දක්වා ඇත්නම්, එම ඝාතන අනුමත කිරීම පිළිගත හැකි බවට මහජනතාවට ඒත්තු ගැන්වීමේ උපක්‍රමයක් බවට පත්ව ඇත.
මිනිස් පලිහ (Human shields) පිළිබඳ මූලධර්මය මෙම ගැටළුව තවත් සංකීර්ණ කරයි. ජනාවාස ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා රජයයන් නිරන්තරයෙන්ම මෙම තර්කය භාවිතා කරයි. යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ දී කාර්කිව්, මරියුපෝල් සහ කර්සන් වැනි නගරවල සිවිල් වැසියන් මියයාමට හේතුව, යුක්‍රේන හමුදා විසින් සිවිල් වැසියන් අතර සිය හමුදා කඳවුරු පිහිටුවීම බවට චෝදනා කල රුසියානු නිලධාරීහු එම චෝදනාව යලි යලිත් භාවිතා කළහ. මෙම ප්‍රකාශය වගකීම මඟහැරීම ත්, ජාත්‍යන්තර විවේචන අක්‍රිය කිරීම ත් එක් වරම සිදු කළේය.
ගාසා තීරය: විනාශ කිරීම ප්‍රතිපත්තියක් ලෙස
ගාසා තීරයේ පවතින ගැටුම තරම් ‘අතුරු හානි’ පිළිබඳ රාමුවේ සීමාවන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළ වෙනත් සමකාලීන ගැටුමක් නොවීය. 2023 ඔක්තෝබර් මාසයේ සිට, සිදු වී ඇති විනාශයේ සංකේන්ද්‍රණය නූතන නාගරික යුද ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමක පවතී.
ගාසා තීරය පෘථිවියේ වඩාත්ම ජනාකීර්ණ භූමි ප්‍රදේශවලින් එකක් ලෙස සැලකේ. යුදමය වත්කම් පවතින විට, ඒවා අනිවාර්යයෙන් ම සිවිල් යටිතල පහසුකම්වලට සමීපව ක්‍රියාත්මක වේ. රෝහල්, පාසල්, සරණාගත මධ්‍යස්ථාන සහ නේවාසික ගොඩනැගිලි වෙත එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීමට මෙම සමීප බව භාවිතා කර ඇත. සෑම ප්‍රහාරයක් ම එකම වචන මාලාවක්, එනම්, හමුදා අවශ්‍යතාවය, සමානුපාතික ප්‍රතිචාරය සහ අතුරු හානි පිළිබඳ කණගාටුව කැටුව යයි.
ජාත්‍යන්තර ආයතන මෙම රටාව පිළිබඳව විමර්ශනය කර ඇත. 2014 පැවති ‘ඔපරේෂන් ප්‍රොටෙක්ටිව් එජ්’ (Operation Protective Edge) යුද ව්‍යාපාරය ගැන ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල ම තක්සේරුවලට අනුව, මියගිය පිරිසෙන් දළ වශයෙන් අඩක් පමණ සිවිල් වැසියන් බව වත්මන් ගැටුමට පෙර කරන ලද අධ්‍යයන වාර්තා කර ඇත. වත්මන් ගැටුම වඩා ඉහළ සිවිල් මරණ සංඛ්‍යාවක් ඇති කර තිබේ. ස්වාධීන පර්යේෂකයින්, එක්සත් ජාතීන්ගේ ආයතන සහ මානව හිමිකම් සංවිධාන කිසිදු පිළිගත හැකි මිලිටරි සාධාරණීකරණයකින් තොරව සිවිල් ස්ථාන නැවත නැවතත් විනාශ කිරීම පිළිබඳව ලේඛනගත කර ඇත.
ආහාර සැපයුම් දාම, ජල පිරිපහදු යටිතල පහසුකම් සහ වෛද්‍ය පහසුකම් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර විචාරකයන් විසින් සම්පත් අහිමි කිරීමක්, එනම්, සිවිල් ජනතාවට ජීවත් වීමට අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා හිතාමතාම අහිමි කිරීමක් ලෙස විස්තර කර ඇත. ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ එය, යුද අපරාධයක් ලෙස සැලකේ. අතුරු හානි නමැති වචන භාවිතය තුල, එය උමං මාර්ග සහ අවි ගබඩාවලට එරෙහිව කරන මෙහෙයුම්වල දී සිදු වන කණගාටුදායක අතුරු ඵලයක් බවට පත් වේ.
ගාසා තීරයේ සිදුවීම් රටාව 2009 සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකාවේ ලේඛනගත කරන ලද දේ පිළිබිඹු කරයි. එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් වාර්තා කළේ හමුදාවට රෝහල් සහ වෛද්‍ය පහසුකම් පිහිටා ඇති තැන් පිළිබඳ තොරතුරු (ඛණ්ඩාංක) ලබා දීමෙන් පසුව පවා ශ්‍රී ලංකා හමුදාව ඒවා වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි. සටනේ අවසන් මාස වල දී සිවිල් වැසියන් 40,000 සිට 70,000 අතර සංඛ්‍යාවක් මිය ගිය බවට ඇස්තමේන්තු කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ප්‍රතිඵලය විස්තර කළේ අවිචාරවත් ලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇති වූ සංහාරයක් ලෙස යි. ආණ්ඩුවේ නිලධාරීන් එය විස්තර කළේ සිවිල් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමක් ලෙස යි. අතුරු හානි පිළිබඳ වචන මාලාව ද යොදා ගැනුණේ එම කාර්යයට ම, එනම්, වගවීම අතුරුදන් කිරීම සඳහා ඇති ඉඩකඩ ඉවත් කර දැමීමට යි.
යුක්‍රේනය: පැවැත්මට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යුධ ඉලක්ක වශයෙන්
රුසියාව යුක්‍රේනයට එරෙහිව 2022 පෙබරවාරි මාසයේ දියත් කරන ලද පූර්ණ පරිමාණ ආක්‍රමණය, සිවිල් බලශක්ති යටිතල පහසුකම්වලට එරෙහිව ක්‍රමානුකූල යුද ව්‍යාපාරයක් හඳුන්වා දුන්නේය. 2022 අග භාගයේ සිට රුසියානු හමුදා බලාගාර, තාපන (heating) පද්ධති සහ විදුලි සම්ප්‍රේෂණ ජාලවලට එරෙහිව යලි යලිත් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. ප්‍රකාශිත අරමුණ වූයේ යුක්‍රේන යුද ශක්තිය හීන කිරීමයි.
ප්‍රායෝගික බලපෑම වූයේ ශීත ඍතුවේ පවතින සෘණ අගයක උෂ්ණත්වයට සිවිල් ජනතාව හිතාමතාම නිරාවරණය කිරීමයි. රෝහල්වලට විදුලිය අහිමි විය. ජල පද්ධති මිදී ගියේය. වසරේ සීතල ම මාසවල දී දශ ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ට උණුසුම සහ ආලෝකය අහිමි විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය, සටන්වල දී පළමු වසර තුළ පමණක් සිවිල් මරණ 8,000 කට වඩා වාර්තා කර ඇත. ඒ සංඛ්‍යාව යටිතල පහසුකම් විනාශ කිරීමේ අනියම් ප්‍රතිවිපාකවලින් සිදු කරන හානි බැහැර කරන එකකි.
රුසියානු නිලධාරීන් සෑම ප්‍රහාර රැල්ලක් ම විදහා දැක්වූයේ මිලිටරි යටිතල පහසුකම් හෝ ද්විත්ව භාවිත පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ඒවා ලෙසයි. අතුරු හානියේ භාෂාව එහි අපේක්ෂිත කාර්යය ඉටු කළේය. එය සිවිල් වැසියන්ට හානි කරන්නට හිතාමතා ගෙන යන ලද ව්‍යාපාරයක් අවාසනාවන්ත තාක්ෂණික සිදුවීම් මාලාවක් බවට පරිවර්තනය කළේය.
එක් මාධ්‍යවේදියෙක් කාරණය නිවැරදි ම ලෙසට ඉදිරිපත් කළේය: මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කල රුසියානු සොල්දාදුවෙක්, ජනේලයේ තිර රෙදි දැක දැකත් ඒ සංකීර්ණයට වෙඩි තබයි. පදිංචිකරුවෝ – බොහෝ දුරට කාන්තාවෝ, ළමයි සහ වැඩිහිටියෝ – සුන්බුන් අතර වැළලී සිටී. අතුරු හානියක් ලෙස හැඳින්වීම එය අහම්බයක් බවට පත් නොකරයි. එය, භාෂාව ද ඒ අපරාධයට වගකිව යුතු කරයි.
