Colombo, end of the War, Featured Articles, Features

ආණ්ඩුවේ ප්‍රතිසන්ධාන කමිටුවට අභියෝගයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ශ්‍රී ලංකාවේ යුද ගැටුමේ හේතු මෙන්ම එම ගැටුම නිසා ජනයා මත ඇති වූ බලපෑම සොයා බලා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරනු පිණිස පිහිටුවන ලද උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසමට (එල්.එල්.ආර්.සී.) ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ප්‍රබල විවේචනයක් එල්ල කර තිබේ. ‛‛ඔවුන්ට සාධාරණය ඉටුවන්නේ කවරදාකද? – ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසමේ අසමත්වීම්’’ නම් එම විවේචනාත්මක වාර්තාව පසුගිය 07චා ජිනීවාහි දී එළිදක්වන ලදී. එම වාර්තාව ප්‍රසිද්ධ කිරීමේ පුවත්පත් සාකච්ජාව අමතමින් ක්ෂමා සංවිධානයේ ආසියානු වැඩ සටහන් අධ්‍යක්ෂ සෑම් සෆීරි කියා සිටියේ මෙම වාර්තාව සැළකිය යුත්තේ විරෝධතාවයකට වඩා ශ්‍රී ලංකාවේ කල්පවත්නා සාමයක් වෙනුවෙන් කැරෙන ආයාචනයක් ලෙස බවයි. ඒ කෙසේ වෙතත් ඒ 4 ප්‍රමාණයේ පිටු 69කින් සමන්විත මෙම වාර්තාව එල්එල්ආර්සී කොමිසමට ඉදිරිපත් කරන්නේ මහත් අභියෝගයකි.

වාර්තාවට හදිසි ප්‍රතිවාරයක් වශයෙන් ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ නිසි අවස්ථාවේ දී තමන් ඊට පිළිතුරු දෙන බවයි. ක්ෂමා සංවිධානයට සිය කොමිසමට පැමිණ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ආරම්භයේදී ම කරන ලද ආරාධනය පිළිනොගැනීම මතකයට නැංවූ ශ්‍රී ලංකාණ්ඩුව මෙම වාර්තාව එළි දැක්වීම මගින් ක්ෂමා සංවිධානයේ සැබෑ අරමුනු හෙළිවන බව කියා සිටියේ ය.

සිය වාර්තාව එළිදක්වමින් ක්ෂමා සංවිධානය කියා සිටියේ තමන් එල්එල්ආර්සී කොමිසම හමුවට නොයෑමට තීරණය කළේ එම කොමිසම අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව ස්වාධීන නොවූ නිසා බවයි. එක් අතකට ක්ෂමා සංවිධානය විසින් සකස්කර එළිදැක්වු වාර්තාව මගින් එය සිය විවේචනය සාධාරණ කරයි.

ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව නැගී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ චෝදනාවන් පරීක්ෂා කිරීමට ස්වාධීන අන්තර් ජාතික කොමිසමක් අවශ්‍ය බවට ඇති ජාත්‍යාන්තර පිළිගැනීම එන්න එන්නම ශක්තිමත් වෙමින් තිබේ. ඊට පිළිතුරක් වශයෙන් ශ්‍රී ලංකාණ්ඩුව දක්වනු ලබන්නේ එල්එල්ආර්සී කොමිසම විසින් එවැනි අපරාධ සිදුවූයේ ද නැත් ද යන්න සොයා බලනු ඇති බවයි. ජීනීවා මානව හිමිකම් කොමිසම හමූවේ දී ද ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ තමන්ට චෝදනා කරන්නේ නැතිව 2011 නොවැම්බරයේ දී එල්එල්ආර්සී කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කෙරෙන තුරු කල්දෙන ලෙස ය. කෙටියෙන් කියන්නේ නම් යුද්ධයේ අවසන් අදියරේ දී දෙපාර්ශවය ම විසින් ම සිදු කරනලදැ යි කියන යුද අපරාධ විමසා බැලීමේ ශ්‍රී ලංකාණ්ඩුවේ යාන්ත්‍රණය වශයෙන් අලෙවි කැරෙන්නේ එල්එල්ආර්සී කොමිසම ය.

ක්ෂමා ජාත්‍යන්තරය විසින් එල්ඒලආර්සී කොමිසම අලලා සකස් කරන ලද ‛‛ඔවුන්ට සාධාරණය ඉටු වන්නේ කවරදාකද?’’ යන විවේචනාත්මක වාර්තාව වැදගත් වන්නේ අන්න ඒ නිසා ය. නිදහස් මාධ්‍ය ඇති රටක නම් මෙම වාර්තාවේ අඩංඟුව පුළුල් සාකච්ජාවට හේතු වනු නොඅනුමානය. මන්ද යත් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැක ගැනීමේ ප්‍රධානතම සාධකය වන්නේ දැනුවත් පුරවැසියා වන නිසා ය. නමුත් මෙම වාර්තාවේ අඩංඟුව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විසින් විශේෂයෙන්ම සිංහල සහ ඉංග්‍රිසි ජනමාධ්‍ය බහුතරය විසින් නොසළකා හරිනු ඇති බව අපට කැට තියා කියා සිටිය හැකි ය.

ක්ෂමා සංවිධානය එල්ටීටීඊ ය විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ මන්දැයි යන ප්‍රශ්නය පිළිතුරු දෙමින් සෑම් සෆීරි කියා සිටියේ එල්ටීටීඊ ප්‍රධානීන් නිසි පරිදි අධිකරණයට පමුණුවා විනිශ්චයට භාජනය කිරීම අත්‍යවශය බව යි. එනමුත් එවැනි අධිකරණ ක්‍රියාවලියකින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ඇති චෝදනා සනාථකර දඩුවම් පැමිණවීම වෙනුවට ශ්‍රී ලංකාණ්ඩුව තෝරාගෙන ඇත්තේ ඔවුන් සිය වසඟයට ගැනීම බව ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ක්ෂමා සංවිධානයේ මෙම වාර්තාව ප්‍රධාන වශයෙන් කරුණූ තුනක් අවධාරනය කරයි. ප්‍රථමයෙන් එහි වරම නොහොත් බලාධිකාරය යුද්ධයේ අවසන් සමයේ දී කරන ලද බවට චෝදනා නැගී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විමසා බැලීමට අරමුණු කර නැති බවයි. දෙවැනිව කොමිසමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් කළක් රජයේ නියෝජිතයින් වශයෙන් පෙනී සිට ඇති හෙයින් ස්වාධීන පරීක්ෂනයක් කිරීමට ඔවුන් යෝග්‍යදැයි යන ප්‍රශ්ණය යි.

තෙවැනිව වාර්ථාවෙහි මුඛ්‍ය අරමුණ වන්නේ එහි ක්‍රියාදාමය විමසා බැලීමයි. ක්ෂමා ජාත්‍යාන්තරය ප්‍රකාශ කරන්නේ එල්එල්ආර්සී කොමිසමේ සාක්ෂි විභාග කිරීම් පිළිබඳ නිල වශයෙන් සහ ජනමාධ්‍ය විසින් පළ කොට ඇති සියළු වාර්තා සිය විමසීමට හසු කර ගන්නා ලද බවයි. එම විමසීම මගින් එය නිගමන කිහිපයක් ඉදිරිපත් කරයි.

එල්එල්ආර්සී කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිළි මූලික වශයෙන් ප්‍රභේද තුනකට බෙදිය හැක. ඒවා නම් අතුරුදහන්වීම්, අත්අඩංඟුවේ රඳවා තබා ගැනීම් සහ යුද්ධය සහ විතැන්වීම නිසා මුහුණ දීමට සිදුව ඇති ආර්ථික දුෂ්කරතාවයන් ය. ආරම්භයේ දී කොමිසම ඇරයුම් කළේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳව දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නමුත් බොහෝ සාක්ෂිකරුවෝ ආණ්ඩුවේ හමුදා සහ විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් මානව හිමිකම් කෙළෙසීම ගැන චෝදනා ඉදිරිපත් කළහ. වාර්තාව සදහන් කරන්නේ එම අවස්ථාවන්හි දී පසුවිපරම් ප්‍රශ්ණ ඇසීම මගින් සත්‍ය ගවේෂණයට කොමිසම උනන්දු නොවූ බවයි. එසේ කරනු ලැබුවේ නම් අපරාධ පරීක්ෂනයකට අවශ්‍ය තොතරතුරු සපයා ගැනීමට ඉඩ තිබූ බව වාර්තාව පෙන්වා දෙයි.

සාක්ෂිකරුවෝ ගණනාවන්ම ස්වකීය හිමිකම් කෙළෙසීමට වගකිවයුතු හමුදා/සන්න්දධ කණ්ඩායම් මොනවාදැයි නම් කළහ. ඉන් කිහිප දෙනෙක් අපරාධකරුවන් නම් වලින් ම සදහන් කළහ. එනමුත් කොමසාරිස්වරු එකී ප්‍රකාශ මත ප්‍රශ්ණ ඇසීම මගින් සමුපූර්ණ කතාව සොයා ගැනීමට උත්සාහ කළේ නැත. එල්එල්ආර්සී කොමිසමේ පරීක්ෂනය මගින් හිමිකම් කෙළෙසීම සම්බන්ධයැයි චූදිත පුද්ගලයින් හදුනාගෙන නැතැයි ආණ්ඩුවේ බලධාරින් කියන කතාව බොරු යැයි වාර්තාව සදහන් කරයි.

කොමිසමේ පරික්ෂණ වාර්තා උපුටා දක්වමින් වාර්ථාව තර්ක කරන්නේ ඉතාම දරුණු ගනයේ මානව හිමිකම් කෙළෙසීමක් වන සිවිල් වැසියන් කොටු වී සිටි ප්‍රදේශයන්ට ෂෙල් ප්‍රහාර එල්ල කරන ලදැයි ඇති චෝදනාව පිළිබදව කරුණු විමසා දැන ගැනීමට තිබු අවස්ථා කොම්සම විසින් ප්‍රයෝජනයට නොගත් බව යි. එය උපුටා දක්වන එක් නිදසුනක් මේ ය:

3වන සාක්ෂිකරු: මගේ සැමියා සහ පුතා පුදුකුඩිඉරිප්පු හි දී ෂෙල් ප්‍රහාර වැදී මිය ගියා.

සභාපති: ඒ කවදා ද?

3වන සාක්ෂිකරු: 2009 ජනවාරි 22 දා. මට ඉගෙන ගනනා දූවරුන් දෙදෙනෙකු ඉන්නවා. මට ආර්ථික ආධාරයක් අවශය යි.

සභාපති: අපි සොයා බලා එවැනි සහනයක් සපයන්නම්.

ඇය ලවා පුරවා ගත් ඉල්ලුම් පත්‍රයක් කොමිසමේ ලේකම් කාර්‍යලයට බාර දෙන ලදී. එපමණකි. කොමිසම එම පියා සහ පුතාට මරණය කැඳවූ ෂෙල් ප්‍රහාරයට වගකිය යුත්තේ කව්රුන්දැයි සොයා ගැනීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැත.

ශ්‍රී ලංකාණ්ඩුවේ හමුදාවන්ට එල්ල වී ඇති එක් බරපතල චෝදනාවක් නම් පුදුකුඩිඉරිප්පු රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කළේ ය යන්නයි. එම රෝහලේ සේවය කල වෛද්‍ය ටී. වර්දරාජා ද කොමිසමේ සාක්ෂි දීම පිනිස කැදවන ලදී. කොමිසම එල්ටීටීඊ කාලතුවක්කු රෝහල තුළ හෝ ඒ අසළ ස්ථානගත කර තිබුණේ දැයි පුන පුනා ප්‍රශ්ණ කළ මුත් ආණ්ඩුවේ හමුදා විසින් එම රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කළේ දැයි විමසුවේ ම නැත. වාර්තාවෙහි උපුටා දක්වා ඇති එල්එල්ආර්සී කොමසාරිස්වරයකු වන මහාචාර්ය හගවත්ත වෛද්‍ය වර්දරාජාගෙන් ඇසූ ප්‍රශ්න ඉතාම පක්ෂග්‍රාහී බව පැහැදිලි ය.

ඇයගේ පුත්‍රයා ද ඇතුළු තරුණයින් පස් දෙනෙකු අතුරුදහන්වීම පිලිබඳව කොම්සම ඉදිරියෙහි මවක වරක් සාක්ෂි දුන්නා ය. එනමුත් එම තරුණයින් සොයා ගැනීමට හෝ ඔවුන් පැහර ගත් හමුදා ඛණ්ඩය හෝ ඉවහල් විය හැකි හෝ කිසිදු පසුවිපරම් ප්‍රශ්ණ ඇසීමක් කොම්සම සිදු කළේ නැත. පැහැර ගැනීමෙන් පසු අතුරුදහන්වීම් අරභයා ද ශ්‍රී ලංකාණ්ඩුවේ හමුදාවන්ට චෝදනා එල්ල වී තිබේ. එනමුත් ඉහත සදහන් කළ අවස්ථාවේ දී මෙන් බොහෝ අවස්ථාවන්හි දී කොමිසම අපරාධකරුවන් හදුනා ගැනීමට හෝ නිසි පරීක්ෂනයක් ආරම්භ කිරීමට හෝ සහාය විය හැකි ප්‍රශ්ණ ඇසීමෙන් වැළකුණු බවට ක්ෂමා සංවිධානයේ වාර්තාව චෝදනා කරයි.

තවත් අවස්ථාවක දී මැයි 18වනදා හමුදාවට බාර වූ සිය බෑණනුවන් පමණක් නොව දියණිය සහ තවත් දරුවන් ගණනාවක්ම අතුරුදහන්ව ඇතැයි මවක සාක්ෂි දුන්නා ය. එම සාක්ෂිය හාරා අවුස්සා බැලීමට කොමිසම ප්‍රශ්ණ ඇසූ නමුත් එලෙස බාරවූයේ කුමණ හමුදා ඛණ්ඩයකටදැයි ප්‍රශ්ණයක් ඇසුවේ නැත.

වාර්තාව පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් නම් වන්නියේ ඉතිරි වී ඇත්තේ හුදෙක් ලක්ෂයක ජනතාවක් පමණක් යැයි රජය දිගින් දිගටම කළ ප්‍රකාශය පිලිබදව කොමිසම විමසා නොබැලූ බවයි. මන්ද යත් අවසානයේ දී එම පිරිස ලක්ෂ තුනක් බව සනාථ වූ නිසා ය.

එල්ටීටිඊ සංවිධානයේ යුද අපරාධ නොසළකා හරින්නේ යැයි අන්තර් ජාතික ප්‍රජාවට ආණ්ඩුව චෝදනා කරන නමුත් ආණ්ඩුවේ එල්එල්ආර්සී කොමිසම එවැනි අවස්ථාවක් නොසලකා හරින ලද අන්දම ද වාර්තාව පෙන්වා දෙයි. එනම් නැගෙනහිර මහඇමැති පිල්ලෙයාන් විසින් දුන් සාක්ෂිය යි. එල්ටිටිඊය සඳහා වැඩිම ප්‍රමාණයක් ළමා සොල්දාදුවන් බදවා ගන්නා ලද්දේ නැගෙනහිර පළාතේ දී එවකට පිල්ලෙයාන්ගේ නායකයා වූ කරුණා අම්මාන් යටතේ ය. එනමුත් ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමක් කෙරුනේ නැත. ඊටත් වඩා කැපි පෙනෙන සිදුවීම වූයේ 1991 දී එල්ටීටීඊ අත් අඩංගුවට ගැනුන 600ක් පමණ වූ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම පිලිබඳ ප්‍රශ්ණය යි. ඒ පිලිබඳව විමසනු ලදුව පිල්ලෙයාන් කියා සිටියේ තමා නොව ඒ සම්බන්ධයෙන් සමාව භජනය කල යුත්තේ අමාත්‍ය කරුනා අම්මාන් බවයි. කොමිසම එතැනට තිතක් තබා එම සමූළ ඝාතනය ගැන සොයා බැලීම නතර කළේ ය. කරුණා අම්මාන් ගෙන්වා ඒ ගැන ප්‍රශ්ණ කලේ නැත.

ක්ෂමා ජාත්‍යන්තරයේ වාර්තාව මෙවැනි අවස්ථා ගණනාවක්ම පෙන්වා දෙමින් තර්ක කරන්නේ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම යුද්ධයේ අවසන් සමයේ සිදු වූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් පරික්ෂා කිරීමට අසමත්වනු ඇති බවයි. වැඩි කළක් නොගොස් එනම් නොවැම්බරයේ දී එම කොමිසමේ වාර්තාව නිකුත් වූ කළ මෙම චෝදනාවේ ඇත්ත නැත්ත දැක ගැනීමට අපට හැකි වනවා ඇත. එම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධියට පත් කර ප්‍රසිද්ධ සාකච්ජාවකට මඟ පැදීම ආණ්ඩුවේ ද වගකීම වනු ඇත.

සුනන්ද දේශප්‍රිය