සිංහල, Colombo, Democracy, Governance, Health, Jaffna, Life quips, Media

මහාචාර්ය සිවතම්බි මිය යයි.

ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු, සාහිත්‍යදරයෙකු මෙන්ම විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කේ. සිවතම්බි මහතා ඊයේ(06) රාත්‍රී දෙහිවලදී මිය ගියේ ය. 1932 මැයි මස 10වනදා යාපනයේ, වැල්වැඩිතුරේ උපත ලැබූ මහාචාර්ය සිවතම්බි මහතා කලක් රෝගාතුරව සිටි අතර මිය යන විට වයස අවුරුදු 79ක් විය.
විශේෂයෙන් දෙමළ සමාජයේ දේශපාලනික දුක්ගැනවිල්ල සිංහලෙන් සහ ඉංග්‍රීසි බසින් පැහැදිලි කිරීමට දෙමළ සමාජයේ සිටි විදග්ද බුද්ධිමතුන්ගෙන් ප්‍රමුඛතම විද්වතෙක් වූ මහාචාර්ය සිවතම්බි මහතා, වසර ගණනාවක් තිස්සේ ලංකාවේ පවතින ජාතික ගැටලුව සඳහා සාධාරණ සහ සාමකාමී දේශපාලන විසඳුමක් වෙනුවෙන් සිය බුද්ධිය මෙහෙය වූයේ ය. නොබියව ක්‍රියා කළේ ය.

2009 මැයි 05 වනදා ‛විකල්ප’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය සිවතම්බි මෙසේ ප්‍රකාශ කලේය. ‛‛අපිට කොහොමද මේ තත්ත්වය ආවේ. එල්ටීටීඊ අයට මිලිටරි තත්ත්වයට පත්වෙන්න කොහොමද අවේ කියන එක බරපතල විදිහට මම හිතනවා. ඒක හිතන්න ඕනම දෙයක්’’(මෙහි සම්පූර්ණ වීඩියෝව සදහා)

මහාචාර්ය කේ. සිවතම්බි මැඩ්රාස් විශ්ව විද්‍යාලය, තාන්ජවූර් විශ්ව විද්‍යාලය, ජවහල්ලාර් නේරු විශ්ව විද්‍යාලය සහ කේම්බබ්‍රිජ්, මෙන්ම නොර්වේ වැනි විදේශීය විශ්ව විද්‍යාලවල බාහිර මහාචාර්යවරයෙකු ලෙස වසර ගණනාවක්ම සිය මෙහෙවර සිදු කර ඇත.

දෙමළ සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පොත් 70වකට වඩා වැඩි සංඛ්‍යාවකුත්, 200කට වැඩි අධ්‍යන සමීක්ෂණ වාර්තා ප්‍රමාණයකුත් මහාචාර්ය සිවතම්බි මහතා විසින් සම්පාදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර දෙකක් ඉක්ම යමින් තිබිය දී ද යුද්ධයට හේතුවූ සාධක වලට සාධාරණ දේශපාලන විසඳුමක් සොයා ගැනීමට ලාංකීය සමාජය අපොහොසත්ව සිටින මොහොතක විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කර්තිගේසු සිවතම්බි මහතාගේ මිය යෑම දෙමළ සමාජයට මෙන්ම සිංහල සමාජයට දැරිය නොහැකි පාඩුවකි.

For Video – 2009 මැයි 05 වනදා ‛විකල්ප’ සමඟ අදහස් දැක්වූ මහාචාර්ය කේ සිවතම්බි මහතා