Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ඝාතන භූමියේ දඩ බල්ලන්

Photos by – www.jds.org

ලේ රහට හුරුවූ සුනඛයින් ඉන්පසු සොයන්නේම ලේ රහයැයි අප ජනවහරේ වෙයි. එම නිසාම එම සුනඛයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයද හරියට ඒ වගේය. මෙහි දේශපාලනික යථාර්තය තේරුම් නොගතහොත් සිදුවන්නේ රජක්‍ෂමය ෆැන්ටසියක් තුළ ප්‍රමෝදගත වීමක් පමණි. ලංකා භූමියේ සිටින් ලේ රහට හුරුවූ සුනඛයින්ගේ ස්වරූපය මේ නිශ්චිත මොහොත තුළ විවිධ වූ හැඩයන් විවිධ වූ අන්‍යතාවයන් වෙත රූපාන්තරණය වී ඇත. ඒ නිසාම මේ මොහොතේ එයින් වැඩි පිරිසක් සිටින්නේ දේශප්‍රේමී සන්නාමය යටතේය. නමුත් ඔවුනුත් නොදැනම ඔවුන්ගේ රංගනය අධිතාත්විකය. එම නිසාම රංගනය ගැන දන්නා අයට වැඩේ අසුවන්නේය. නමුත් ඔවුන්ගේ එම රූපාන්තනය වී හුදෙක් අහම්බයක් නොව එය මහින්ද රාජපක්‍ෂ රේජීමයේ දේශපාලන ව්‍යාපෘතියේම කොටසකි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ සමාජයට දුවන්නට විටින් විට විවිධ වූ මාතෘකා පාලන දේශපාලන අධිකාරිය විසින් සපයයි. මේ දින වල ප්‍රධාන මාතෘකාව ග්‍රීස් යක්කු ගැනය. නමුත් ලියමන දිගුවන්නේ නොදන්නා ග්‍රීස් යක්කුන් පිළිබඳ නොව පෙනෙන්නට සිටිනා යකුන් සම්බන්ධයෙනි. මන්ද එම යකුන් නැතිනම් මේ දඩයම් බල්ලන් නිවැරදිව විග්‍රහකල ගැනීම මේ මොහොතේ ඉතාව වැදගත් හෙයිනි.

මෑතකදී ලංකීය සමාජය බත් කන ගමන්, බස් එකේ යන ගමන්, තේ බොන ගමන් රසකරන්න අතුරු පසට ගන්නට අතුරු පසක් ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් ලබාදුනි. එයනම් ලංකා ගුවන් සීමාව ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා මගින් ආක්‍රමණය කළ බවයි. ඉන්පසුව ඔවුන් එම යානා හා සම්බන්ධවෙමින් ඔවුන් මෙරට ගුවන් සීමාවෙන් පලවා හැරි බවයි. ඉන්පසු මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එම මාධ්‍ය මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙක් විය. හේ නම් ‛‛දිව යිනෙ හි කීර්ති පාට සූරියයි.’’ මේ පුද්ගලයා ලිපි ගණනාවක් ලියමින් දිගින් දිගටම හුවා දක්වමින් සිටියේ ඇමෙරිකාව සූදානම් වන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට බවයි. ඒ වෙනුවෙන් පිටු ගණන් වෙන්වුනි. බල්ලා මල්ලෙන් එළියට පනින්නේ ඉන් අනතුරුවය. ඔහුම ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් විග්‍රහකරයි. එයනම් මෙරට දැන් ගුවන් ආරක්‍ෂණ මිසයිල් පද්ධතියක් මිලට ගතයුතු බවයි. ඊට අමතරව මොහු විසින් ගතයුතු වර්ග පවා සඳහන් කරයි. ඊට උදාහරණද ගෙනහැර පායි. 2008 වර්ෂයේදීද මොහු විසින් යුද්ධය සඳහා ගෙන්විය යුතු ආයුධ වල ඇණ මුරිච්චි පවා සඳහන් කරමින් ලිපියක් ලියා තිබුණි. එම ලිපි ඉතා සබුද්ධිකව විග්‍රහ කිරීමේදී හැඟීයන්නේ ඒවැනි විස්තරයක් ආයුධ වෙළඳාම් සමාගමකින් හැරෙන්නට අන් කිසිවෙකුගෙන් ලබාගත නොහැකි තොරතුරු බවයි.

මේ ප්‍රවෘත්තියක් සමඟ කරුණු කීපයක් ඔස්සේ කියවීමකට යා හැකි බවයි.

ඉන් ප්‍රධාන කරුණ වන්නේ මහා දේශප්‍රේමීන් ලෙස පෙනී සිටින්නන් හා ආයුධ වෙළෙන්දන් අතර ඇති සම්බන්ධතාවයයි. ආයුධ වෙළඳාම දැවැන්ත ලාබ සදනා ව්‍යාපාරයකි. 2004 වර්ශයේදී ගෝඨාභය රාජපක්‍ෂ ආරාක්‍ෂක ලේකම් ලෙස පත්වීමත් සමගම එතෙක් ආයුධ මිලදී ගැනීමට පැවති ටෙන්ඩර් මණ්ඩලය විසුරුවා හරින අතර ඉන්පසු ලංකා ලොජිස්ටික් සමාගම පිහිටුවයි. එහි කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ පිහිටුවා ඇත. ඉන් පසුව සියලු ආයුධ ලංකාවට ගෙන්වන්නේ එම සමාගම මගිනි. ආරක්‍ෂක ලේකම් වරයා එහි සභාපති ලෙස පත්වන අතර සමාගමේ සමස්ථ කොටස් 110 යෙන් 100 ඔහු සතුවේ. ඉතිරි 10 ය කොටස් 1 බැගින් හමුදාපතිවරුන් සහ තවත් නිලධාරින් අතර බෙදී යයි. ෆොන්සේකා – ගෝඨාභය හඹයට එම කොටස් බෙදීයාමත් අදාළය. ඒ නිසාම කීපදෙනෙක් හට මෙම ආයුධ ගෙන්වීමේ ව්‍යාපාරය අතිශය ලාබදායක ව්‍යාපාරයි. කීර්ති සම්බන්ධවන්නේ මෙතැනනි. ලංකාව ඩැහැගැනීමට විදෙස් කුමන්ත්‍රණ යන මන්ත්‍රය මතුරන්නේම පොදු ජන විඥාණය ට එම ෆෝබියා තත්ත්වය කාන්දු කිරීමටය. ඒ හෙයින් ජාතික අරක්‍ෂාව යන සූත්‍රයට ලඝුකර ඕනෑම සුනඛ ක්‍රියාවක නිරත විය හැක. මේ වසරේ යුධ වියදම 215.2 දක්වා එනම් එය 6.3% කින් වැඩිකර ඇත. ඊට අමතර බෙල් වර්ගයේ හෙලිකොප්ටර් 2 මෑතකදී ගෙන්වූ අතර එම් අයි 24 වර්ගයේ හෙලිකොප්ටර් 14 ද දැන් තීරණය කර ඇත. රුසියාවේ ප්‍රධාන අවි විකුණන සමාගමක් වන රොසොබොරෝන් එක්ස්පොර්ට් සමාගම සමඟ එම මිලදී ගැනීම් ගිවිසුමට පැමිණීමට නියමිතය. ඉහතින් සඳහන් ප්‍රධාන ප්‍රස්තුතය වන ඇමරිකානු ප්‍රහාරක යානා පැමිණීමේ ප්‍රවෘත්තයද මෙම ආයුධ ව්‍යාපෘතියකම දිගුවක් ලෙස විග්‍රහකිරීම සිදුකල හැක්කේ ආයුධ ගෙන්වීමේ ව්‍යාපාරය සීරුවට නිරීක්‍ෂණය කිරීමේදීය. ඒ සමඟම දේශප්‍රේමීන් ගැනද ඒ හා සමාන විග්‍රහයකට පැමිණිය හැක.

දෙවැනි කරුණ ලෙස අපගේ කියවීමට ලක්කර ගත හැක්කේ ඉහත ප්‍රවෘත්තිය මගින් ජාතික ආරක්‍ෂාව මන්ත්‍රය මැතිරීමෙන් හදිසි නීති තත්ත්වයන් එලෙසම පවත්වා ගත යාහැකි වීමයි. මාධ්‍ය මර්ධනය, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සියල්ල වසාගන්නා යාන්ත්‍රණය හදිසි නීතිය බැවින් එය තවදුරටත් අත්‍යවශ්‍ය කාරණයකි. එයම යළිත් ආයුධ වෙළඳාම හා සම්බන්ධය. රජපක්‍ෂ රෙජීමයේ හදිසි නීතිය සඳහා වන පැහැදිලි කිරීම වන්නේ ජාතික ආරක්‍ෂාව සඳහා යන්නයි. ඒ නිසාම එය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුය. උදාහරණයක් ලෙස ඇමරිකානු ගුවන් යානා මෙරට ගුවන් සීමාව ආක්‍රමණය කලා කියනා නිර්මිත පුවත කෙලින් ම සම්බන්ධ ජාතික ආරක්‍ෂාවය. ඒ අනුව දැන් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නිර්මාණය වී ඇත. ඒ වෙනුවෙන් හදිසි නීතිය දික්කල යුතුය. ඒ අනුව දැන් ඇමෙරිකානු ගුවන් යානා මෙට ආක්‍රමණය කිරීමට සූදානම්ය. ඒ නිසා එයට මුහුණ දීමට ගුවන් යානා නාශක මිසයිල් පද්ධතියක් මෙරට ස්ථාපනය කල යුතුය. ගුවන් යානා නාශක මිසයිල් පද්ධතියක් ඉතා මිල අධික කාර්යයකි. ආයුධ මිලදී ගැනීමේදී ලැබෙනා කොමිස් මුදල් මිලියන ගණනකි. සමහර කොමිස් මුදල් පියන්ට පවා බෙදී යයි. ඊනියා දේශප්‍රේමයේ සුලමුළු මේවාය.

කොමිස් සඳහා කෙළ හලන්නන්ගේ ව්‍යාපෘතියට සමාන්තර යන අනෙක් දේශපාලනික ව්‍යාපෘතිය දකුණේ ජනයා වෙත නිරන්තර ෆෝබියා තත්ත්වයක් නිර්මාණය කරමින් ලංකාව උදුරා ගැනීමට පිරිසක් සිටිනවාය යන මතය නිර්මාණය කිරීමයි. එම ව්‍යාපෘතිය සිංහලජාතිවාදීන් විසින් සිදුකරගෙන යයි. ලංකා සමාජයේ මනෝභාවය දේශපාලන අධිකාරිය විසින් ස්ථානගත කර ඇත්තේ තමන්ගේ සතුට නැතින්ම් ප්‍රමෝදය අනෙකෙකු විසින් උදුරා ගැනීමට මානබලා සිටිනවා යන සිතුවිල්ල මතය. එම ව්‍යාපෘතිය ලංකා සමාජයටම කාවැදී ඇති දෙයකි. දකුණේ සමාජය තුළ නලින්ද සිල්වා, විමල් වීරවංශ, පාඨලී චම්පික සහ ඇල්ලේ ගුණවංශ, රතන යන චීවර දාරීන් විසින් මෙම ව්‍යාපෘතිය දකුණේ ඉහමොළ වෙත කාන්දු කරන ලදී.

ඒ නිසාම ලංකා සමාජය එම ෆැන්ටසිම තත්ත්වයේ ඉන්නවා හැර තමන් අවට සිදුවන්නාවූ කිසිවක් සම්බන්ධව සවිඥානික නොවේ. යථාර්ථය විග්‍රහකර ගන්නවා වෙනුවෙනට ෆැන්ටසිටය තුළ සූරතාන්තයට පත් වීම ඔවුන්ගේ ජීවන දර්ශණය වී ඇත.

ක්‍රිශාන් රාජපක්‍ෂ