Districts, end of the War, Featured Articles, Features

අවනීතියේ පාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

දූෂිත මර්දනකාරී පාලනයක් සහ පාරදෘශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අතර ඇති වෙනස කුමක් ද?

දූෂිත මර්දනකාරී පාලනය පවත්වා ගැනෙන්නේ සන්නද්ධ බලය මත පදනම්ව බිය ගැන්වීම සහ නීතියෙන් බාහිර දණ්ඩනය පදනම් කර ගෙන ය. එහි පාලකයින් දූෂණයට භීෂණයට දඩුවම් නොලබයි. රාජ්‍ය කටුයුතු රහසිගත ය.

පාරදෘශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය විසින් තමන් ජීවත්විය යුත්තේ කෙළෙසදැයි සාමකාමී නිදහස් පරිසරයක් තුළ සාකච්ජා කිරීමටත් තීරණ ගැනීමටත් අදහස් ප්‍රකාශ කිරීමටත් විරෝධතා පෑමටත් සංවිධානය වීමටත් පුරවැසියාට අවස්ථාව ලබා දෙයි. රජයේ කටුයතු විවෘත පරීක්ෂාවට යටත් ය.

දැන් අපි පසුගිය දින කිහිපය තුළ අසන්නට ලැබුණු පුවත් ගණනාවක් දෙස බලමු:

රාජ්‍ය තොරතුරු මහජනයාට ලබා ගැනීමට නීතියෙන් ඉඩ සළසන තොරතුරු නිදහසේ පනත රාජපක්ෂ පාලනය විසින් පාර්ලිමේන්තුවේ දී පරාජය කරයි. (ද ටයිම්ස්)

ජනාධිපති ලේකම්වරයාගේ මාසික වැටුප කුමක්දැයි පුවත් කතුවරුන් විසින් විමසන ලදුව එය සොයා ගැනීම ඔබේ කාරියක් යැයි ජනාධිපති පවසයි. (දි අයිලන්ඩ්)

අවි ආයුධ මිලදී ගැනීමේ දී කරන ලද වංචා දූෂන සොයා බැලූ කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. (ලක්බිම නිව්ස්) එම වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට ආණ්ඩුව තනතුරු ලබා දී තිබේ. ( ලංකා නිවිස් වෙබ්)

අත් අඩංගුවේ සිටින දහස් ගණනාවක් වන සැකකාර එල්ටීටීඊ පිරිස් හි විස්තර දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට ලබා දීම ප්‍රතික්ෂේප කරන පොලීසිය අදාළ ඥාතීන්ට පමණක් තොරතුරු දැන්විය හැකි බව ප්‍රකාශ කරයි. (ටැමිල් නෙට්)

පුරවැසි ජනමාධ්‍ය අන්තර්ජාල අඩවි දෙකක් වන ග්‍රවුන්ස්විව් සහ විකල්ප අඩවි සඳහා පිවිසීම ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් තාවකාලිකව නතර කරයි. (ග්‍රවුන්ඩ්ස් විව්)

සාමකාමී උද්ඝෝෂණයක යෙදුණු නිදහස් කලාප සේවක පිරිසට වෙඩි තැබූ පොලීසිය මාරාන්තික තුවාල ලබා තිබූ (පසුව මරණයට පත් වූ) රොෂාන් ශානක රෝහලට ගෙන යෑම පොලීසිය විසින් ව්‍යවර්ථ කළ බව අධිකරණයේ දී හෙළිදරව් වේ. ( ලංකා ට්රුත්)

එලෙස ඝාතනය කළ රොෂාන් ශානකගේ අවමඟුල් උළෙල වෘත්තීය සමිතිවලට තහනම් කර එය දේවස්ථානයක කෙටි අවමඟුලකට සීමා කරයි (ලංකා නිව්ස් වෙබ්)

එම මරණයේ වගකීම බාර ගනිමින් ඉල්ලා අස්වූ පොලිස්පති මහින්ද බාලසූරිය බ්‍රසීලයේ තානාපති වශයෙන් පත් කරයි. (ඩේලි මිරර්)

හම්බන්තොට දී පැවැත්වීමට රජය උත්සාහ දරන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟය සඳහා රුපියල් බිලියන 440ක් වැය වනු ඇත. දැනටමත් ඒ සඳහා රුපියල් මිලියන දහසට ආසන්න මුදලක් වැය කර තිබේ. පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා පමණක් බ්‍රිතාන්‍ය සමාගමකට රුපියල් මිලියන 260 ගෙවා තිබේ. (ලංකා නිව්ස් වෙබ්)

මුදල් අච්චු ගැසීමට සිදුවන නිසා විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් විසින් ඉල්ලා සිටින වැටුප් ගෙවීමට තමන් සූදානම් නැතැයි ජනාධිපති පවසයි. (දි අයිලන්ඩ්)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට සහාය දුන්නේ යැයි ගංගොඩවිල විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සිසුන් තිදෙනෙකුගේ පංති තහනම් කරයි. මෙවැනි හේතූන් මත එහි පංති තහනම්ව ඇති සිසුන් ප්‍රමාණය දැන් 54කි. (ලංකා ඊ නිව්ස්)

යාපනයේ ශ්‍රාස්ත්‍රඥයින් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන පැරණි පොත් පරිගණක ගතකර අන්තර් ජාලයට ඇතුල් කිරීමේ වැඩ සටහනක මාසික රුස්වීමට කඩා වැදුනු හමුදාව එම රුස්වීමට ( එය මිය ගිය දෙමළ ජනයා අනුස්මරණය කැරෙන්නක් බැවින්) අවසර නැති බව කියයි. කරුණූ පැහැදිළි කිරිමෙන් පසු රුස්වීම පැවැත්වීමට අවසර ලැබෙන්නේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ද ඊට සහභාගි වන පරිදිය. ( ට්‍රාන්ස් කරන්ට්)

මානව හිමිකම් ක්‍රියාධරයකු වූ පට්නි රසීක් පැහැරගෙන ගොස් දින 500ක් ගත වී තිබුණ ද ඔහු පැහැර ගැනීමට සැක කරන කිසිදු පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කිරීමට පොලීසිය අසමත් වී තිබේ. (ඉන්ෆෝම්)

(එම පට්නි රසීක් ප්‍රධාන පෙළේ කාර්‍යක් ඉටු කළ) පුත්තලමේ ප්‍රජා භාරකාරත්ව අරමුදල නම් රාජ්‍ය නොවන සංවිධානයේ පාලනය රජයට පවරාගෙන එහි පාලන ප්‍රධානියා ලෙස හමුදා බ්‍රිගේඩියර්වරයකු පත් කරයි. (ඩේලි මිරර්)

යාපනයේ අලවෙඩ්ඩි හි පැවැත්වෙමින් තිබූ දෙමළ ජාතික සංධානයේ ප්‍රසිද්ධ රුස්වීමකට කඩා වැදුණු හමුදා කණ්ඩායමක් රුස්වීම කඩාකප්පල් කොට පැමිණ සිටි ජනයාට ද මංත්‍රී ආරක්ෂකයින්ට ද පහර දෙති. (ටැමිල් නෙට්)

මෙම ලොකු සිදුවීමක් නොවන බවත් එය බොරු කතාවක් බවත් කියන යාපන හමුදා අඥාපති ඒ පිළිබද විනයානුකූල පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි. මෙම ප්‍රහාරය පිළිබඳව කිසිම පරීක්ෂනයක් පවත්වා නැත. (ට්‍රාන්ස්කරන්ට්)

රුපියල් මිලියන 40ක පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් හොර රහසේ ගෙන ඒමට දැරූ උත්සාහයක් පොලීසිය ව්‍යවර්ථ කරයි. මෙම ජාවාරම පිටුපස තරුණ දේශපාලනඥයකු සිටින බව කියනු ලැබේ. (දිවයින)

එම වාර්තාව ලියූ හේමන්ත රන්දුනු නම් ජනමාධ්‍යවේදියාගෙන් එම තොරතුරු ලද මූලාශ්‍ර විමසා රහස් පොලීසිය ආරක්ෂ අමාත්‍යංශ උපදේශක පා.ම. දුමින්ද සිල්වාගේ පැමිණිල්ලක් උඩ ප්‍රශ්ණ කරයි. (ශ්‍රී ලංකා මිරර්)

එම මත්ද්‍රව්‍ය තොගය සහ අපරාධ සහායකයින් අත් අඩංඟුව ගැනීමට ක්‍රියාකළ මත් ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී පොලිස් අධිකාරී ලලිත් ජයසිංහ රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහායක වශයෙන් මාරු කර යවයි. (ලංකා නිව්ස් වෙබ්)

වන්නියේ අතුරුදහන් වූ සිය ඥාතීන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසට බල කැරෙන කිලිනොච්චියේ පැවැත් වීමට නියමිත සාමකාමී උද්ඝෝෂණයක් හමුදාව එවැනි ක්‍රියාවන්ට වන්නියේ අවසර නැති බව ප්‍රකාශ කොට තහනම් කරයි. පසුව ඊට අවසර ලැබුණ ද බාධා කිරීම් මගින් සහභාගි වූවන්ට හිරිහැර පැමිණ වේ. (විකල්ප)

ජනාධිපති ‛වෛද්‍ය’ එලියන්ත වයිට් විසින් ප්‍රතිකාර වශයෙන් තහනම් උත්තේජන ලබා දෙන ලදුව ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංඟට ක්‍රීඩා තහනමක් පැනවේ. එලියන්ත වයිට් හොර වෙදකි. කිසිදු වෛද්‍ය අධ්‍යපනයක් ලබා නැත. එනමුත් වෛද්‍යවරයකු සේ පෙනී සිටී. මේ දෙවසරක් සිර ගත කළ හැකි වරදකි. (ලංකා නිව්ස් වෙබ්)

යාපනයේ වැසියන් යුද හමුදාව විසින් ලැයිස්තු ගත කිරීම සහ පවුල් ජායාරූප ගැනීම නතර කරන සේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුව නොසළකා යුද හමුදාව දිගින් දිගටම එළෙස ජනයා ලැයිස්තු ගත කර ගනිමින් සිටීි. (ටැමිල් නෙට්)

ගාලු දිසාවේ ඇල්පිටියේ පැවැත්වෙන එජාප උද්ඝෝෂණයට ප්‍රතිවිරුද්ධව තමා දහස් ගණනාවක් සෙනඟ සමඟ එහිදී පාරට බසින බවත් එදින පොලීසිය ඇල්පිටිය නගරයට නොපැමිණිය යුතු බවත් නව පොලිස්පතිවරයා සිය ඉල්ලීමට ඇහුම්කන් දෙනු ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. (ලංකා ඊ නිව්ස්)

වන්නියේ ජනයා හතර දෙනෙකුට රුස්වී කතා කිරීම තහනම් ය. අවමඟූල් උළෙලක් හෝ මංගල්‍ය උත්සවයක් හෝ පැවැත්වීමට නම් හමුදාවට දැනුම් දිය යුතුය. දෙමළ ජනයාගේ ඉඩම් එල්ටීටීඊ ඉඩම්යැයි හමුදාව අල්ලා ගනී. කිළිනොච්චියේ ආන්නදසංගරී ජීවත් වූ නිවෙස ද දැන් හමුදාව අල්ලාගෙන ඇත. ඉරණමඩු වැවේ දෙමළ දෙවියන් වෙනුවට දැන් ඇත්තේ බුදු පිළිමයකි. (ආන්නදසංගරී/ජීටීඑන්)

ජනාධිපති අරමුදල විසින් නීති රීති සහ කළමණාකරන රෙගුලාසි නොසළකා රුපියල් මිලියන 678ක් වැය කර ඇතැයි විගණකාධිපතිවරයා වාර්තා කරයි. (සන්ඩේ ටයිම්ස්)

මේ ලැයිස්තුව තව බොහෝ දිගය.
ශ්‍රී ලංකාවේ අද පවතින්නේ නීතියේ පාලනයක් ද? අවනීතියේ පාලනයක් ද?

සුනන්ද දේශප්‍රිය