සිංහල, Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව : ආරක්ෂාව මදි, ළමයින් පිටුපස අලි පන්නයි, සර්පයින් දෂ්ඨ කරයි, ළමයින් ක්ලාන්ත වෙයි.

විශ්ව විද්‍යාලවලට තෝරාගනු ලැබුවේ යැයි කියන ළමුන් සඳහා මේ දිනවල පැවැත්වෙන හමුදා පුහුණුව තුළ සිදුවන දරාගත නොහැකි සිදුවීම් පිළිබදව මේ වන විට බොහෝ කඳවුරු තුළින් වාර්තා වෙයි.

මේ එම කඳවුරුවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙක් මුහුණ දුන් කටුකත්වයන් පිළිබදව දැක් වූ අදහස් මෙසේය.

“ඊයේ රෑ 7.30 ට විතර දේශන ශාලාවේ වැඩසටහනකට අපි ගියා. අපි යන අතර මග තනි අලියෙක් ඉඳලා අපි පස්සෙන් එලෙව්වා. හමුදාවෙ අය අපිට දුවන්න කියලා කිව්වා. අපි දුවන අතරෙ ළමයෙක් කටු කම්බියක පැටලිලා වැටුණා. එයාට තුවාල උනා. හමුදාවෙ කට්ටිය වැඩේ දුර දිග යයි කියලා පොඩි තුවාලයක් කියලා පෙන්නන්න උත්සාහ කළා. පිට ගැස්මට බේත් විද්දෙත් නෑ. අපිට ආරක්ෂාව මදි. කඳවුර වටෙට තියෙන ආරක්ෂාව මදි. සමහර විට අලියා නිසා කාව හරි මැරෙන්නත් ඉඩ තිබ්බා.”

“උදේ 4.30 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. ඊට පස්සෙ ග්‍රවුන්ඩ් එකේ දුවනවා. ඊට පස්සෙ ගිනි අව්වෙ සරඹ කරන්න තියෙනවා. ඒකට නම් හුඟක් කට්ටිය කැමති නැහැ. ඊට පස්සෙ දේශන ශාලාවට එක්ක යනවා. ඒක ඉඩ මදි. හුඟක් අමාරුවෙන් තමයි කට්ටිය දේශන ශාලාව ඇතුළෙ ඉන්නෙ.”

“වැසිකිලි වලට යන්න, නාගන්න බාල්දි නැහැ. හුඟක් වෙලාවට නාන්න වතුර නැති හින්දා වැවට අරන් යනවා. වැවට නාන්න යන එක ළමයින්ගෙ ආරක්ෂාවට එච්චර හොඳ මදි.”

මීට අමතරව මින්නේරිය හමුදා කඳවුරේ පුහුණුව ලබන ශිෂ්‍යාවක්ට ඊයේ (24) සර්පයෙක් දෂ්ට කිරීම නිසා සිහිසුන් වීමෙන් රෝහල්ගත කළ බවට වාර්තා වන අතර ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ ඊයේ ශාරීරික ව්‍යායාම වල යෙදෙමින් සිටි ශිෂ්‍යයාවන් තිදෙනෙක් ව්‍යායාම වල දුෂ්කරභාවය නිසා ක්ලාන්ත වූ බවට වැඩිදුරටත් වාර්තා වේ.