සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම – ‛‛මේකට වග කියන්න ඕන ආණ්ඩුව නම්, ඒක සහගහන සාපරාධි අපරාදයක්.’’


‛‛ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් පසුගිය කාලයේදී මුහුණ දුන් අනේක විධ තර්ජනයන්, මර්ධනයන් සහ ජීවිත පැහැර ගැනීම් ගැන ඔබ දන්නවා. මේ තත්ත්වයේ අඛණ්ඩ වර්ධනය තුළ අද වන විට තවත් මාධ්‍ය ආයතනයක් කුරිරු භීෂණකාරී කණ්ඩායමක ගොදුරක් වෙලා තියෙනවා. ඇත්තටම මේ තත්ත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙද්දි මෙහි පාලනයක් අවශ්‍ය බව සහ මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට තම වෘත්තීමය කටයුතු නිදහසේ බාධාවකින් හා තර්ජනයකින් තොරව කර ගෙන යන්න ඉඩ දෙන්න කියලා අපි ඉල්ලීම් කළා, ආයාචනා කළා, උද්ඝෝෂණය කළා.

නමුත් ඒ කිසිවකින් මේ තත්ත්වය සමනය නොවීම තුළ අපට සිදුවෙනවා ආණ්ඩුවට ඇති වගකීම නැවත වතාවක් අවධාරණය කරන්න. ඊයේ ලංකා ඊ නිව්ස් ආයතනයට කිසියම් පිරිසක් කඩා වැදිලා දොරවල් කඩා බිඳ දාලා එහි ඇතුලට ගිහිල්ලා එම ආයතනය සම්පූර්ණයෙන්ම ගිණි බත් කරලා තියනවා. ඊ නිව්ස් ආයතනයේ තිබුනු පරිගණක සහ අනිකුත් උපකරණ, ලිපිලේඛන රාශියක් මේ ගින්නෙන් විනාශ වෙලා තියනවා. මේ සිද්ධියේ දී වග කිවයුත්තේ කවුද යන්න අපට නිශ්චිතව කියන්න බැහැ. නමුත් මාධ්‍ය සංවිධාන විදිහට අපි කියනවා මේකට වග කියන්න ඕන ආණ්ඩුව නම්, ඒක සහගහන සාපරාධි අපරාදයක්. එහෙම නැත්නම් කිසියම් කණ්ඩායමක් මගින් මේ රටේ මාධ්‍ය මර්ධනය කරන්න ඉඩ දීලා ආණ්ඩුව බලං ඉන්නවනම් එය ඉතාම බරපතල තත්ත්වයක්.

එහෙමත් නැතිනම් මේ සිදුවන සිදුවීම් සියල්ල ඉදිරියේ සැක කරුවන් වගකිවයුත්තන් අල්ලගන්න බැරි ආණ්ඩුවක් නම් තියෙන්නෙ ආණ්ඩුව හැටියට ලැජ්ජ වෙන්න ඕනෙ. ආණ්ඩුවෙ වගකීම තමයි රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, එමෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම තුළ කතා කිරීමේ සහ අදහස් පල කිරීමේ නිදහස සහතික කිරීම. නමුත් අවාසනාවකට අපේ රටේ පසුගිය දශක තුන තුළ මෙම කාර්යය ඉටු වී නැහැ.

අපි අද මේ තත්වයට විරුද්ධ වුනේ නැත්නම් ඔබ වෙතට මේ මර්ධනය එනවා. මේක ඉතාම බිහිසුණු තත්වයක්. රටක පුරවැසියන් විදිහටත් මාධ්‍ය සංවිධාන විධියටත් අපට මෙම තත්ත්වය ඉදිරියේ නිශ්ශබ්දව ඉන්න බැහැ. අප මේ සිද්ධිය පිලිකුලෙන් හෙලා දකිනවා. අප කියා සිටිනවා මේ රටේ මාධ්‍යවේදීන්ට නිදහසේ තම කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න නැත්නම් එසේ කරන තුරු එහි වගකීමෙන් මිදෙන්න රජයට බැහැ කියලා.’’

ලංකා ඊ නිව්ස් කාර්යාලට අද(31) කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර එම ගිනි තැබීමෙන් ඊ නිවුස් කාර්යාලයේ සියලු උපකරණ ඇතුළු ලිපිලේඛන එම ගින්නෙන් විනාශ වී ඇත. ඒ සම්බන්ධයෙන් අද මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා එසේ පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට ලංකාව තුළ සිදුවන මාධ්‍ය නිදහසේ තරම මෙම සිදුවීමෙන් මනාවට පැහැදිලි වෙයි. පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන් ජනවාරි මස තුළදී මෙවැනි ගිණ තැබීම්, මාධ්‍යවේදීන් පැහරගෙන යෑම්, අතුරුදහන් කිරීම්, ඝාතනයට ලක්කිරීම් වැනි අපරාද විශාල ගණනාවක් සිදු විය. නමුත් මේ වන විට එම සියලු සිදුවීම්වලට අදාල කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමටවත් ඒ පිළිබදව සැලකිය යුතු තොරතුරක් සොයා ගැනීමට ආණ්ඩුවට හෝ ආරක්ෂක අංශවලට නොහැකි වී තිබේ.

ඒ මාධ්‍ය නිදහසත්, අන්මත ඉවසීමට ඇති හැකියාවත් සහ ලංකාවේ නීතියේ සහ ආරක්ෂක අංශවල අරාජිකත්වයත් පෙන්නුම් කරන සාධකයන්ය.