සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

‛‛ආණ්ඩුවත් රකියි – මරුවො, නීතියෙනුත් රැකෙයි – මරුවො’’ මාධ්‍යවේදින් ඝාතනයට, අතුරුදහන් කිරීම්වලට විරුද්ධව කොළඹදී උද්ඝෝෂණයක්

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර එළබෙන ජනවාරි 24දාට වසරක් ගතවීමට විරෝධය දැක්වීමටත් එම බරපතල සිද්ධීන්ට අදාල පරීක්ෂණ ඉක්මනින් සිදු කර එම ඝාතකයින් වහාම රටට හෙළිදරවු කරන ලෙස බලකරමින් අද(18) දහවල් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීය.

එහිදී ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ‛‛මාධ්‍ය මර්ධන ඉතිහාසයේ තීරණාත්මක මාසයක් වූ ජනවාරි මස සිදු වූ මෙම ප්‍රබල සිදුවීම් මෙන්ම අනෙකුත් කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂන වාර්තාවක් හෙළි කිරීමට බලධාරීන් කටයුතු කර නැත. කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත්ය’’

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, මෙවැනි සිදුවීම් නැවත වරක් සිදුනොවීමට වග බලා ගන්නා ලෙසටත් මෙහිදී ඔවුන් බළධාරීන්ට බලකර කියා සිටියේ ය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කරන ලද්දේ මාධ්‍ය සංවිධාන එකමුතුවයි

මේ එම උද්ඝෝෂන ව්‍යාපාරයේ සටන්පාඨ කිහිපයක්..
‛‛ලසන්තාව – මරා දාලා
වසර දෙකක් – ගෙවිලා ගියා
එකිනරළිගොඩ – අතුරුදහන්
එක වසරක් – ගෙවිලා ගියා

මිනීමරුවො – අල්ලුවේ නෑ
වග විභාග – වෙන්නෙත් නෑ
උසාවි, පොලිසී – වැඩකුත් නෑ
මෙහෙම ඉදල – හරියන් නෑ

ආණ්ඩුවත් රකියි – මරුවො
නීතියෙනුත් රැකෙයි – මරුවො
රටපුරාම -මිනී මරුවො
කාගෙද මේ – මිනී මරුවො

මැරයො රකින – ආශ්චර්ය
ආසියාවේ -ආශ්චර්ය
මහින්දගේ – ආශ්චර්ය
හෙන ගහනා – ආශ්චර්ය’’


මෙහි වීඩියෝ දර්ශණ සදහා vikalpasl වෙත පිවිසෙන්න.

ඡායාරෑප සහ සටහන
සම්පත් සමරකෝන්