Colombo, end of the War, Featured Articles, Features

ප්‍රගීත් අතුරුදහන් කර දින 500 – ‛‛මට මගේ ප්‍රගීත් දෙන්න’’- සංධ්‍යා එක්නැලිගොඩ


‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු දාලා. මම අද අහන්නේ ඇයි ඕගොල්ලන් නිහඬ. මට උත්තරයක් ඕන. ජනාධිපති ආර්යාවගෙන් මට උත්තරයක් ඕන. මොකද එතුමිය දන්නවා 88/89 කාලේ අතුරුදහන් වූවන් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් තමයි අද ජනාධිපතිතුමා වෙලා ඉන්නේ. මම ඒක නිසා ඉල්ලන්නේ මගේ ගෙදරටත් සතුට ඕන. ඔබේ ගෙදර සතුට වගේ මගේ ගෙදරටත් සතුට ඕන. මගේ සතුට ප්‍රගීත්. මට ප්‍රගීත් දෙන්න. මට මගේ දරුවො ජීවත් කරන්න මට මගේ ප්‍රගීත් දෙන්න.’’ (මෙසේ අදහස් දැක්වූයේ අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොට මහතාගේ බිරිඳ සංධ්‍යා එක්නැළිගොඩ මහත්මිය යි.)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් කර අදට(08) දින 500ක් ගත වී තිබේ. එසේ නමුත් මේ වනවිට ප්‍රගීත් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවේ කිසිදු බළධාරියකුට හැකි වී නැත. එසේම මෙම අතුරුදහන් කිරීම පිළිබදව සාධනීය පරීක්ෂණයක් පැවැත්වීමටවත් පොලීසිය සමත් වී නැත. මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රගීත් අතුරුදහන් කර දින 500ක් ගතවන මොහොතේ ඔහු සොයා දෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් අද(08)ලිප්ටන් වටරවුමේදී පැවැත් විනි.

පසුගිය කාලය පුරාම ප්‍රගීත්ගේ බිරිඳ ඔහු සොයා සියලු තැන්වලට ගමන් කළාය. ඇය ප්‍රගීත්ව සොයා දෙන ඉල්ලා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ද ලිපියක්ද බාර දුන්නේය. මේ ඒ පිළිබදව අදහස් දක්වන ප්‍රගීත්ගේ බිරිඳ සංධ්‍යා එක්නැළිගොඩ,

‛‛මම එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාට යවපු ලියුම ප්‍රතික්ෂේප කරලා තියනවා. ඒ ගොල්ලන්ගේ රෙගුලාසි යටතේ, මෙය පුද්ගලික එකක් නිසා බාර ගන්න බෑ කියලා.’’

ඇය තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රගීත් සොයා දෙන තුරු මෙම උත්සහය අත්නොහරින බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඇය ඉල්ලා සිටියේ ප්‍රගීත්, ඇයට ලබා දෙන ලෙසත්ය.

‛‛මම මේ උත්සහය අතහරින්නේ නෑ. මම ප්‍රගීත් නැතුව දවස් 500ක් මේ ගමන ආවා. ප්‍රගීත් දෙනතුරු මට මේ ගමන යන්න සිද්ධ වෙනවා. මම යනවා මේ ගමන. මම මහින්ද රාජපක්ෂට කියන්නේ ප්‍රගීත්ව දෙන්න. මට ප්‍රගීත් නැතුව යන්න බෑ.’’

මෙම උද්ඝෝෂණ්‍ය සංවිධානය කර තිබුණේ අයිතිවාසිකම් සදහා වන කථිකාව සහ මානව හිමිකම් සංවිධාන එක්වයි.

මේ එම උද්ඝෝෂණයේදී භාවිතා කළ සටන්පාඨ කිහිපයක්..
ප්‍රගීත් ප්‍රගීත් – ප්‍රගීත් දියව්
උස්සන් ගිය – ප්‍රගීත් දියව්
පැහැර ගත්තු – ප්‍රගීත් දියව්

ලසන්තගේ – ඝාතකයෝ
පෝද්දලගේ – කට කැපුවෝ
තෙන්නකෝන් – නොමරා මරලා
ප්‍රගීත් අතුරු – දන් කෙරුවෝ

මන්දිරයට – කැඳවනවලු
කන්න දීලා – බඩ ඉම්බලු
ප්‍රගීත් ගැන – අහපු කලට
ලොක්කාගේ – මල පැන්නලු

පෝද්දලව – නොමරා මැරුව
දේශප්‍රිය – එළවා දැම්මා
ඉන්න එකත් – නිහඬ කෙරුවා
ජනමාධ්‍යයේ – කොන්ද කැඩුවා

සටහන සහ ඡායාරෑප – සම්පත් සමරකෝන්

More Photos

Video – ‘ Find me, my Prageeth’ – 500 day since Prageeth’s disappearance..!
[youtube]http://www.youtube.com/watch?v=aJQ7_7It5Wg[/youtube]