Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

ආණ්ඩුව හමුදා කදවුරුවලදී සිසුන්ගේ ජීවිත මරණීය අනතුරු වලට ඇද දමා තිබෙනවා. – අන්තරෙ

ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සුසුන් මාරාණ්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවෙදී අ.ව.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පසුගිය 04වනදා නිපෝන් හෝටලෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා,

මේ පිළිබදව මීට පෙර වාර්ථාවූ සර්පයන් දෂ්ඨ කිරීම, වල් අලි පහරදීම,ආහාර විෂවීම යනාදී සදුවීම් වලට පසුව වාර්ථාවන හදකම්පා කරවන සුඑ සිදුවීමක් වාර්ථාවන්නේ මාදුරු ඔය හමුදා කදවුරෙන්. ජූනි මස පළමුවනදා තමයි මෙම සිද්ධිය වුණේ. එදිනද සුපුරුදු පරිදි සිසුන්ට නව පාඨමාලාවක් ආරම්භ කරන ලද අතර එය අභියෝගතා ජයග‍්‍රහණයට හුරු කරවීම නම් කරල තිබුණා.

ටයර් යටින් රිංගා යාම, පලංචි උඩ නැගීම, කම්බි වැටවල් යටින් බඩ ගා යෑම, අඩි 6 ක් උස තාප්පයකින් පැනීම, අඩි 6 ක් ගැඹුර වලකට උබින් පැනීම, යනාදිය මෙහිදී සිසුන්ට කිරීමට සිදුව ඇති ක‍්‍රියාකාරකම්ය. මෙහිදී කේ.කේ. සෙව්වන්දි ශිෂ්‍යාව තාප්පයකින් පැනීමෙන් අනතුරුව කකුලේ වළලූ කර අසල ඇති වූ ආබාධයක් නිසා ඇද වැටී ඇත. ඇයත්, මෙම හිරිහැර දරාගත නොහැකි ව උණ සන්නිපාතය වැළදී සිටි තවත් ශිෂ්‍යාවකුත් මුලින්ම අරණගන්විල රෝහලට ඇතුළත් කර ඇත. ඒ සදහා හමුදා නිලධාරියෙකු හා නිලධාරිනියක පැමිණි ඇති අතර සිසුන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නැවත කදවුරට ගොස් තිබේ.

සිසුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල වූ බැවින් වෛද්‍යවරු විසින් ඔවුන් අරණගන්විල රෝහලෙන් පොළොන්නරු රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී කිසිදු හමුදා කිලධාරියෙකු සිසුන් සමග සිට නැත.

සිසුන්ගේ නිවෙස් වලටද දන්වා නොමැති අතර වළලූ කර අසල තුවාල ලැබූ ශිෂ්‍යාවගේ තත්වය බරපතල විය. දෙමව්පියන් රෝහලට පැමිණ ඇත්තේ ඇය නිවසට කතා කිරීමෙන් අනතුරුවය. මෙහිදී මෙම ශිෂ්‍යාවගේ කකුලේ වළලූකර අසල බිදී ගොස් ඇති අතර ශල්‍යකර්මයකට ද ඇයව භාජනය කර තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට නම් මාස තුනක් පමණ සාමාන්‍ය තත්ත්වය යටතේ ප‍්‍රතිකාර ලබා ගත යුතු බවයි. එසේ නොවී අතුරු ආබාධ කිසිවක් පැමිණියහොත් තවත් බොහෝ කල් යන තුරු සාමාන්‍ය පරිදි ඇවිදීමට නොහැකි විය හැකි බවත් වෛද්‍යවරු පවසති.

දෙමව්පියන් ඔවුන්ට දැනුම් නොදුන්නේ ඇයි දැයි හමුදා නිලධාරීන්ගෙන් ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙය ගනන් ගන්නට තරමි දෙයක් නොවූ නිසා දැනුම් නොදුන් බවයි. ශිෂ්‍යාවක් මාස 3, 4 කට ඔත්පල වීම වුවද හමුදා නිළධාරීන්ට ගණන් ගත නොයුතු තරම් දෙයකි. ඒ අනුව කඳවුරු තුළ සිසුන්ගේ ආරක්‍ෂාව පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම පසුගිය සති දෙකක පමණ කාලය තුළ අරනගංවිල, පොලොන්නරුව හා ඒ අවට රෝහල් වලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 20 කට වඩා අධිකය.

මෙසේ කකුළ ආබාධයට ලක් වූ ශිෂ්‍යාව ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ අංක 05 වාට්ටුවේය. ඇයට අමතරව ජුනි මස පළමු වැනි දින තවත් ශිෂ්‍යාවන් පස්දෙනෙකුද රෝහල් ගතකර තිබේ. ඉන් තිදෙනෙකුට බරපතල ලෙස මානසික ආතතිය ඇතිවීම නිසා සාමාන්‍ය ජීවිතයේ කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ abnormal තත්ත්වයට සිසුන් පත්ව ඇති බවයි.

එසේම පොලොන්නරුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන ඊයේ නැවත කඳවුරුවලට රැගෙන ගිය සිසුන්ගෙන් බොහෝදෙනෙක් දණහිස් හා කකුල් විශාල වශයෙන් තුවාල වූවන්ය. මෙහි එක් ශිෂ්‍යාවකගේ දණහිස ආබාධයට ලක්ව තිබුණේ අධික ව්‍යායාම් නිසා ඇදවැටීමෙනි.

මෙම සිදුවීම් තුලින් ඉතා හොඳින් පැහැදිලිවනුයේ හමුදා කඳවුරු අද වන විට සිසුන්ට වදකඳවුරු බවට පත්ව ඇති බවයි. මෙයට වාර්තා වූ සිදුවීම් කිහිපයක් පමණි. කොතරම් සිදුවීම් සිදුවුවද සිසුන් විශාල පීඩාවකින් පසුවුවද දෙමාපියන්වත්, සිසුන්වත් මේ කිසිවක් ජනමාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවෙකු වෙත වාර්තා කරන්නේ නැත. ඒ කඳවුරුවලදී ඉහළ නිළධාරීන් සිසුන්ට තර්ජනය කර ඇති නිසාවෙනි. මෙම දරුණු ලෙස තුවාල ලැබූ ශිෂ්‍යාවද ඇයගේ මවද පසුවන්නේ විශාල බියකිනි. මන්ද යත් තොරතුරු අනාවරණය වීම නිසා ඔවුන්ගේ ජීවිතවලට හෝ විශ්වවිද්‍යාල ජීවිතයට බලපෑමක් ඇති විය හැකි යැයි ඇති අනතුර නිසාය.

මෙහිදී හමුදාවේ දැනුම්දීමකින් තොරව දෙමාපියන් සහ ඥාතීන් කැඳවීම වුවද හමුදාව සිතන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙල අවුල්කිරීමක් ලෙසය. එය මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. ‘‘අපි ඔයාට හොඳට සැළකුවා නේද? ඔයා මේ මොකද කරන්න හදන්නෙ ’’ ලෙස ශිෂ්‍යාවට තදින් පවසා ඇත. මෙයද අන්ආකාරයෙන් ගත්විට තර්ජනය කිරීමකි. ඒ අනුව දෙමාපියන්ගේ බියවීම අතිශය සාධාරණ වේ. මෙම ශිෂ්‍යාවට කුමන හෝ හානියක් සිදුවුවහොත් මෙසේ තර්ජන ගර්ජන කරන නිළධාරීන් සහ ආණ්ඩුව එහි වගකීම මුළුමනින්ම භාරගත යුතුය.

එසේම මීට අමතරව තවත් හමුදා කඳවුරු තුළදීද සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා.

1. බූස්ස හමුදා කඳවුරේ ශිෂ්‍යාවක තුවාල ලබා ඊයේ දිනයේද රෝහල් ගතකර ඇති අතර ඇය බැලීමට දෙමාපියන්ට හැර අන් කිසිවෙකුට ඉඩ ලබා නොදෙයි.

2. බූස්ස හමුදා කඳවුරේ සිසුන්ට හමුදා නිළාධාරියෙක් විසින් තර්ජනය කර ඇත්තේ ‘‘ තොපි කඳවුරේ කැත කළොත් තොපේ කටවල් වලින් අද්දන්නෙ දැනගනිල්ලා ’’ යැයි කියමිනි.

3. ඇඹිලිපිටිය කඳවුරේ ආහාර විෂ වී අසනීප වූ සිසුන් ප‍්‍රතිකාර ගැනීම සම්බන්ධවත් තොතුරු එළියට ගියේ යැයි කියා ඉහළ නිළධාරියෙක් විසින් සිසුන්ට බැණ වැදී ඇත.

4. මාදුරුඔය කඳවුරේ ශිෂ්‍යාවන් අඩි 06 ක් ගැඹුර වළකින් එහාට සිසුන් විලාප දෙද්දී පැනීමට බලපෑම් කර ඇත.

අබාධයට ලක්වූ කේ.කේ. සෙව්වන්දි ශිෂ්‍යාවගේ ඡායාරෑපයක් පහතින් දැක්ෙව්.