iMage;රුවන්දිගේ නිවස තුළ (Berlin) තවමත් ජීවමානව සිටින ඇගේ තාත්තා, අපේ කාලයේ තාත්තා!
දැන් නොවැම්බර් මාසයකි.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වී මේ නොවැම්බරයට දෙවසරකි; මගේ තාත්තා සාහසික ලෙස මරා දමා මේ නොවැම්බරයට 38 වසරකි.
සාපරාධී හා දූෂිත රාජපක්ෂලාගේ පාලනය හා රනිල් වික්‍රමසිංහගේ පාලනය නිමාවීමෙන් ජනතාව ලද අස්වැසුම මත, මගේ තාත්තාගේ මරණයේ අවසන් නොවෙන වේදනාව සමපාත වෙන්නෙ නොවැම්බර් මාසයේදී ය. උතුරේ කැරළිකාරි තරුණ පරම්පරාවන් මෙන්ම දකුණේ කැරළිකාරී පරම්පරාවන් ගැන මතකය සැමරෙන්නේද මළවුන්ට කැප වූ මේ නොවැම්බරයේදීම ය. මා වැන්නන් ගේ ජීවිතවලට ඒ සමඟ උදාවන්නේ හිස් බවත්, අප්‍රමාණ වේදනාවත් ගැන මතකය අලුත්කරන අඳුරු කාල පරිච්ඡේදයකි.
1988 නොවැම්බර් 08 වැනිදා උදාවූ ඒ සාහසික රැය, අක්කාගේත් මගේත් අනාගතයෙන් සතුට සදාකාලිකවම පැහැර ගත්තේය.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාකලාපය තරයේම විවේචනය කළ, වාමාංශික අදහස් සහ පැවතුම් ජීවිතය බවට පත් කරගත් මගේ තාත්තා වූ ‘නන්දසේන සිල්වා’ මගේ ලෝකයේ කවදාවත් වයස්ගත නොවන වීරයා ය.
1988 නොවැම්බර් 8 වනදා, ඌව කරඳගොල්ලේ අපේ නිවසට මහ රෑ කඩා වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ සාමාජිකයෝ මගේ තාත්තාගේ හිස සහ අත් පා කඳින් වෙන්කොට, නිවස ඉදිරිපිට ගසක එල්ලා, අපගේ නිවස ද ගිනි තබා විනාශ කළහ. ඒ සාහසික රැයේදීම, අපේ නිවසේ තාත්තා හා සවස් කාලයේ මිතුරු සාමිචියේ යෙදී සිටි යාබද වතුයායක ජීවත් වූ අසරණ දෙමළ ජාතිකයන් දෙදෙනාද, 1971 කැරැල්ලේ නායකයකු වූ වසන්ත දිසානායක අංකල් ගේ සරසවි සිසු බාල සොයුරාද, තාත්තාගේ හිතවතුන් වූ ජයවර්ධන සහ ලී බඩු සෑදීමට පැමිණ සිටි වඩු කාර්මිකයෙකු වූ රෝහණද තාත්තා සමග අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුණි.
මං මාවත් අයිනේත්, කැලෑ රොදවලත් යුක්තියක් නොලබා මරා පුච්චා දැමුණු ඒ සියලු තරුණ-තරුණියන්ගේත් ලේ තැවරුණු මතකය බැඳී ඇත්තේ මේ නොවැම්බරයටම ය. සිතට තේරුම් යන වයසේ සිටම මම සිතන්නෙත්, ලියන්නේ ඒ නොනිමෙන වේදනාව සහ සිදුවූ අසාධාරණය ගැන ය.
එතැන් සිට දශක තුන හමාරකට පසු අද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයාය.
අතීත පාලකයන්ගේ ඇතැම් අපරාධ, දූෂණ සහ වැරදි ගැන නීතියෙන් දඬුවම් දීමට අද බලයේ සිටින ඔහුගේ ආණ්ඩුව පියවර ගන්නා අයුරු අපි දකිමු. එය යහපත් හා සිදුවිය යුතු දෙයකි. එහෙත්, පිළිතුරක සේයාවක්වත් නොදුටූ ප්‍රශ්නයක් මට තිබේ; මාගේ ප්රශ්නය සහ අභියෝගය මෙයයි:
අන් අයගේ ලේ වැකි දෑත් දෙස ඇඟිල්ල දිගු කරන අතරතුර, අතීතයේ ඔබගේම පක්ෂය විසින් සිදු කරන ලද මේ අමානුෂික ඝාතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කොට, විමර්ශන අරඹා, ස්වාධීන අධිකරණයක් හමුවට පැමිණවීමට පියවර නොගන්නේ මන්ද?
මා මේ ප්රශ්නය අසන විට සුපුරුදු පරිදි විවිධ අය විවිධ මත දක්වනු ඇත. “ඒ කාලයේ ඉතිහාසය එසේ වූයේ රාජ්‍ය මර්දනය නිසා” යැයි කියමින් පක්ෂයේ හිතවතුන් තම සාධාරණීකරණයන් ඉදිරිපත් කරනු ඇත. “දෑත් බැඳ ළිඳකට දැමූ විට ගැළවෙන්න උත්සාහ කරද්දී වතුර බොර වනු ඇති” බව තවත් අය කියනු ඇත. “එය තාත්තාගේ කර්මය” යැයි කියමින්ද ඇතැමෙකු මෙය අමතක කර දැමීමට ඉල්ලා සිටිනු ඇත.
නමුත් ජාතීන් අතර සමානත්වයත්, පීඩිත මිනිසුන්ට සමාජ සාධාරණයත් පැතූ, ඒ වෙනුවෙන්ම කැප වූ මාගේ තාත්තා ඇතුළු අහිංසක මිනිසුන් ” බොර වතුරක්” ලෙස මට පිළිගත නොහැක. ඔවුන් කිසිවකු ජවිපෙ “දෑත් බැඳ ළිඳට දැමීමට” හවුල් වූවෝ නොවෙති. ඒ වෙනුවට ඔවුන් ජයවර්ධන පාලනයේ වර්ගවාදයට එරෙහිව, ගොවි – කම්කරු විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව දිවිහිමියෙන් පෙනීසිටි සටන් කළ ඈයෝ වෙති. ජයවර්ධන සහ ප්‍රේමදාස පාලනය යටතේ සංහාරයට ලක් වූ අය මෙන්ම, මගේ තාත්තා වැනි ජවිපෙ දේශපාලනය විසින් අමානුෂික ලෙස මරා දැමූ සියලු දෙනා වෙනුවෙන් ද සාධාරණය ඉටු විය යුතු බව මම විශ්වාස කරන්නෙ ඒ නිසා ය. මගේ තාත්තා වූ නන්දසේන සිල්වාත්, ඔහුගේ හිතමිතුරු වාමාංශිකයන්ගේත් ඝාතනයන් පිළිබඳ අතීතය වසා දමා, තේරාගත් අයගේ වැරදිවලට පමණක් දඬුවම් දීමට උත්සාහ කරන්නේ නම්, එය “අත්තනෝමතික යුක්තියකි”.
මගේ අභියෝගය
මගේ තාත්තා වැනි අයගේ ජීවිත කතාන්දරය අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සිටින බොහෝ දෙනෙකුට ඇසීමට අවශ්‍ය නොවන කතාවක් බව මම හොඳින් දනිමි. ඔවුන්ට අනුව ඔහු අයිති වන්නේ අමතක කළ යුතු, අනාගත දේශපාලනයට භාවිතා කළ නොහැකි ඉතිහාසයේ මිනිස් සුන්බුන් ගොඩට ය.
එහෙත්, මාගේ තාත්තාගේ මරණය මගේ ජීවිතයේ කිසිදා පරණ නොවේ.
ඔහුගේ බිහිසුණු ඉරණම මට අමතක නොවන මතකයකි.
මගේත්, අක්කාගේත් ළමාවිය අහිමි කර අපෙන් පැහැරගත් යුක්තිය වෙනුවෙන් මම මිය යන තුරුම හඬ නඟන්නේ ඔහු මගේ ජීවිතයේ හොඳ-නරක සහ සමාජ යුක්තිය ගැන මුල්ම පාඩම් කියාදුන් වීරයා සහ ගුරුවරයා නිසා ය.
මේ නොවැම්බරයේදීත් මාගේ අභියෝගය මෙයයි:
ජනතා විමුක්ති පෙරමුණේ නායකයිනි, ජනාධිපතිතුමනි,
තිස් අට වසරකට පසු, මේ නොවැම්බරයේත් මට අසන්නට ඇත්තේ එකම ප්රශ්නයකි: අද ජවිපෙ අත රැඳී ඇති විධායක සහ සුවිශාල ව්‍යවස්ථාදායක බලය හමුවේ, ඔබ පක්ෂයේ අතීත අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයන් ඇරඹීමටත්, සත්‍යය හෙළි කිරීමටත්, අවශ්‍ය වෙතොත් අපක්ෂපාතී අධිකරණයක් හමුවට යාමටත් තරම් ධෛර්යයක් ඔබට තිබේද?
තමන්ගේම වාමාංශික මූලධර්ම වෙනුවෙන් පෙනී සිටිමින් මරණය තෙක්ම නොවෙනස්ව, ප්‍රතිපත්ති ගරුකව ජීවත් වූ මගේ තාත්තා ඇතුළු, ඔබ, ඔබ පක්ෂය විසින් අමානුෂික ලෙස මරා දැමූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේ කවදාද?
