Featured Articles, Features, Jaffna

උතුර – මීලග ගැටුමට පාර කැපීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

යුද්ධාවසානයට දෙවසරක් පිරීමට තව ඇත්තේ මාස දෙකකි. යුද්ධාවසානය සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය මහෝත්සව දැනටමත් සැළසුම් කැරෙමින් තිබෙනවා ඇත. එනමුත් උතුරෙහි තොරතුරු විමසා බැලූ ස්වාධීන විචාරකයින් පෙන්වා දෙන්නේ මහෝත්සවයකට වඩා කණගාටුවට සහ කේන්තියට හේතු වන කරුනු ය.

පසුගිය 17දින පැවැති පළාත් පාලන මැතිවරණයේ දී උතුරෙහි දෙමළ බහුතරයක් සහිත සියළුම ආයතන දිනා ගැනීමට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමත් වීම මගින් ද පෙන්වන්නේ වෙනම දේශපාලන විත්‍රයකි. එන්න එන්නම දූෂිත සහ භීෂිත වන ශ්‍රී ලංකාවෙහි මැතිවරණ ක්‍රමයේ ස්වභාවය විසින් බලයේ සිටින රජයට ලබා දෙන අතිමහත් වාසිදායක තත්ත්වයන් ද තිබියදීත් දෙමළ ජනයා ජීවත්වන පෙදෙස්හි පාලනය අල්ලා ගැනීමට රාජපක්ෂ පාලනයට නොහැකිවීම විසින් පැහැදිලිව පෙන්වන්නේ දෙමළ ජනයා අතර වත්මන් පාලනයට ඇති අකමැත්ත සහ විරෝධය යි. ආණ්ඩුවේ දැවැන්ත දේශපාලන ප්‍රචාරයන්හි මාතෘකාවක් බවට පත්ව ඇති උතුරු වසන්තය සහ නැගෙණහිර උදානය යන වැඩ සටහන් ද නොසළකා මෙම අකමැත්ත මෝදුවීම විමසා බැලිය යුතු කරුණකි.

යුද්ධයේ දරුණුතම විපාකයන්ට මුහුණ දුන් උතුරු දෙමළ ජනයාට ප්‍රකාශිත විමුක්තිය ලැබී තිබේ දැයි යළි විමසා බැලීම වර්ධනය වන දේශපාලන තත්ත්වය යටතේ වැඩි වැදගත්කමක් අල්ලා ගනී. උතුරෙහි සංචාරයකින් පසු සිය අත්දැකීම් ලියූ ඉන්දි සමරජීව ග්‍රවුන්ඩ්ස් විව්ස් පුරවැසි වෙබ් අඩවියෙහි සටහන් කර තිබුණේ මේ අදහස් ඊට යොමුවක් ලබා දෙයි:

මේ 2011 ය. එල්ටීටීඊ ය සහ ආණ්ඩුව අතර වූ යුද්ධයේ අවසානයෙන් වසර එකහමාරක් ගතව තිබේ. එසේ වෙතත් යුද ගැටුම පැවැති අවධියේදීටත් වඩා උතුරුකරයෙහි සිවිල් පරිපාලනය සහ සිවිල් ජනයාගේ ජීවිතය මත මිලිටරි පාලනය වැඩිවෙමින් තිබීම ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි.

2011 අලුත් අව්රුද්ද යාපනයට පැමිනියේ පැහැර ගැනීම්, මනුෂ්‍ය ඝාතනයන්, සහ සොරකම් පිළිබඳව මහ ජනයා බියෙන් ජීවත්වන පරිසරයක් තුළය. එනමුත් රාජ්‍ය නිලධාරීන් එනම් යාපනයේ හමුදා ප්‍රධානී මේජර් හතුරුසිංහ සහ දිසා ලේකම් ඉමෙල්ඩා සුකුමාර් වැනි අය ද ජනාධිපති රාජපක්ෂ ද කියා සිටියේ මේ වනාහී ආණ්ඩු විරෝධීන්ගේ බොරු කතා බව යි. උතුරේ තත්ත්වයේත් දකුණේ තත්ත්වයෙත් වෙනසක් නැතැයි කී ජනාධිපතිවරයා රටට නරක නාමයක් ලබා දෙනු වස් ප්‍රශ්ණ අනවශ්‍ය ලෙස විශාලකර වාර්තා කරන්නේ යැයි දෙමළ පුවත්පත්වලට දෝෂාරෝපනයක් ද කළේ ය. එසේ වුවද මෙම භීතියට ප්‍රතිචාරයක් වශයෙන් මේජර් හතුරුසිංහ කියා සිටියේ අර්ධද්වීපයේ සාමය සහ සංහිදියාව පවත්වා ගැනීමේ සිය රාජකාරිය ඉටු කරමින් යුද හමුදාව පැය 24පුරා පාපැදි මුර සංචාරයක් ආරම්භ කරන බව ය. මෙම ප්‍රකාශයම උතුරුකරයේ පවත්නා මිලිටරිකරණයේ තරම පෙන්වා දෙයි. මන්ද යත් නීතිය සහ සාමය රැකිය යුතු පොලීසිය නිහඩව සිටින අතර මහජන ප්‍රශ්ණ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ යුද හමුදාව වීම නිසා ය.

උතුරෙහි මිලිටරිකරණය සිදුවන්නේ සංකීර්න ලෙස විවිධ තලයන්හි ය. බොහෝ විටම පුද්ගලික ඉඩම් සහ නිවෙස්හි පිහිටුවා ඇති, සෑම මං සන්දියකම සහ සෑම ගමකම පවත්නා තිබෙන සොදිසි මුර කපොලු එකවරම කැපී පෙනෙන මිලිටරිකරණ ලක්ෂනය යි. ඊට අමතරව නව හමුදා කඳවුරුද පිහිටුවා තිබේ. මීට අමතරව ඇසට නොපෙනෙන වෙනත් ක්‍රම සහ විදි ද යොදා ගැනේ. 2001 ජනවාරි 07 දින ජනාධිපති කාර්‍ය සාධක බලකාය විසින් යාපන, කිලිනොච්චි, මන්නාරම සහ මුලතිව් දිසා ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛනයකින් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙක් සේවා සපයන්නන් විසින් ආධාර සපයනු ලබන ජනයාගේ ලැයිස්තු යුද හමුදා සේනාංකයේ නිලධාරියකු විසින් අනුමත කිරීමෙන් පසුව පමනක් තීරණය කළ යුතු බවයි. මේ වනාහී පැහැදිලිවම සිවිල් පාලනයට මිලිටරි හස්තය ඇතුල් වීමකි. අරුමය නම් යුද්ධය පැවැති කාලයේ එල්ටීටීඊයේ භූමිකාව දැන් සාම කාලයේදී යුද හමුදාව විසින් පුරවා තිබීම යි.

වන්නියේදී යුද හමුදාවේ මැදිහත්වීම වඩා ගැඹුරට කා වදින්නේ ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව අතලොස්සකට වඩා එක්රැස් වන ඕනෑම අවස්ථාවක් පවා පුළුල් ලෙස නීරීක්ෂනය කරන පිළිවෙත මගිනි. අසල්වාසයේ කරුණක් පවා හෝ සාකච්ජා කිරීමට කිහිප දෙනෙකු එක් වන්නේ නම් එය යුද හමුදා ඛණ්ඩයට එය දැනුම් දිය යුතු බව වන්නියේ ජනයා දනිති. සමහර අවස්ථාවන්හිදී මෙම එක්රැස්වීම්හි වාඩිවී සිටින හමුදා පිරිස් ඒවා අකුරෙන් අකුර නිරීක්ෂනය කරති. තවදුරටත් යුද්ධයක් නැති ‛ප්‍රජාත්ත්‍රවාදී’ රටක යුද හමුදාව මෙලෙස සිවිල් ජීවිතය පාලනය කිරීම සාධාරණ කරන්නේ කෙළෙසදැයි සිතා ගැනීම දුෂ්කර ය.

යුද හමුදාව විසින් පාලනය කරන “සිවිල් කටයුතු කාර්යාලය” උතුරේ සිවිල් ජන ජීවිතයට මිලිටරි මැදිහත්වීම පෙන්වන කැඩපතකි. මෙම කාර්යාලය පිහිටුවන ලද්දේ උතුරේ ජනයාට දකුණට ඒමට අවසර ගත යුතුව තිබූ කාලයේ දී ඒ සඳහා ය. අද මෙම ඒකකය තොරතුරු එක්රැස් කිරීමේ සහ ඔත්තු කාර්යාංශයක් බවට පරිවර්ථනය කර ඇත. නිදසුනක් ලෙස ‛පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්’හි රඳවා සිට නිදහස් කරනු ලැබූ සියල්ලන්ම මෙම කාර්යාලයේ ලියාපදිංචි වී සතිපතා හෝ දෙතියකට වරක් හෝ මාසිකව හෝ එයට වාර්තා කළ යුතු ය. මෙය සිදු කරන්නනේ කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් හෝ නැතිවය.

යාපනයේ මෙම කාර්යාලයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ හමුදාව ‛ප්‍රති සංධානය ඇති කිරීමට, සිවිල් ජන ජීවිතය ඇති කිරීමට මෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් ජනයාගේ පාරම්පරික ආර්ථික කටයතු පණ ගැන්වීමට පරිවර්ථීය කාර්‍ය භාරයක නිරතව සිටින බවයි. එ අනුව හමුදාව සරණාගත දරුවන් රැක බලා ගැනීමේ කාර්‍ය ද ඉටු කරයි. මේ සියල්ල සිවිල් පරිපාලන කටයුතු ය.

දෙමළ පොලිස් නිලධාරීන් බඳවා ගැනීම ගැන වාර්තා පළ වුවද යාපනයේ වීදියේදී මුණ ගැසෙන්නේ පොලීසිටයට වඩා හමුදාවය. ඔවුන් දෙමළ කතා කරන්නේ නැත. නිදසුනක් වශයෙන් කයිතඩි පාලම, වලෙයි හන්දිය වැනි නාම පුවරු සිංහල බසින් පමණක් ඇති අතර මාන්කුළම් හි යුදහුමදා පොලීසයේ වීදි නාම පුවරු ඇත්තේ සිංහලයෙන් සහ ඉංග්‍රිසියෙන් පමණි.

එල්ටීටීය සහ දෙමළ ජනයා අතර සහ-සම්බන්ධය ඉතා සංකීර්ණ සහ සංවේදී කරුණක් ලෙස පැවැති අතර අදද එසේම ය. මෙම සම්බන්දතාවයට දෙමළ ප්‍රජාවෙහි විවිධ අදහස් ඇතුළත් ය. අයෙක් එයට සහමුලින්ම සහාය දුන් අතර තවත් අයෙක් දෙමළ ජනයාගේ ගැටළු වලට දේශපාලන විසදුමක් නොලැබීම වීම නිසා එල්ටීටීඊ ය ඉවසා සිටියෝ ය. තවත් අයෙකුට එල්ටීටීඊ යේ මර්දනකාරී පිළිවෙත හමූයේ ගත හැකි අන් පියවරක් නොවීය. පශ්චාත් යුද වකවානුව තුළ මෙම කරුණ විසදාගත යුත්තේ දෙමළ සමාජය විසින් එය තුලම ය. ඉතිහාසය බලහත්කාරයෙන් පැටවීම, සාමූහික මතකය පාලනය කිරීම සහ පශ්චාත් යුද මානසිකත්වය තුලට කා වැදීම පිණිස උතුරෙහි සිවිල්, සමාජ සහ දේශපාලන අවකාශය තුලට යුද හමුදාව මහා පරිමාණයෙන් ඇතුල් කිරීම කර්කෂ සහ අදූරදර්ශි ක්‍රියාවක් වනවා පමණක් නොවේ. එය අවසානයේ දී රාජ්‍යට ස්වයං නාශක ක්‍රියාවක් බවට පත් වනවා ඇත. වෙනත් වචනයෙන් කියන්නේ නම් එල්ටීටීඊ ය නොමැති වුවද ඒ වර්ගයේ දෘඩ ජාතිකවාදයක් දෙමළ සමාජ දේශපාලන ව්‍යුහය තුළ පණ ගැන්වීමට ගැනීමට මීට වඩ හොද අන් ක්‍රමයක් නැත.

ආණ්ඩුවේ මෙකී නොකී ක්‍රියා මාර්ග තුලින් උතුරේ ජනයාට සංනිවේදනය වන පණිවිඩය නම් තමන් සමාන පුරවැසියන් ලෙස සළකනු ලැබීමටත් බහු වාර්ගික සමාජ දේශපාලන ව්‍යුහයක පූර්ණ සමාජිකයන් ලෙස පිළිගනු ලැබීමටත් අවස්ථා නැති තරම් බව යි. ඒ වෙනුවට ඔවුනට හැගෙන්නේ අනෙකකු විසින් තමන් යටත් කර ගන්නා ලද භූමියක ජීවත් වන බව යි. යුද්ධයේ ජයග්‍රාහකයා ලෙස ආණඩුව ප්‍රයත්න දරමින් සිටින්නේ ඔව්න්ගේ භාෂාව, සංස්කෘතිය සහ උරුමය අකාමකා දමමින් ස්වකීය කැමැත්ත සහ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ වන ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් දෙමළ ජනයා මත පැටවීමට ය. ආණ්ඩුවේ මෙම මූලෝපාය දෙමළ ජනයා තුල කේන්තියක්, නොසතුටක්, සහ ප්‍රජා අයිතීන් උදුරාගැනීමක හැගීමක් උපදවමින් තිබේ. මෙමගින් කෙටි කාලීනව ප්‍රති සංධානයට ඇති ඉඩ අසුරන අතර දීර්ග කාලීනව තවත් ගැටුමකට මඟ පෑදීමට ඉඩ තිබේ.

(මෙම සටහනෙහි ඇත්තේ ඉන්දි සමරජීවගේ ලිපියේ පරිවර්ථනයක් නොව එහි එය අදහස් පමණකි.)

සුනන්ද දේශප්‍රිය