Colombo, end of the War, Featured Articles, Features

ද්‍රෝහී නවනීදන් පිල්ලේට ආරාධනයක්..

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

එක්සත් ජාතීන්ගේ සංවිධානයට රාජපක්ෂ ආණ්ඩුවේ කසකරුවන් උදේ හවා බැට දුන් පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ සළකන ලද්දේ තුරන් කළ යුතු තවත් එක් ද්‍රෝහියකු ලෙස ය. එසේ නමුත් පසුගිය 14දා ජීනීවා මානව හිමිකම් කොමිසමෙහි කතා කරමින් ශ්‍රී ලංකා තානාපතිනි ක්ෂෙනුකා සෙනවිරත්න කියා සිටියේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණෙන ලෙස ආරාධනය කිරීමට තම ආණ්ඩුව ක්‍රියා කරගෙන යන බව යි.

මෙයට හරියටම වසරකට පෙර එනම් 2010 මාර්තු 12දා මහජන රැස්වීමක් අමතමින් අද ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රිවරයකු සහ ආරක්ෂ අමාත්‍යාංශයේ උපදේශකයකු වන දුමින්ද සිල්වා මෙසේ කීය: “මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි කියන දේ පිළිගැනීමට අපි ඇගේ යටත් විජිතයක් නොවෙයි. අපි ඇය කියන දේ පිලිගන්නේ නැහැ.” ඒ වනාහී එකල පාලන දේශපාලනඥයන් විසින් යළි යළි පුනරුච්චාරණය කරන ලද වෝදනාවකි. එකළ මහ කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවට පැමිණෙන සේ ආරාධනය කළ යුතුයැයි යමකු කීවේ නම් හේ උල තියා මරන්නට පවා ඉඩ තිබුණි.

වසරක් තුළ සැබෑ වෙනසකි. දැන් ශ්‍රී ලංකාණ්ඩුව තමන් විසින් එළෙස බැට දුන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේට සිය රටට පැමිණ තොරතුරු විමසා දැන ගන්නැයි ආරාධනය කරයි. එපමණක් ද නොවේ. ශ්‍රී ලංකාණ්ඩුව දැන් කවර රටක හෝ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳව සොයා බැලීමට අන්තර් ජාතික පරීක්ෂන කමිටු පත් කිරීම බටහිර කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසන්නේ නැත. ජිනීවා මානව හිමිකම් කොමිසම හමූයේ පසුගිය 14දා ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ වගවීමේ අන්තර් ජාතික පියවරයන් පිළිබඳව සළකා බැලිය යුත්තේ දේශිය මානව හිමිකම් ආරක්ෂණ යාන්ත්‍රණයන්ගෙන් පලක් නැති නම් පමණක් බවයි. එනයින් වක්‍ර ලෙස දැන් ශ්‍රී ලංකාණ්ඩුව පිළි ගන්නේ දේශීය මානව හිමිකම් යාන්ත්‍රණයන් පලදායක නොවන කළ අන්තර් ජාතික මානව හිමිකම් පරීක්ෂනයන් අවශ්‍ය කරන බව යි.

ජීනීවා හි ශ්‍රී ලංකා තානාපතිනිය මානව හිමිකම් කොමසම හමූයෙහි කළ කතාව අසා සිටින අයෙකුට හැගෙන්නේ මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂිය නීති කෙළෙසීම ගැන පරීක්ෂණ පැවැත්වීමේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකගතාවයකින් කටයුතු කරන්නේ යැයි කියා ය. ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් ගේ එකඟතාවය පවා ලද බවත් ඇය කියා සිටියේ එමගින් එම කොමිසම සාධාරණය කිරීම පිණිස ය.

එනමුත් වසරකට තරම් ඉහත දී මෙම ශ්‍රී ලංකාණ්ඩුවම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නොව ඒ සමඟ කටයුතු කරන ශ්‍රී ලංකා පුරවැසියනටද සැළකූයේ ත්‍රස්තවාදී සහකරුවන් ලෙස ය. මේ දිනවල ජීනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ 16වන සැසි වාරයට සහභාගි වීමට පැමිණි ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාධරයින් සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ විසින්ම කතුවරුන් හමුවේ විවේචනාත්මකව කතා කලේ යැයි කියනු ලැබේ. රාජපක්ෂ ආණ්ඩුවේ මංත්‍රිවරයකුට සම්බන්ධ පුවත්පතක් ද එම පිරිස් කොටි හිතවාදීන් ලෙස හංවඩු ගසා තිබුණි.

එහෙත් දැන් අනෙක් අතට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ප්‍රධානීන් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන පිළිවෙත වෙනස් වී තිබේ. ඊට හොදම උදාහරණයක් වන්නේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ට ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස කර ුඇති ආරාධනය යි. අමාත්‍ය මහින්ද සමරසිංහගේ සහ තානාපතිනි ක්ෂෙනුකා සෙනවිරත්න යන දෙදෙනාම විසින් මානව හිමිකම් කොමිසම හමූයේ කරන ලද කතා විසින් පෙන්නුම් කරන්නේ එදිරිවාදි කමකට වඩා එකඟතාවයකි. තමන් ඉක්මණින්ම මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කරන බවට ද ඔව්හු කොමිසමට පොරොන්දු වූහ.

මෙම වෙනසට හේතුව විය හැක්කේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී සිදුවී යැයි කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සොයා බැලීමට එහි මහ ලේකම් විසින් පත්කරන ලද කොමිසමේ වාර්තාව නිකුත් වීමට ආසන්න වී තිබීම විය හැකි ය. මෙම වාර්තාව සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකාණ්ඩුවට ඉතා දුෂ්කරවනු ඇතැයි මානව හිමිකම් විද්වත්හු පෙන්වා දෙති. මාර්තු මස අගදී එම වාර්තාව නිකුත්වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් වකවානුවේ දී එල්ටීටීය සහ ශ්‍රී ලංකාණ්ඩුව යන දෙපාර්ශවයම විසින් අන්තර් ජාතික මානුෂිය නීතිය කෙළෙසන ලද බවට පිළිගත හැකි සාක්ෂි ඇති බැවින් ඒ පිළිබදව සොයා බැලීම පිණිස ස්වාධීන පරික්ෂනයක් අවශ්‍ය බවත් එය විසින් නිර්දේශ කරන්නට බොහෝ දුරටම ඉඩ ඇතැයි අසන්නට ලැබේ.

එසේ වුවුහොත් ශ්‍රී ලංකාව කුමන පියවරක් අනුගමනය කරනු ඇත් ද? ඒ කෙසේ වෙතත් මෙම වාර්තාව හෝ එහි නිර්දේශ සම්බන්දයෙන් ශ්‍රී ලංකාණ්ඩුව විසින් ගනු ලබන ස්ථාවරය අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට තීරණාත්මක කඩ ඉමක් බවට පත්වන බව නිසැක ය.

මර්වින් චින්තනය සහ මහින්ද වින්තනය

මර්වින් චින්තනය සහ මහින්ද චින්තනය යනු දෙකක් ද? එකක් ද? දෙකක් විය නොහැකි ය. මන්ද යත් මහින්ද චින්තනය යටතේ වෙනත් චින්තනයන්ට අවකාශයක් නැති නිසාත් අමාත්‍ය සිල්වා සෑම විටම තමා ජනාධිපති රාජපක්ෂගේ කසකරුවකු ලෙස හඳුන්වා ගන්නා නිසාත් ය. එමෙන්ම ජනාධිපති රාජපක්ෂ ද අමාත්‍ය මර්වින් දිවිහිමයෙන් රැක ගන්නා බව භාවිතයෙන්ම පෙන්වා ඇති නිසාත් ය.

මර්වින් චින්තනයට අනුව ආණ්ඩු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන ස්ත්‍රින් හැඩකාර නම් ඔව්න් ‛නියම බඩු කෑලිය’. ඒ ‛බඩු කෑලි වලට’ දේශපාලනඥයින් ඹ්නෑම වැඩක් කර දිය යුතු ය.

මර්වින් වින්තනයට අනුව රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනතා නැගිටීමක් ඇති වුව හොත් එම ජනයාට වෙඩි තබා මරා දැමිය යුතු අතර ඇමැතිවරු සිය පිස්තෝල ඒ සඳහා පාවිච්චි කළ යුතු ය. එසේ වෙඩි තැබීමට ලැබුණ හොත් එය සැළකිය යුත්තේ ආඩම්බරයට කාරණයක් ලෙස ය.

ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින්ගේ කැමැත්ත අනුව මිස අන් කවර හෝ දේශපාලන පක්ෂයකට නිදහසේ ප්‍රචාරක කටයුතු කරගෙන යෑමට හෝ දේශපාලන පක්ෂයන්හි ධජ පතාක යනාදිය ප්‍රදර්ශණය කිරීමට ඉඩ නොදිය යුතු බවත් මර්වින් චින්තනය කියා සිටී.

මහා ජනයාට මිලදී ගැනීමට ඉඩ තිබිය යුත්තේ කුමණ ආහාර ද යන්නත් මහා ජනයා වවාගෙන පමණක් ආහාරයට ගත් යුත්තේ කුමන ආහාරද කියා නීති පැනවීමට දේශපාලනඥයින්ට අයිතියක් තිබිය යුතුය කියා මර්වින් චින්තනය පිළිගනියි.

තම අණසක පිළිනොගන්නා රජයේ සේවකයින් ජනමාධ්‍ය හමුයෙහි ගස් බැඳ අපහාසට පත් කළ යුතු යැයි යැයි ද අනතුරුව එම අපහාසය නාට්‍යක් රඟ දැක්වීමකැයි ප්‍රකාශ කොට මහා ජනයා ගොනාට ඇන්දවිය යුතු යැයි ද මර්වින් චින්තනයේ සදහන් වේ.

මෙවැනි තවත් අගනා නිර්දේශ ගණනාවක්ම මර්වින් චින්තනය භාවිතයෙන්ම හඳුන්වා දී තිබේ. දැන් මහින්ද චින්තනයට තවත් පිටු කිහිපයක් අලවා මෙම අගනා අදහස්ද ඊට එක් කිරීම මැනවි.

සුනන්ද දේශප්‍රිය