Featured Articles, Features, Jaffna

දෙමළ ජනයාගේ දුක්ගැනවිලි හමුවේ නිදිවදින ජනාධිපති කොමිසම(LLRC)


පුවත උපුටා ගැනීම – story on a website called Athirvu.com.

මෑතක දී මන්නාරමෙහි පැවැත්වුණු ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ (LLRC) සභා වාරය අතරතුර දී කොමිසමේ කොමසාරිස්වරයෙකු නිදා සිටින ආකාරය පෙන්නුම් කරයි.

ඔබ කිසි කලෙක මෙවන් කොමිසමක් දැක තිබෙන්නෙහි ද?

පසුගිය ජනවාරි 8දා , උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම මන්නාරම බලා චාරිකා කළේ ය. සිය ස්වාමි පුරුෂයන් සහ දරුවන් අහිමි වුණු කාන්තාවෝ ද අතුරුදන් වූවන් සහිත පවුල් ද අතිමහත් සංඛ්‍යාවක් කොමිසමට කරුණු කියනු වස් සභා වාරය පැවති ස්ථානයට රැස් වූහ. තම ගැටලු සහ තම ඕනෑකම් කොමිසමට විස්තර කරද්දී ජනයා කඳුළු වගුරමින් හඬා වැටුණෝ ය. ඔවුන් කොමිසමට කරුණු කියා සිටියේ එය සිය ඕනෑකම් පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසයෙනි. එහෙත්…සිදු වෙමින් පවතින්නේ කුමක් දැයි ඔබට පෙනෙනවා නො වේ ද…

කියා සිටින දෑ වාර්තා කර ගත යුතු පුද්ගලයා නින්දෙහි ය. දුෂ්කර කටයුත්තක යෙදී මහත් වෙහෙසට පත් වූවා සේ ඔහු නිදා සිටින ආකාරය ඔබට පෙනෙනවා නො වේ ද? මේ මිනිසුන් කිසි කලෙක දෙමළ ජනයා මුහුණ දෙන දුෂ්කරතා අවබෝධ කර ගනු ඇත් ද/දැන හඳුනා ගනු ඇත් ද? තමන්ට සහනයක් ලැබෙතැයි අදහා ගෙන ජනාධිපති කොමිසමට පැමිණි ජනයාට ඇහුම්කන් දෙන්නට වත් සිංහලයන් තුළ කැමැත්තක් නැත. නිදා සිටි කොමසාරිස්වරයාගේ නින්දට බාධා කිරීමට තැවෙමින් කොමිසමේ අනෙක් සාමාජිකයෝ ඔහු අවදි කිරීමට නො අර අඳිති.

සිංහලයන් තුළ දෙමළ ජනයා ගැන ගෞරවයක් නැත. ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබන දෙමළ ජනයා මුහුණ දෙන ඛේදජනක තත්ත්වයට මෙය උදාහරණයකි, ඔවුන් නැවත නැවතත් කලකිරීමට/මුළා වීමට ලක්වනවා පමණකි.

ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය අභිනන්දනය කිරීම සඳහා පමණ නො දැන නාස්තිකාර සහ නිෂ්ඵල අතිදැවැන්ත කිරිබතක් හැදීමෙන් සංකේතවත් වුණු ප්‍රචණ්ඩත්වය දකුණෙහි බහුතර ජනයාගේ පිළිගැනීමට ලක් නොවූවා සේම තම කාරියෙහි යෙදෙන අතරතුර දී කොමසාරිස්වරයෙකු නිදා ගැනීමේ දසුන ද වෘත්තීය අනවධානය පිළිබඳ කාරණයෙන් ඔබ්බට යයි.

කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියවුන්ට ඇඟෙන්නේ බැලූ බැල්මට එය තමන්ගේ ඕනෑකම් නිෂ්ප්‍රභ කිරීමක් සහ ඒවාට අගෞරව කිරීමක් බව යි, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ අරමුණට පරිපූර්ණව ම පටහැණි බව යි. ගමන සහ වැඩ කටයුතුවල වේගය නිසා – නැහැ, බැහැ නො කියා උනන්දුවෙන් වැඩ කරන, පැය සිය ගාණක් තිස්සේ සාක්ෂිවලට ඇහුම්කන් දෙන්නට සිදුව තිබෙන – කොමසාරිස්වරුන් අධික කායික වෙහෙසට පත් විය හැකි ය. මින් යෝජනා කෙරෙන්නේ, එක්කෝ මාරුවෙන් මාරුවට පෙනී සිටීමේ ක්‍රියාවලියක් පිළිබඳව ය, නැත් නම් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම යනු ඒ ඉදිරියෙහි පෙනී සිට පලුද්දකින් තොරව තමන්ගේ සියලු දුක් ගැනවිලි කියා පෑ හැකි වේදිකාවක් ලෙස දකින සිය ගණනක් දෙමළ ජනයා සමග කොමසාරිස්වරුන්ට හරි හරියට වැඩ කළ හැකි වෙනත් ක්‍රියාවලි ක්‍රම පිළිබඳව ය. සාක්ෂි දෙන අතරතුර දී නිදා සිටීම කිසි ලෙසකින් විකල්පයක් නො වේ.

මෙම ලිපිය දෙමළ බසින් පළ වීමත් සමග, නිදා සිටින කොමසාරිස්වරයාගේ දසුන මොන යම් ම හෝ ප්‍රතිසන්ධානයකට බරපතළ ලෙස එරෙහිව යන්නක් බවට හැඟීම් මතු විය. දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යයෙහි පළ වීමත් සමග මෙම ඡායාරූප දෙමළ ඩයස්පෝරාව තුළ සිටින වඩා අන්තවාදී කොටස් අතට පත් විය හැකි ය. එය පශ්චාත් යුද ප්‍රතිසන්ධානය සම්බන්ධ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ, ආණ්ඩුවේ සහ සිවිල් සමාජයේ වැඩ කටයුතු වඩ වඩාත් දුෂ්කර කරනවා පමණකි.