Colombo, end of the War, Featured Articles, Features

දුටුගැමුණුට එරෙහිව දරුස්මාන්


සුනාමි පැමිණියේය. සුනාමියට හසු වී ප්‍රභාකරන් මිය ගිය බවට මතයක් දකුණේ සමාජය තුළ වේගයෙන් පැතිරිණ. සතුටට කිරිබත් පිසීමට ඔන්න මෙන්න තිබිය දී ප්‍රභාකරන් මිය නොගිය බව ආරංචි විය. ඉතිහාසයේ දී දකුණේ සමාජය ලංකාවේ ජාතික ගැටළුව විසඳීමට උත්සාහ ගත්තේ මේ ආකාරයටය. අද ප්‍රභාකරන් මිය ගොස්ය. නමුත් ජාතික ගැටළුව මිය ගොස් නොමැත. එය වෙනදාටත් වඩා සෞඛ්‍ය සම්පන්නය. නමුත් ආණ්ඩුවට අනුව ජාතික ගැටළුව මිය ගියේ ප්‍රභාකරන් මිය ගිය දිනයේදීය. එවිට අපි පෙරලා ආණ්ඩුවෙන් අසන ප්‍රශ්නය නම් ජාතික ගැටළුව ඉපදුනේ ප්‍රභාකරන් සමගද යන්නයි.

සයිඩ් කණ්ණාඩිය වින්ස්ක්‍රීන් එක කර ගැනීම

ඉතිහාසය පිළිබඳ අධිනිශ්චයකරණය දකුණේ සමාජයේ ප්‍රධාන රෝගයයි. අද වන තෙක් ලංකාව පාලනය කළ විවිධ ආණ්ඩුවලට ජාතික ගැටළුවට නියමාකර විසඳුමක් දීමට නොහැකි වූයේ ඉතිහාසය පිළිබඳ මෙම අධිනිශ්චයවාදයයි. එය කොතරම් දරුණු ද යත් ඉතිහාසයේ සඳහන් අතිශය පැතලි කතාන්තරයක් වන දුටුගැමුණු රජු හා ඔහුගේ යුධ කටයුතු පිළිබඳ පුරාවෘත්තය ආණ්ඩුව විසින් ගෙනගිය යුද්ධයට සමාන කළේය. ජනාධිපතිවරයා දුටුගැමුණුට සමාන කළේය. ප්‍රභාකරන් එළාර විය. දෙමළ ජනයා සොලීන් විය. සිංහල ජනයා දේශප්‍රේමී වීරයෝ විය. ආණ්ඩුව විසින් ජාතීන් අතර භේදයක් නැත යන්න කොතරම් කෑගසා කීවද මෙතුවක් කාලයක් ලංකාවේ ජාතික ගැටළුව මෙහෙයවනු ලැබුවේ ඉහත සඳහන් දුටුගැමුණුවාදී නාමමාත්‍ර ඓෙතිහාසිකත්වයක් විසිනි. තවමත් එය එසේය. සිංහයාට කඩුව දුන් ජාතික කොඩියකින්, සිංහල භාෂාවෙන් පමණක් ලියාපදිංචි කර ඇති ජාතික ගීයකින්, පාරවල් දිගේ දෝරෙ ගලන ප්‍රදර්ශනකාරී බෞද්ධත්වයකින් කියා සිටින්නේ මේ රට අයිති දුටුගැමුණු පරම්පරාවට පමණක් බවය.

මෙම තත්වය සයිඩ් කණ්ණාඩිය (ඉතිහාසය) දෙස පමණක් බලමින් රිය පැදවීමකි. නමුත් අද සයිඩ් කණ්ණාඩිය දෙස පමණක් බලමින් රිය පැදවීමේ වරදට දරුස්මාන් නැමැති පොලිස් නිළධාරියා ආණ්ඩුවට එරෙහිව දඩ කොළයක් ලිවීමට යයි. ආණ්ඩුව තමන් අඳුරන චීන පොලිස් නිළධාරීන්ට හා රුසියන් පොලිස් නිළධාරීන්ට කෝල් කරමින් රට ඇතුළේ ඕනෑම දෙයක් කිරීමට ඉඩ දෙන බවට පොරොන්දු දෙමින් දරුස්මාන්ගේ දඩ කොළයෙන් තමාව බේරා දෙන ලෙස අයාචනා කරයි. ඒ අතරතුර දරුස්මාන්ගේ පටි ගලවන බවට පාට් දමයි. දඩ කොළයෙන් බේරීමට කලාකරුවන් (?) ලවා බෝධි පූජා තියවයි. දඩකොළයට එරෙහිව අත්සන් තිස්තුන් කෝටියක් ගැසීමට යයි.

දුටුගැමුණු ප්‍රවේශයට එරෙහිව දරුස්මාන් නැගිසිටීම

දරුස්මාන් නැමැත්තා ආණ්ඩුවේ ගැටුම් නිරාකරණ සම්බන්ධයෙන් වූ දුටු ගැමුණු ප්‍රවේශයට එරෙහිව නැගීසිටීම ලංකාවේ පක්ෂ විපක්ෂ සියළු පුද්ගලයන්ට දරාගත නොහැකි ක්ෂතිමය අත්දැකීමක් වී ඇත. ලංකාවේ ජනයා දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් මෙතරම් ෂොක් වී ඇත්තේ ඇයි? ජනාධිපතිවරයා යුද්ධය තුළදී සිතුවේ කෙසේ හෝ ඉතිහාසයේ ආකාරයටම නැවත දුටුගැමුණු මෙන් වීමට තමාට චාන්ස් එකක් ලැබී ඇති බවයි. එදා දුටුගැමුණු විසින් එළාරගෙන් රට බේරා ගත් ආකාරයට තමා ද ප්‍රභාකරන්ගෙන් රට බේරාගන්නා බව පුන පුනා කියමින් ජනතාව ගොනාට ඇන්දුවේය. දුටුගැමුණු පුරාවෘත්තයේ ආකාරයටම සහෝදරයන්, බෞද්ධාගම, මාගම්පුරය ආදී සාධක තමන්ද ප්‍රමුඛ කරගනිමින් සටන මෙහෙයවීය. යුධ අපරාධ පිළිබඳ, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ, සිවිල් වැසියන් පිළිබඳ දුටුගැමුණු කතාවේ නොතිබුණි. එම නිසාම නොසිතූ ආකාරයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වලට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවිය. ආණ්ඩුවට අවශ්‍ය වූයේ කොපමණ වියදමක් දරා හෝ යුද්ධය ජය ගැනීම බැවිණි. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඉතිහාස පොතේ දෙවෙනි දුටුගැමුණු ලෙස නම ලියා ගැනීමය. නමුත් ඉතිහාසය හුදෙක් ප්‍රබන්ධයක් බව යථාර්තය පෙන්වා දුන්නේ මහා මිනිස් සංහාරයක් ඇතිකරමිනි.

ලොකු අකුරින් ලියා ඇති දේ නොපෙනීම

වර්තමානය වන විට ලංකාව තුළ කමිටු වාර්තාව සම්බන්ධයෙන් විවිධ කතිකාවත් පවතී. බොහෝ කතිකාවත් වල සාරය වී ඇත්තේ මෙම වාර්තාව විජාතික කුමණ්ත්‍රණයක් බවයි. ආණ්ඩුව විසින් රට තුළ තව දුරටත් දුටු ගැමුණු ප්‍රවේශයම භාවිතා කරමින් සිටින බව මින් පැහැදිලි වේ. එමෙන්ම ජනතාවද එම මිථ්‍යාව තුළම සිරවී සිටින බව පෙනේ. ආණ්ඩුව තවදුරටත් කරමින් සිටින්නේ යුද්ධයේ නාමයෙන් තමා කළ මිනී මැරීම් සාධාරණය කරමින් ජාතික ප්‍රශ්නය විසඳී ඇති බවට සිතමින් විනෝද වීමයි. ආණ්ඩුව පමණක් නොව සමස්ත දකුණේ සමාජයම සිටින්නේ මෙම අදහසේමය. ඔවුන් සියළු දෙනාම සිතන්නේ ප්‍රභාකරන් අවසන් වූ විට ජාතික ගැටළුව අවසන් බවය. මේ ආකාරයට ආණ්ඩුව තව අවුරුදු කිහිපයකින් නැවතත් ඇති වීමට නියමිත ජන සංහාරයකට පිඹුරු පත් අඳියි. මීට පෙර ලංකාව පාලනය කළ අය විසින් කෙටුම්පත් කළ ව්‍යවස්ථා දෙකේදීම (1972 සහ 1978 )ජාතික ගැටළුව පිළිබඳ සැලකිය යුතු අවධානයක් නොදෙමින් ව්‍යවස්ථා දෙකම අපතේ යැවීය. තවත් ආකාරයකට පවසන්නේ නම් ඉතා ලොකු අකුරින් ලියා තිබූ ජාතික ප්‍රශ්නය මගහැර එය තවදුරටත් වර්ධනය වන ආකාරයේ වගන්ති නිර්මාණය කළේය. එහි අවසානය වූයේ ගණනය කළ නොහැකි සාමාන්‍යකරණය වූ මිනී මැරීම්ය.

එදා සුනාමියෙන් ප්‍රභාකරන්ගේ මරණය ප්‍රාර්ථනා කල දකුණේ සමාජය ඒ ආකාරයටම අද විවිධ පාරභෞතික වතාවත් තුළින් කමිටු වාර්තාව නිශේධ කිරීමට බලාපොරොත්තු වෙයි. බෝධි පූජා, අධිෂ්ඨාන පූජා, පිරිත්, දන්සැල් ආදිය රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කරයි. ලංකාවේ දේශපාලනය තුළ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වූයේ මේ ආකාරයේ පාරභෞතික වතාවන්ය. එබැවින් ලංකාවේ දේශපාලනයට නිරන්තරයෙන්ම සැබෑ ප්‍රශ්න මග හැරුණි. මෙහි ඇති ගැටළුව නම් ඇත්තටම පාලකයන්ට සැබෑ ප්‍රශ්න මග හැරුණාද නැතිනම් පාරභෞතික වතාවත් වලට මුවාවෙන් සැබෑ ප්‍රශ්න මග හැරියාද යන්නයි.

චමිල ප්‍රියංක