end of the War, Featured Articles, Features, Jaffna

යාපනයේ බලු මළකුණු දේශපාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත් ද?

එළෙසම ඔබේ නිවසේ බල්ලා ඝාතනය කොට මළ සිරුර පාර්සල් කර ඔබ වතුර බොන ලිඳට දමා ගියහොත් ඔබට ඇති වන්නේ කුමණ හැගීමක් ද?

එම පළිගැනීම් සිදු වන්නේ දේශාපාලන හේතූන් මත වෙනත් ජනවර්ගයක ආරක්ෂක හමුදා පාලනයක් යටතේ නම් එවිට ඔබ පත් වන්නේ කුමන තත්ත්වයකට ද?

අද යාපනයේ සිදුවන ඇදහිය නොහැකි පළිගැනීමේ සහ මර්දනයේ දේශපාලනයේ එක් පැතිකඩක් එවැනිය. මේ වනාහි පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකා රාජ්‍යය, දෙමළ ජනයාගේ සමාජ ආර්ථික සහ දේශපාලන කේන්ද්‍රස්ථානය වන යාපනයට හඳුන්වා දී ඇති බලු මලකුණු දේශපාලනය යි.

මෙම පිළිවෙතින් හමා එන්නේ බිය ජනක දේශපාලන දුර්ගන්ධයක් මිස සාමයේ සහ සහජිවනයේ මදනලක් නොවන බව අලුතෙන් කිව යුතු නැත. මෙම මස අවසානයේ දි යාපනය අර්ධද්වීපයේ ද පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණ අභියස මෙම බලු මළකුණු දේශපාලනය අලුතෙන් පැතිර යමින් තිබේ.

යුද්ධාවසානයෙන් පසු දෙමළ ජනයාට නිදහස සහ විමුක්තිය ලැබී ඇති බවට කැරෙන පුරාජේරු කතා අද යාපනයේ සහ වන්නියේ ක්‍රියාත්මක මෙම බිය ගැන්වීමේ බලු මළකුණු දේශපාලනය විසින් වාෂ්ප කර යවයි. දැනටමත් මෙම වර්ධනයන් විසින් දෙමළ සමාජය ශ්‍රී ලංකා රාජ්‍ය වෙතින් ඉවතට ගමන් කරමින් තිබෙන අතර මධ්‍යස්ථ දේශපාලන ස්ථාවරයන් දැරු දෙමළ සිවිල් සමාජිය පිරිස් මහත් කළ කිරිමට පත් වෙමින් සිටිති. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට වත්මන් පාලනය විසින් සාධාරණත්වයක් ඉටු නොකරන්නේ ය යනුවෙන් අන්තර් ජාතික වශයෙන් පැතිර පවත්නා මතවාදයන් මෙම මර්දනකාරිත්වය විසින් යළි තහවුරු කරයි. මේ වනාහී යුද අපරාධ සහ මානව හිමිකම් කෙළසීම අරභයා ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති වර්ධනය වන අන්තර් ජාතික බලපෑම් තවත් උත්සන්න කරනු ඇති සාධකයකි.

එසේ තිබියදීත් එනම් දේශීය සහ අන්තර් ජාතික වශයෙන් මහත් අවාසිදායක තත්ත්වයක් නිර්මානය වෙමින් පවතිද්දීත් වත්මන් රාජපක්ෂ පාලනය මෙම මර්දනය දිගින් දිගටම පවත්වා ගනිමින් සිටින්නේ ඇයිද යන්න විමසා බැලිය යුතු කරුණ ය. මන් ද යත් ඊට විසඳුමක් සැපයිය හැක්කේ එම ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීමෙන් පමණක් වන නිසා ය.

ඊට ප්‍රථමයෙන් අපි මෙම බලු මළකුණු දේශපාලනයේ මෑත සිදුවීම් දෙස බලමු.

පසුගිය පෙරබවාරි මාසයේ දිනෙක එල්ටීටිඊ නායක ප්‍රභාකරන් මවගේ සොහොනෙහි අලු මත මත වෙඩි තබා මරා දමන ලද බලු මළකුණු තුනක් දමා තිබුනේ ඇයගේ අඑ එක් කර ගැනිමට නොහැකි වන පරිදි ය. බොහෝ දෙනෙකු සිතන්නට ඇත්තේ එල්ටීටිඊ සංවිධානයෙන් සහ ප්‍රභාකරන්ගෙන් පළිගැනීම පිණිස එම අමානුෂික ක්‍රියාව කරන්නට ඇති බව යි.

නමුත් එය හුදෙක් තනි සිදුවීමක් නොව දෙමල ජනයාගේ මානව හිමිකම් මර්දනය කිරීමේ සමස්ත සැළැස්මක කොටසක් විය. එසේ නමුත් මෙම පුවත දකුණේ ජන මාධ්‍යයේ රීතිය බවට පත්ව ඇති ස්වයං වාරනය විසින් කිසිදු දැනුවත් සාකච්ඡාවකට ඉඩ නොතබා වළ දමන ලදී. දැන් බලු මළකුණු දේශපාලනය පැටව් ගසන්නට පටන් ගෙන තිබේ.

ඉන් අනතුරුව පසුගිය ජූනි මාසයේ දී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල සහායකු වන වන මහාචාර්ය එස්. කේ. සිත්තම්පලම් නිවසෙහි ලිදට මරා දමන ලද බල්ලකුගේ මල කුණක් දමා තිබුනි. එයට ආසන්නතම හේතුව ලෙස පෙනුනේ මුල්ලිවයික්කාල් යුද්ධය දෙමල ජනයා විසින් අමතක නොකරනු ඇති බවට ප්‍රකාශයක් ජනමාධ්‍යට කිරීම යි.

එම අවස්ථාවේදී ම වාගේ කතෝලික සභාවේ මානව සංවර්ධන කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්ෂ වූ සි.ජී. ජයකුමාර් දේවගැතිවරයාගේ දේවස්ථානයට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබුනි. ඊට ආසන්කම සිදුවීම වශයෙන් පෙනෙනෙට තිබුණේ යාපනය පැමිණි අන්තර් ජාතික දූත පිරිසක් හමු වී පවතින තත්ත්වය පිළිබඳව ඔහු අදහස් ඉදිරිපත් කිරීම යි.

පසුගිය සතියෙහි යාපනයේ පළාත් පාලන මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කරන සී. සිවකුමාර්ගේ නිවසෙහි ඇති දැඩි කළ බල්ලාගේ බෙල්ල කපා මරා හිස ගේට්ටුවෙහි සවිකර ගොස් තිබුනි. ඒ අතරවාරයේ දෙමළ සන්ධානයේ තවත් අපේක්ෂකයකුගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල විය.

එයට පෙර හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරයකු සහ දෙමළ සන්ධානයේ වැල්වැටිතුරෙයි අපේක්ෂකයකු වන එම්.කේ. සිවාජිලිංගම්ගේ නිවෙසට කසළ ප්‍රහාරයක් එල්ල කරන ලදී. කොඩිකාමම් දෙමළ සන්ධාන අපේක්ෂකයකුගේ නිවෙස ඉදිරිපිට සොහොනකින් රැගෙන ආ මල් වඩම් තබා තිබූ අතර නිවෙසට මිනී අඑ දමා ගොස් තිබුණි. චන්දිල්පායි දෙමළ සන්ධානයේ අපේක්ෂිකාවකගේ නිවෙසට දැවි තෙල් ප්‍රහාරයක් එල්ල වූ අතර තවත් බොහෝ අපේක්ෂකයින්ගේ නිවෙස් ඉදිරිපිට මරණය යනුවෙන් පින්තාරු කර තිබුණි.

ජවිපෙ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කිලිනොච්චියේ සිය මැතිවරණ දේශපාලන කටයුතුවලට යුද හමුදාව කෙලින්ම බාධා කරන බවත් සිය පෝස්ටර් ගලවන්නේත් ආණ්ඩු පක්ෂයේ පෝස්ටර් අලවන්නේත් යුද හමුදාව විසින් බවත් ය. මේ වනාහී දේශපාලනයේ යෙදුනැයි හිටපු හමුදාපති සහ ජනාධිපති අපේක්ෂක සිරගෙට යැවූ ආණ්ඩුවක සහ හමුදාපතිවරයකුගේ කෙරුවාවය.

මේ සියළු බියගැන්වීම් බලු මළකුණු දේශපාලනයේ විවිධාකාර වර්ධනයන් ය. එමෙන්ම මෙම සැලැස්මේ කැපී පෙනෙන ලක්ෂණය නම් කිසිදු අපරාධකරුවකු අත් අඩංඟුවට ගැනීමට යාපනයේ වාඩි ලා සිටින 50, 000 තරම් වන යුද හමුදාව ද දහස් ගණනාවක් වන පොලිස් හමුදාව ද නොවදවා ම අසමත් වීමයි. ඊට හොදම උදාහරණය සැපයුණේ දෙමළ සන්ධනයේ අලවෙට්ටි රැස්වීමට සිදු කල හමුදා ප්‍රහාරය විසිනි.

මෙම ප්‍රහාරයට නිල ඇදුම් හැද සිටි සොල්දාදුවන් 30 දෙනෙකු පමණ සහභාගි වූ බවත් එයට නායකත්වය දුන්නේ මේජර්වරයකු බවත් දෙමළ සන්ධානය කියා සිටියේ ය. එවැනි ප්‍රහාරයක් සිදු වු බවට දැන් ඇති තරම් ඇසින් දුටු සාක්ෂි ප්‍රකාශයට පත්වී තිබේ. මේ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන බවට ජනාධිපති රාජපක්ෂ පොරොන්දු විය. ප්‍රහාරකයින් හඳුනා ගැනීමට තමන්ට හැකි බවත් දෙමළ සන්ධානය කියා සිටියේ ය.

නමුත් දැන් රජය කියා සිටින්නේ කිසිදු හමුදා සෙබලකු මෙම ප්‍රහාරයට සම්බන්ධ නොවූ බවත් යුද හමුදාව හා සමාන ඇදුම් ඇද සිටි පිරිසක් විසින් කරන්නට ඇති බවත් ය. යාපනයේ යුද හමුදා මෙන් සැරසුනු 30 දෙනෙකුගේ නොහදුනන කණ්ඩායමක් දෙමළ සන්ධානයට පහර දීම පිළිබද මෙම කතාව විහිළුවක් නොවේ නම් තිත්ත කුණුහරුපයක් නොවේ ද? එපමණක්ම නොවේ. සුළුතර ප්‍රජාවක් වශයෙන් තමන් මුහුණ දෙන අසාධාරණයන් සම්බන්ධයෙන් කොළඹ රාජ්‍ය පාලකයින්ගේ අසංවේදිතාවය පෙන්නුම් කරමින් පා.ම. රජීව් විජේසිංහ බීබිසී හාඩ් ටෝක් වැඩ සටහනේ දී කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් ඔවුන්ට වාසි වූ නිසා දෙමළ සන්ධානය ඊට සතුටු වූ බව ය ! දෙමළ ජනතාවගේ පාර්ලිමේන්තු මංත්‍රිවරුන් පස් දෙනෙකුට එරෙහිව කැරුණු ප්‍රහාරයකට සිංහල රාජ්‍යයේ ප්‍රතිචාරය එබඳු විය. සංහිදියාව සහ විමුක්තිය පිළිබඳ තවත් කුමණ කතා ද?

මෙම තත්ත්වය යටතේ එල්ටීටීඊය සමඟ කිසිසේත්ම එකඟතාවයක් නොපෙන්වූ බොහෝ මධ්‍යස්ථ දෙමළ පිරිස් දැන් යාපනයේ සහ වන්නියේ පවතින මිලිටරි පාලනය කෙරෙහි මහත් කළකිරීමකින් කතා කරති. පොයින්ට් පේදුරු ආයතනයේ ප්‍රධානියා වන ආචාර්ය මුත්තුක්‍රිශ්නා සරවාන්නදන් මෑත දී මෙසේ කියා සිටියේ ය: ‛‛රාජපක්ෂවරු බලයේ සිටින තුරු කවර හෝ ප්‍රමාණයක නිර්-මිලිටරිකරණයක් වෙතැයි මා සිතන්නේ නැහැ. රාජපක්ෂ පවුල් පාලනය තහවුරු කර ගැනීමට මිලිටරිකරණය අත්‍යවශ්‍යයි. ’’

මෙම සටහනෙහි මුලින් මතු කළ ප්‍රශ්ණය එනම් දේශිය සහ අන්තර් ජාතික වශයෙන් සිදුවන අවාසි නොසළකා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවට පොදු වශයෙන් මර්දනකාරී පාලනයක් ද විශේෂයෙන් දෙමළ ජනයා ජිවත්වන ප්‍රදේශ මිලිටරි පාලනයක් ද යටතේ පවත්වා ගැනේනේ මන්ද යන ප්‍රශ්ණයට එක් පිළිතුරක් එම ප්‍රකාශයේ තිබේ. එනම් රාජපක්ෂ පාලනය උනන්දු වන්නේ දේශීිය හෝ අන්තර් ජාතික හෝ වශයෙන් නැගෙන විවේචන සහ විරෝධතා සම්බන්ධයෙන් නොව හුදෙක් සිය පාලනය පවත්වා ගැනීම උදෙසා බවයි. ඒ සඳහා අද සිදුවන්නේ දෙමළ ජනයා මිලිටරි පාලනය යටතේ මර්දනය කිරීමත් සිංහල පොදු ජනයා යුද ජයග්‍රහණයෙන් මෝහනයට පත්කර තබා ගැනීමත් ය.

එනයින් දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරනු පිණිස මිලිටරි පාලනය ඉවත්කර සැබෑ සිවිල් පරිපාලනයක් ලබා ගැනීමත් සහ දකුණෙහි ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඉදිරියට ගෙන ඒම පිණිස යුද මෝහනය වෙනුවට යුද්ධයේ ඇත්ත යථාර්තය පෙන්වා දීමත් අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මුහුණ දී සිටින තීරණාත්මක අභියෝගයන්ගෙන් එකකි.

සුනන්ද දේශප්‍රිය