සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips

‛‛පඬුපුල් ආසනේ රත්වෙලා නැද්ද?’’ ජනාධිපතිවරයාගේ අරලියගහ මැදුර ඉදිරිපිට බෞද්ධ භික්ෂුන්ගේ දැවැන්ත විරෝධයක්

“අද අපි විශ්ව විද්‍යාල හාමුදුරුවො විදිහට මේ අරලියගහ මන්දිරය ගාවට ආවෙ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරලා අපේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න. නමුත් අපට ජනාධිපතිතුමාගෙන් ලැබුණා බීම පැකට් එකක්. අපි බීම පැකට් ඉල්ලන්න නෙමෙයි ආවෙ. අපිට තියෙනවා සැබෑ ප්‍රශ්නයක්. අද මේ රට පාලනය කරන පාලකයන් විසින් ශිෂ්‍යයන්ගෙ පන්ති තහනම් කරලා, ශිෂ්‍යයන්ව හිරේ දාලා, ශිෂ්‍යයන්ව මරන්නත් දැන් මේ පාලනය සමත් වෙලා තියෙනවා. පාලනය දැන් නරුම වෙලා. පාලනය දැන් මර්ධනයට ඇවිල්ලා.”

පසුගිය මාස කහිපයකට පෙර මිය ගිය රුහුණු සරසවි ශිෂ්‍ය සුසන්ත බණ්ඩාර මෙන්ම සියදිවි හානි කර ගත් අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ සිරි සුනන්ද හිමි සහ මීට දින දෙකකට පෙර පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කළ රොෂේන් ශානකගේ ඝාතනයට විරුද්ධව බෞද්ධ භික්ෂුන් විශාල පිරිසක් විසින් අද(3) පැවති විරෝධතාවයකට සහභාගී වූ භික්ෂුන් වහන්සේ නමක් මෙලෙස අදහස් දක්වන ලදී.

භික්ෂූන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ එම විරෝධතාවය විහාර මහා දේවී උද්‍යානය අසලින් ආරම්භකර කොල්ලුපිටිය මංසන්ධියෙන් හැරී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිළ නිවෙස වන අරලිය ගහ මැදුරට අසලට ගමන් ගත්තේ ය.

පසුගිය කාලය පුරාම කොල්ලුපිටිය අසල පවත්වන ලද සියලු විරෝධතාවයන් අවසන් වුයේ පොලීසියේ බාධාකීරීම් සහ ජල ප්‍රහාර තුළින් වුවත් අද පැවති බෞද්ධ භීක්ෂූන්ගේ විරෝධතා පෙළපාලියට ආරක්ෂක අංශයේ කිසිදු නිළධාරීයෙක් සිය විරෝධයවත් බාධා කිරීම්වත් සිදු නොකිරීම විශේෂ සිදුවීමකි.

අරලියගහ මන්දීරය ඉදිරිපස ගේට්ටුව අසලට රැස්වූ එම භික්ෂුන් සටන් පාඨ කියමින් සිය විරෝධය ප්‍රකාශ කළේය. පසුව ඔවුන් ජනාධිපති ආරක්ෂක අංශයට දන්වා සිටියේ තමන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලාබා දෙන ලෙසය. එහිදී ජනාධිපති කාර්යාල නිළධාරීන් ප්‍රකාශ කළේ විනාඩි 15ක් ඇතුලත එම සාකච්ඡාව ලබා දීමට තීරණය කර ඇති බවයි. මෙහිදී විරෝධතාවයට සහභාගී වූ භික්ෂූන් වහන්සේ නමක් මෙලෙස තම අදහස ප්‍රකාශ කර සිටියේය.

“සංවේදී සංවේදී කියලා පුන පුනා යටිගිරියෙන් ස්ටේජ් ගානෙ රට පුරා පුරසාරම් දොඩවන අපේ දැයේ පියා ඔබ වහන්සේලා කොච්චර වේලාවක් අව්වෙ තිබ්බද?. අපගේ අයිතාවාසිකම් ඉල්ලන්න මෙතෙන්ට ආවට පස්සෙ සලකන්නෙ මෙහෙමද? තාමත් මේ ශ්‍රක්යගෙ පඬුපුල් ආසනේ රත්වෙලා නැද්ද? කොච්චර වෙලාවක් බලා හිටියද?”

නමුත් දිගු වේලාවක් එහි රුදී සිටි භික්ෂුන්ට සාකච්ඡාවක් වෙනුවට ජනාධිපති නිළ නිවෙසින් ලැබී තිබුණේ පළතුරු බීම පැකැට්ටුවක්ය. එම බීම පැකැට්ටු තදින්ම ප්‍රතික්ශේප කරමින් සහ එයට ප්‍රබල ලෙස විරෝධය දක්වමින් ඔවුන් එම ස්ථානයේ දිගින් දිගමට විරෝධතාවයේ නිරත විය. මෙහිදී අදහස් දැක්වූ භික්ෂූන් වහන්සේ නමක් මෙසේ ප්‍රකාශ කරන ලදී.

“මේ සම්බුද්ධත්ව ජයන්තියෙදී මේ පාලකයාම රට තුළ නොයෙක් නොයෙක් පිංකම් කළා. අපි අහන්න කැමතියි මේ ඒ බුද්ධ පුත්‍රයන්ට කරන සැලකිල්ලද මේ කියලා. මේ බුද්ධ පුත්‍රයන්ට බොරු පොරොන්දුවක් දුන්නා මෙතෙනට ආවට පස්සෙ විනාඩි 15න් සාකච්ඡාවක් දෙනවා කියලා. තාම ඒ විනාඩි 15 උදාවෙලා නැහැ. ඔරලෝසුවෙ කට්ට කැරකිලා නැහැ.මේ ශිෂයන්ගෙ ඉල්ලීම් පිළිබඳව, අපට සිදුවන ශිෂ්‍ය මර්ධනය පිළිබඳව, සමස්ත විශ්ව විද්‍යාල වැටිලා තියෙන මේ තත්ත්වය පිළිබඳව, වහලා දාලා තියෙන විශ්ව විද්‍යාල පිළිබඳව, කතා කරන්න ඇවිල්ලා මේ ගිනි කාෂ්ටක අව්වෙ තාම අපි බලා ඉන්නවා”.

විරෝධතාවයේ දී භාවිතා කළ සටන් පාඨ මෙසේය.

මෙන්න බොලේ – නායකයෙක්
සංවේදී – නායකයෙක්
ඔඑ පළලා – වෙඩි තියලා
මිනී මරපු – නායකයෙක්

අධ්‍යාපනේ – විකුණන්නට
සරසවියෙත් – මර්ධනේ
අර්ථසාදේ – කොල්ලකන්න
වැඩබිමටත් – මර්ධනේ
ප්‍රශ්ණවලට – විසඳුම් නෑ
ජීවන බර – වර්ධනේ
පාලකයිනි – හකුළ ගනිව්
තොපේ නරුම – මර්ධනේ

මේ එහි ඡායාරෑප

[youtube]http://www.youtube.com/watch?v=seXrlNJ6CrI[/youtube]