Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාවේ යුද අපරාධ – සංක්ෂිප්ත අදහස් හා නිර්දේශ – ICG

Photo by www.omiusajpic.org

සිය 30 අවුරුදු සිවිල් යුද්ධයේ අවසන් මාස පහ තුළ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා හා දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය(Liberation Tigers of Tamil Eelam – LTTE – එල්ටීටීඊ) ජාත්‍යන්තර මානුෂීය නීතිය නැවත නැවතත් උල්ලංඝනය කළෝ ය. වසර ගණනාවක් තිස්සේ දිග හැරුණු ගැටුම මුළුල්ලෙහි පාර්ශ්වයන් දෙක ම ක්‍රූර ක්‍රියාවල යෙදුණු නමුත්, විශේෂයෙන් ම 2009 ජනවාරි මාසයේ සිට ආණ්ඩුව ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ මැයි මාසය දක්වා කාලය තුළ දී උල්ලංඝනයන්හි පරිමාණය හා ස්වභාවය වඩා නරක අතට හැරුණේය.

ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම විසින් රැස් කර ගනු ලැබූ සාක්ෂිවලින් ඇඟවෙන්නේ මෙම මාසවල දී දසදහස් ගණන් පිරිමින්, කාන්තාවන්, ළමයින් හා වැඩිහිටියන් ඇතුලු දෙමළ සිවිල් වැසියන් ඝාතනයට ලක් වූ බවය. තවත් කිව නොහැකි තරමේ සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර සියදහස් ගණනකට නිසි ආහාර හා වෛද්‍ය ප්‍රතිකාර අහිමි වූ හේතුවෙන් තවත් මරණ සිදු වූ බවය.

එමෙන් ම, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කළේ ආණ්ඩුවේ හා හමුදාවේ වගකිව යුතු ඉහළ පෙළේ නායකයන් සමග එක්ව විය හැකි බව විශ්වාස කිරීමට ද මෙම සාක්ෂිවලින් සැලකිය යුතු පදනමක් සැපයෙන්නේය. එල්ටීටීඊය හා එහි නායකයන් විසින් සිදු කරනු ලැබූ යුද අපරාධ පිළිබඳව ද සාක්ෂි පවතින නමුත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඝාතනයට ලක් වූ බැවින් කිසි දිනක අධිකරණ ක්‍රියාවලියකට මුහුණ නොදෙනු ඇත. අව්‍යාජ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කරන දේශපාලන අධිෂ්ඨානයක් හෝ හැකියාවක් දේශීය වශයෙන් නොමැති වීම, එමෙන් ම ශ්‍රී ලංකාව තුළ ඇති වූ ගැටුමට බලපෑ දුක්ගැනවිලිවලට විසඳුම් සෙවීම පිළිබද අවශ්‍යතාව සහ වෙනත් ආණ්ඩු තම අභ්‍යන්තර ගැටුම්වල දී ශ්‍රී ලාංකික කැරලි විරෝධී ආකෘතිය යොදා ගැනීමට ඉඩ තිබෙන තත්ත්වය තුළ, චුදිත අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය දෙයක් වී ඇත්තේය.

පහත දැක්වෙන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට බලය පැවරිය හැකි ප්‍රමාණවත්, විශ්වසනීය සාක්ෂි අර්බුද කණ්ඩායම සතුව පවතී.

හිතාමතා සිවිල් වැසියන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම. ජනවාරි මස අග සිට, ආණ්ඩුව හා ආරක්ෂක හමුදා, ආණ්ඩුව විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාප තුළට ගමන් කිරීමට සියදහස් ගණනක් සිවිල් වැසියන් පෙලඹවූහ. අනතුරුව, නැවත නැවත හා තීව්‍රතාව වඩ වඩා ඉහළ නංවමින් එල්ල කළ කාලතුවක්කු හා මෝටාර් වෙඩි වරුසාවලට සහ වෙනත් වෙඩි තැබීම්වලට එම ජනයා ගොදුරු කළෝ ය. සිවිල් ජනගහනයේ ප්‍රමාණය හා ඔවුන් සිටින ස්ථානය සහ හානියට පත් වූ සිවිල් වැසියන් ප්‍රමාණය කොතරම් ද යන වග ආණ්ඩුව හා ආරක්ෂක හමුදා දැන සිටි නමුත්, මැයි මස මුළුල්ලේ ම මෙය නොකඩවා සිදු විය.

හිතාමතා රෝහල්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම. රෝහල් පැවති ස්ථාන හා ඒවායේ ක්‍රියාකාරිත්වය නිශ්චිත වශයෙන් දැන සිටිය ද ආරක්ෂක හමුදා නානාවිධ අවස්ථාවල දී රෝහල්වලට හා තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර, ඉන් බොහෝ ඒවා ඒ වන විට තුවාලකරුවන්ගෙන් හා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. මෙම සිදුවීම් අතරතුර දී වෛද්‍ය කාර්ය මණ්ඩලය, එක්සත් ජාතීන්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (International Committee of the Red Cross – ICRC) හා වෙනත් සංවිධාන විසින් ෂෙල් වෙඩි ප්‍රහාර පිළිබඳව අඛණ්ඩව දැනුවත් කරන ලද නමුත්, වෛද්‍ය මධ්‍යස්ථාන අත හැර යාමට සිවිල් වැසියන්ට බල කරමින් ආණ්ඩුව හා ආරක්ෂක හමුදා මැයි මස මුළුල්ලේ ම නොකඩවා ප්‍රහාර එල්ල කළෝ ය.

හිතාමතා මානුෂීය මෙහෙයුම්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම. මානුෂීය මෙහෙයුම් සිදු වන ස්ථාන හා ආහාර බෙදා හරින ස්ථාන නිවැරදිව දැන සිටිය ද මානුෂීය සේවකයන්, වාහන හා සැපයුම්වලින් සහ සිවිල් වැසියන්ගෙන් පිරී තිබුණු මෙම ප්‍රදේශවලට ආරක්ෂක හමුදා නැවත නැවතත් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළෝ ය. මූලික මානුෂීය ආධාර බෙදා හැරීමට හෝ ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කාන්තාවන්, ළමයින් හා බිළිඳුන් ඇතුළු බොහෝ දෙනෙක් ඝාතනයට හෝ තුවාලවලට ගොදුරු වූවෝය.

ආණ්ඩුව සිවිල් ජනගහනයට ආහාර හා වෛද්‍ය ප්‍රතිකාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් – සිවිල් ජනගහනය සැබෑ සංඛ්‍යාවෙන් තුනෙන් එකකටත් වඩා අඩු බව හිතාමතා කියමින් ප්‍රමාණවත් සැපයුම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ද මීට ඇතුළත්ය – ආරක්ෂක හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවල ප්‍රතිවිපාක සැලකිය යුතු ලෙස වඩා නරක අතට හැරුණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස අර්බුද කණ්ඩායම කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.

එල්ටීටීඊය පහත දැක්වෙන ක්‍රියාවන්හි යෙදුණු බවට ද ප්‍රබල සාක්ෂි තිබේ:

හිතාමතා සිවිල් වැසියන්ට වෙඩි තැබීම. ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බේරී පලා යාමට හා ආණ්ඩුවේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලට මාරු වීමට උත්සාහ කරමින් සිටි සිවිල් වැසියන්ට ගැටුම් කලාපය තුළ දී වෙඩි තබා, එල්ටීටීඊය බොහෝ දෙනෙකු ඝාතනයට හෝ තුවාලවලට ගොදුරු කළේය.

හිතාමතා සිවිල් වැසියන්ට පීඩා පැමිණවීම. ෂෙල් වෙඩි ප්‍රහාරවලින් හා මානුෂීය සැපයුම් හිඟයෙන් එල්ල වූ බරපතළ අනතුර තිබිය දී ම, සිවිල් වැසියන් තුවාල ලබමින් සිටිය දී සහ මිය යමින් සිටිය දී පවා, එල්ටීටීඊය සිවිල් වැසියන්ට ගැටුම් කලාපය අත් හැර යාමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය. එමෙන් ම, සටන් කිරීම සඳහා හෝ කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා බලාත්කාරයෙන් බොහෝ සිවිල් වැසියන් බඳවා ගත් එල්ටීටීඊය, බඳවා ගැනීම්වලට විරෝධය පෑ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පහර දුන්නේය.

2009 අගෝස්තු මාසයේ සිට අර්බුද කණ්ඩායම රැස් කර ගත් සැලකිය යුතු සාක්ෂි සමූහයෙන්, දෙපාර්ශ්වයේ ම එදිරිවාදී කල්ක්‍රියාව සහ මිලිටරි හා දේශපාලන නායකත්වය ඉටු කළ භූමිකාව පිළිබඳව පරීක්ෂණයකට බල කරන තත්ත්වයක් සම්පාදනය වේ. අර්බුද කණ්ඩායම ලබා ගෙන ඇති හා විශ්වාස කළ හැකි බව සලකන ඇසින් දුටු සාක්ෂිකරුවන් බොහෝ ගණනකගේ ප්‍රකාශ ද, එමෙන් ම නානාවිධ විශ්වසනීය මූලාශ්‍රවලින් ලැබුණු සිය ගණනක් ඡායාරූප, විඩියෝ පට, චන්ද්‍රිකා ඡායාරූප, ඉලෙක්ට්‍රොනික අදහස් හුවමාරු හා ලියවිලි ද එහි අඩංගු වේ. එහෙත්, ඉන් ආවරණය වන චුදිත උල්ලංඝනයන් සංඛ්‍යාව සුලු ප්‍රමාණයක් වුවත්, එය යුද්ධයේ අවසන් වසර පිළිබඳව විභාග කිරීම සඳහා දරන වඩා බලගතු පරිශ්‍රමයක් විය යුතු යමක මුල් පියවරකි. පරීක්ෂා කළ යුතු අනෙක් චෝදනා අතර තිබෙන්නේ, එල්ටීටීඊය විසින් ළමයින් බඳවා ගනු ලැබීම හා ආයුධ පසෙක තබා යටත් වීමට උත්සාහ දරමින් සිටි අය ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරනු ලැබීමය.

උල්ලංඝනය කිරීම් සිදු වෙද්දී ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ රටවල් ඒවාට ඇස් පියා ගෙන සිටියේය. කවර හෝ අපරාධයක් සිදු වන බව ආණ්ඩුව විසින් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරනු ලබන තතු තුළ ඇතැම් රටවල් ආත්ම සංයමය ඉල්ලා ප්‍රකාශ නිකුත් කළ නමුත්, කිසිදු පියවරක් නොගත්තේය. බොහෝ රටවල් එල්ටීටීඊය ත්‍රස්තවාදීන් බව ප්‍රකාශයට පත් කර තිබූ අතර, ඔවුන්ගේ පරාජය ප්‍රිය කළේය. දෙමළ ජනයාගේ දුක්ගැනවිලි විසඳීමේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා හෝ මානව අයිතිවාසිකම්වල කවර හෝ අභිවෘද්ධියක් සඳහා බල කිරීමක යෙදීමට අසමත් වූ ඔවුහු, ආණ්ඩුවේ දරදඬු ප්‍රතිචාරය දිරි ගැන්වූවෝය. අවසානයේ දී එල්ටීටීඊයේ මිලිටරි විනාශය ළඟා වූයේ සිවිල් වැසියන් අතිවිශාල සංඛ්‍යාවක් පීඩාවන්ට ගොදුරු කරමින් හා යුද නීතිවලට දැඩි අභියෝගයක් එල්ල කරමින්ය. එය එක්සත් ජාතීන් පිළිබඳ විශ්වසනීයත්වයට ද හානි කළ අතර, ශ්‍රී ලංකාව තුළ හා අන් තැන්වල දෙමළ ජනයා අතර පැවති මහත් දොම්නස තව දුරටත් ගැඹුරු කොට, කල් පවත්නා සාමය ළඟා කර ගැනීම අසීරු විය හැකි වාතාවරණයක් නිර්මාණය කළේය. දැන් තවත් රටවල් ගණනාවක්, කැරලිකරුවන් හා වෙනත් කණ්ඩායම් සමග පොර බැදීමේ ක්‍රමයක් ලෙස සලකා, “ශ්‍රී ලාංකික විකල්පය” – එනම්, අදාන්ත මිලිටරි ක්‍රියා, සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම, මානුෂීය ගැටලු නොතැකීම – සලකා බලමින් සිටී.

මෙම හානියෙන් ප්‍රකෘති තත්ත්වයට පත් වීමට නම්, දෙපාර්ශ්වය ම සිදු කළ බවට චුදිත යුද අපරාධ පරීක්ෂා කිරීම සඳහා හා ඒවාට වගකිව යුත්තන්ට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා දරන සහයෝගී පරිශ්‍රමයක් තිබිය යුතු වන්නේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (International Criminal Court – ICCසාමාජික රාජ්‍යයක් නොවන අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කෙටි කාලයක් තුළ මෙම අපරාධ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කරතියි සිතිය නොහැකිය. එල්ටීටීඊයේ ඇතැම් අය ශ්‍රී ලංකාව තුළ දී නඩු මගට පිවිසිය හැකි නමුත්, දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය දැඩි ලෙස තහවුරු වී ඇති තත්ත්වය තුළ, ආණ්ඩුව හෝ ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් සිදු කෙරෙන කුමන දේශීය පරීක්ෂණයක් වුව ද අපක්ෂපාතී වීමට සැබවින් ම කිසිදු ඉඩක් නැත්තේය. ප්‍රමුඛතාව ලැබිය යුත්තේ එක්සත් ජාතීන්ගේ නියෝගයෙන් සිදු කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයකට වන අතර, චුදිත අපරාධ සම්බන්ධයෙන් අධිකරණ බලය සහිත – දෙරටක පුරවැසි භාවය සහිත පුරවැසියන් හෝ වැසියන් සැක කිරීමේ අවස්ථාව තිබෙන එක්සත් ජනපදය වැනි රටවල් ඇතුළු – රටවල් දැඩි අධිෂ්ඨානයෙන් පරීක්ෂණ කර ගෙන යා යුතුය.

නිර්දේශ

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට:

01. ගැටුම් කලාපය වෙත නිදහස් ප්‍රවේශය හා සාක්ෂිකරුවන්ගේ සැබෑ ආරක්ෂාව සහතික කරමින්, එක්සත් ජාතීන්ගේ නියෝගයෙන් සිදු කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇතුළු, යුද අපරාධ පිළිබඳ චෝදනා පරීක්ෂා කිරීම සඳහා දැරෙන ජාත්‍යන්තර ප්‍රයත්න සමග පූර්ණ ලෙස සහයෝගී විය යුත්තේය.

02. ජාත්‍යන්තර නීතියෙන් නියම කරනු ලබන පූර්ණ ආරක්ෂාව ලබා ගැනීමට එල්ටීටීඊ සාමාජිකයන්ට හා ඔවුන්ට එරෙහි සාක්ෂිකරුවන්ට ඉඩ දෙමින් සහ ජාත්‍යන්තර අධීක්ෂණයට අවසර දෙමින්, යුද අපරාධ පිළිබඳව සැක කරනු ලබන එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධයෙන් විවෘත අධිකරණයෙහි නඩු විභාග කළ යුත්තේය, නැතහොත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් ඔවුන් නිදහස් කළ යුත්තේය.

03. අධිකරණයෙන් බැහැර ඝාතන, වධහිංසා පැමිණවීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ආහාර සඳහා ඇති අයිතිය, සෞඛ්‍යය සඳහා ඇති අයිතිය, ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමේ දී මානව අයිතිවාසිකම්වල ආරක්ෂාව හා මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ගේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සබැඳියාකරුවන්ටත්, අභ්‍යන්තර අවතැන් වූවන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ සහ ළමයින් හා සන්නද්ධ ගැටුම පිළිබඳ විශේෂ නියෝජිතයන්ටත්, එදිරිවාදීකම්වල අවසන් වසරේ කල්ක්‍රියාව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ චාරිකා කරන ලෙස ආරාධනා කළ යුත්තේය.

04. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහ/හෝ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ඇතිව, යුද්ධයේ අවසන් මාසවල දී ඝාතනයට ලක් වූවන්ගේ, තුවාල ලැබූවන්ගේ හා අතුරුදන් වූවන්ගේ පූර්ණ හා ප්‍රසිද්ධ ලැයිස්තුවක් සම්පාදනය කළ යුත්තේ ය. ඔවුන් මරණයට පත් වූ, තුවාල ලැබූ හෝ අතුරුදන් වූ වාතාවරණය ද ඊට ඇතුළත් කළ යුත්තේ ය. එමෙන් ම, ඝාතනයට ලක් වූ හෝ තුවාල ලැබූ හා දේපළ විනාශ වූ හෝ හානි වූ සිවිල් වැසියන්ට මරණ සහතික නිකුත් කළ යුත්තේය, මූල්‍ය වන්දි ලබා දිය යුත්තේය.

05. එල්ටීටීඊ සැකකරුවන් හෝ යටත් වූවන් රඳවා සිටින සියලු රැඳවුම් කඳවුරු වෙත ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට පූර්ණ ප්‍රවේශය ලබා දිය යුතු අතර, රඳවා සිටින පුද්ගලයන්ට ජාත්‍යන්තර නීතිය යටතේ හිමි පූර්ණ රැකවරණය සලසා ගැනීමට ඉඩ දිය යුත්තේය.

එක්සත් ජාතීන්ට හා එහි සාමාජික රාජ්‍යයන්ට:

06. දෙපාර්ශ්වයේ ම කල්ක්‍රියාව පරීක්ෂා කිරීමට, සෑහෙන පමණ කෙටි කාලයක් තුළ දී සිය කටයුත්ත සම්පූර්ණ කිරීමට හා කවර හෝ අපරාධයක් පිළිබඳව වග වීම සහතික කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර බලාධිකාරයන් විසින් ගත යුතු පියවරයන් නිර්දේශ කිරීමට පවරමින්, ගැටුමේ අවසන් වසර තුළ ශ්‍රී ලංකාවේ දී කළ බවට චුදිත යුද අපරාධ පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට අවසර දිය යුත්තේය.

07. සටන් විරාමයකට බල කිරීමට දැරූ ප්‍රයත්නයන් හා ශ්‍රී ලංකා ආණ්ඩුවේ යුද සිර කඳවුරුවලට මැදිහත් වීම කරණ කොට ගෙන 2008 සැප්තැම්බරයේ දී එක්සත් ජාතීන් කිලිනොච්චියෙන් ඉවත් කිරීම පිළිබඳව විභාග කරමින්, ගැටුමේ අවසන් වසර තුළ දී එක්සත් ජාතීන්ගේ දේපළවලට හා කාර්ය මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ කල්ක්‍රියාවට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ යුත්තේය.

08. අධිකරණයෙන් බැහැර ඝාතන, වධහිංසා පැමිණවීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ආහාර සඳහා ඇති අයිතිය, සෞඛ්‍යය සඳහා ඇති අයිතිය, ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමේ දී මානව අයිතිවාසිකම්වල ආරක්ෂාව හා මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ගේ තත්ත්වය පිළිබඳ විශේෂ සබැඳියාකරුවන්ට ද, අභ්‍යන්තර අවතැන් වූවන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂ නියෝජිතයාට ද, එදිරිවාදීකම්වල අවසන් වසරේ කල්ක්‍රියාව පිළිබඳව, විශේෂයෙන් ම අධිකරණයෙන් බැහැර ඝාතන හා වධහිංසා පැමිණවීම් පිළිබඳව පූර්ණ පරීක්ෂණ සිදු කිරීම සඳහා බලය දිය යුත්තේ ය. එමෙන් ම, ළමයින් හා සන්නද්ධ ගැටුම පිළිබඳ විශේෂ නියෝජිතයාට, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සහ ළමයින් ඝාතනයට හා අංග විකල භාවයට පත් කිරීම පිළිබඳව වඩා පූර්ණ ලෙස පරීක්ෂා කිරීම සඳහා බලය දිය යුත්තේය.

09. ශ්‍රී ලංකාවේ දී කළ බවට චුදිත යුද අපරාධ පරීක්ෂා කිරීමට දැරෙන ඕනෑ ම විශ්වසනීය පරිශ්‍රමයක් සඳහා, එක්සත් ජාතීන්ගේ සන්තකයෙහි හෝ පාලනය යටතේ පවතින අදාළ සියලු තොරතුරු භුක්ති විඳිය හැකි හෝ ලබා ගත හැකි තත්ත්වයට පත් කළ යුත්තේය.

10. එක්සත් ජාතීන්ගේ සාමසාධක දූත මෙහෙයන්ට දායක කර ගන්නා ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ කවර හෝ පුද්ගලයෙකු යුද අපරාධවලට හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනයන්ට සම්බන්ධ බවට චුදිත ද යන්න හඳුනා ගැනීම සඳහා, සේවයෙහි යෙදීමට කලින් ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය විධිමත් පරීක්ෂාවකට ලක් කරන බව ද සහතික කරමින්, එම දූත මෙහෙයන්ට ශ්‍රී ලංකාව ලබා දෙන දායකත්වය විශ්වීය මානව අයිතිවාසිකම් මූලධර්මවලට අනුරූප බව සහතික කළ යුත්තේය.

ඉන්දියාවට, එක්සත් ජනපදයට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට, එක්සත් රාජධානියට, ප්‍රංශයට, යුරෝපා සංගමයේ වෙනත් රටවලට, ස්විට්සර්ලන්තයට හා වෙනත් රටවලට:

11. මානුෂීය ලෙස සලකන බව හා සාධාරණ නඩු විභාග පැවැත්වෙන බව සහතික නොකෙරෙන්නේ නම් එල්ටීටීඊ සැකකරුවන් ශ්‍රී ලංකාවට පිටුවාහල් නොකළ යුත්තේය. ඒ වෙනුවට, හැකි හා අදාළ තැන්වල දී දේශීය අධිකරණ තුළ ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ යුත්තේය.

12. අධිකරණ බලය පවතින අවස්ථාවන් හී තම පුරවැසියන් හෝ වැසියන් සම්බන්ධ බවට යුද අපරාධයන් හෝ මානව අයිතිවාසිකම් අපයෝජනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ යුත්තේ ය. එවැනි පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් සම්පත් පවතින බව සහතික කළ යුත්තේ ය. චන්ද්‍රිකා ඡායාරූප ඇතුළු ආණ්ඩුවල සන්තකයේ හෝ පාලනය යටතේ පවතින සාක්ෂි බෙදාහදා ගත යුත්තේය.

13. ආරක්ෂක හමුදාවන්හි හෝ එල්ටීටීඊයේ සාමාජිකයන් වන චුදිතයන් විසින් හෝ ඔවුන් වෙනුවෙන් පැවරෙන නිරර්ථක නොවන සිවිල් නඩුවලට සහාය දිය යුත්තේ ය. මේ සඳහා නෛතික විනිර්මුක්තිය සීමා කිරීම ද අවශ්‍ය වන්නේ ය.

14. විශේෂයෙන් ම, විශ්වසනීය පරීක්ෂණ සමග සහයෝගී වීමට නිලධාරීන්ට ඉඩ සලසා දීමෙන්, යුද අපරාධවල සාක්ෂිකරුවන්ට රැකවරණය හෝ වෙනත් ආරක්ෂිත තත්ත්වයක් පිරිනැමිය යුත්තේ ය. ඔවුන් හා යුද අපරාධ පිළිබද සාක්ෂි සුරැකීමට ක්‍රියා කළ යුත්තේය.

15. චුදිත යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා දැරෙන ජාත්‍යන්තර පරිශ්‍රමයන් සමග සහයෝගී නොවන්නේ නම් හෝ සහයෝගී වන තෙක්, ශ්‍රී ලාංකික නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වලට චාරිකා පිළිබඳ සීමාවන් ඇතුළු ඉලක්ක කළ සම්බාධක පැනවිය යුත්තේය.

බ්‍රසල්ස්, 2010 මැයි 17

විසින් ශ්‍රී ලංකා‍ව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක් ඇසුරිනි.

ජත්‍යන්තර අර්බුධ කණ්ඩායම හෙවත් international crisis group(ICG) ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ළණ වාර්තාව සදහා පිවිසෙන්War Crimes Report in Sri Lanka(ICG)