සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

‛‛මේ තමයි භයානකම ත්‍රස්තවාදය.’’

‛‛හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමා බොහෝම බැරූරුම් ප්‍රශ්ණයකට මැදිවෙලා ඉන්නේ. අපේ රටට දරුණු සම්බාදක පනවන්න හදනවා. නොයෙක් කරදරවලට මැදි කරන්න හදනවා ඒ නිසා ඔබ වහන්සේලා ගමයි මේ රට බේර ගත්තේ කියලා, ඔබ වහන්සේලා තමයි අපව රජකරවන්නට මහන්සි උනේ කියලා ජනාධිපති ලේකම්තුමා දුරකථනයෙන් මට කිව්වා. මම ඒකත් පිළි අරගෙන මගේ ගුරු භික්ෂුන් වහන්සේලා ගේ ඉල්ලීමත් අනුව මම ඒ උපවාසය අත් හැරියා. නමුත් මේ ධීවරයින් නිදහස් කර ගැනීමේ කටයුත්ත මම අතහරින්නේ නෑ’’ මේ බව ප්‍රකාශ කලේ පසුගිය 25 වනදා මාරාන්තික උපවාසයක නිරතව සිටි කල්පිටිය, කන්දක්කුලිය විහාරස්ථානයේ පූජ්‍ය බැඳිවැවේ දියසේන හිමියන් ය.

මෙම උපවාසයට මූලික හේතුව වූයේ මීට මාස 20කට පෙර ඉන්දියාවේ අන්දමන් දූපත් අසල ධීවර කටයුතු වල නිරතව සිටි ‛‛සචීන්’’ 01 බහුදින යාත්‍රාවේ ධීවරයින් 6 දෙනකු එම ප්‍රාන්තයේ අත්අඩංගුවට පත් වීමයි. ඉකුත් 2010 පෙබරවාරි 28 වනදා ත්‍රීකුණාමල වරායෙන් මුහුදු ගිය මෙම ධීවර පිරිස 2010 මාර්තු 09 වන දින ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හ. කෙසේ නමුත් මාස 20ක් යන තුරුත් එම ධීවරයින් නිදහස් කර ගැනීමට ලංකාවේ කිසිදු බලධාරියෙක් විදිමත්ව මැදිහත් වීමක් සිදු නොකල බව අත්අඩංගුවේ පසුවන අයගේ ඥාතීන් පවසයි.

එසේ තිබියදී මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවේ පසුවන අයගේ ඥාතීන් සහ බැඳිවැවේ දියසේන හිමියන් කල්පිටිය, සින්නගුංඩුවේදී රාජිත සේනාරත්න ධීවර ඇමතිවරයා හමු වී මෙම අය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටි බවත් එහිදී ඇමතිවරයා විසින් අදාළ නිළධාරීන් අමතා මාසයකින් මොවුන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් අවුරුද්දක වියලි සලාක එම පවුල් වලට ලබා දෙන ලෙසත් පැවසු බව බැදිවැවේ දියසේන හිමියන් පවසයි. එසේම ලබා දෙනවා යැයි කියූ වියලි සලාක වලින් අද වනතුරු ලැබී ඇත්තේ රු2000ක් පමණ වටිනාකමින් යුතු ආහාර මල්ලක් පමණක් බව දියසේන හිමියන් වැඩිදුරටත් පවසයි. එසේම දියසේන හිමියන් උපවාසය ආරම්භ කරන තුරු ධීවර ඇමතිවරයා විසින් පොරොන්දු වූ පරිදි එම ධීවරයින් නිදහස් කර දීම පිළිබදව කිසිදු උත්සහයක් හෝ ප්‍රකාශයක් සිදු නොකල බවට ඔවුන්ගේ ඥාතීන් පවසයි.

ධීවර යාත්‍රාව අත්අඩංගුවට පත් වීම සහ ඉන් පසුව

වාර්තාවන පරිදි සචීන් 01 යාත්‍රාව අත්අඩංගුවට පත් වූයේ 2010 මාර්තු 09 වන දින දීය. අත්අඩංගුවට පත් ධීවරයින්ගේ ඥාතීන් පවසන පරිදි ඉන්පසු පළාත් ධීවර ඇමතිවරයාත්, ආණ්ඩුවේ ධීවර ඇමතිවරයාත් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත. එසේ නමුත් ඔවුන් නිදහස් කර ගැනීම සදහා කිසිදු පියවරක් ඔවුන් ගත්තේ නැත. එසේ තිබියදී කිසියම් පිරිසක් විසින් මෙම යාත්‍රාව අත්අඩංගුවට පත් වූයේ එහි ගංජා තීබු බව යැයි පවසමින් කිසියම් පිරිසක් විසින් ව්‍යාජ ප්‍රචාරයක් රුගෙන ගිය බව බැදිවැවේ දියසේන හිමියන් පවසයි. ‛‛මේ සිරකරගෙන ඉන්න අයගේ පුවුල් වල අය බළධාරීන්ගෙන් ඉල්ලපුවාම නැවත වරක් මොවුන් බේරා දෙන්න කියලා, ඔවුන් කරපු පළමු චෝදනාව තමයි ‛මේ අයගේ බෝට්ටුවේ ගංජා තිබිලා අහුවෙලා කියලා.’ මගේ ලග තිබෙනවා ඒ අයගේ චෝදනාවට අදාල ‛බී’ වාර්තාව. ඒ ‛බී’ වාර්තාවේ තිබෙන්නේ කිලෝ 80ක මාලු කූරියෙක් සහ ආහාර ද්‍රව්‍ය පමණයි මේ අයගේ බෝට්ටුවේ තිබිලා තියෙන්නේ.’’ කෙසේ නමුත් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට පත් වූ වහාම ඒ පිළිබදව නීති්‍යානුකූලව සොයා බලා ඒ සදහා පියවර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ධීවර අමාත්‍යංශයට සහ ඒ හා බැදි වෙනත් ආයතන වෙතයි. ඒ ක්‍රියාපටිපාටිය විදිමත්මක සිදු නොකර විවිධ අන්දමේ මඩ ප්‍රචාරයන් ගෙන යන බව ප්‍රදේශවාසීන් පවසයි. එසේම මේ සම්බන්ධයෙන් ධීවර ඇමතිවරයා විසින් පසුගිය 31 වනදා කොළඹ දී පුවත් පත් සාකච්ඡාවක් පැවැත්වීය. එහි දී ද ගැටලුව විසදීමට අදාල නොවන කරුණු බොහාමයක් ප්‍රකාශ විය. එයට සහභාගී වූ එම ‛සචීන්’ බහුදින යාත්‍රාවේ හිමිකරු තමන් විසින් කනදක්කුලිය විහාරස්ථානයේ දියසේන හිමියන්ට මුදල් ලබා දුන් බවත් එම මුදල් වෙනත් අයෙකුගේ ගිණුමක තැන්පත් කල බව පැවසූ නමුත් එහිදී පිළිගතහැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කීරීමට ඔහු අසමත් වූ බව වාර්තා විය.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ කන්දක්කුළිය, සමුද්‍රාසන්න විහාරස්ථානයේ බැදිවැවේ දියසේන හිමියන්, ‛‛ඊට පසුව මට චෝදනාවක් කරනවා මේ අය බේරා දෙන්න කියලා රුපියල් ලක්ෂ පහ හමාරක ක මුදලක් ගත්තා කියලා. ඊට පස්සේ රාජිත සේනාරත්න ඇමතිවරයා ත්‍රීකුණාමලයේ බෝට්ටු හිමිකරුවා මුණ ගැහෙන්න ගිහිල්ලා පැය එක හමාරක් ඔහුගේ ගෙදර ගතකරලා, මේ බෝට්ටු හිමිකරුවාට කියනවා රුපියල් ලක්ෂ 6ක් ඔයාගෙන් ගත්තා කියලා කියන්න කියලා. මේ කාරණයෙන් පෙන්නුම් කරන කරුණු දෙකක් තියනවා. එක්ක තමයි රාජිත සේනාරත්න ඇමතිවරයාට මේ අය බේරාගැනීමට කිසිදු හැකියාවක්, වුවමනාවක් නෑ. අනෙක් එක තමයි නොහැකියාව වහගන්න හාමුදුරුවරුන්ට නින්දා අපහාස කරන එක. ඔහු මට භාවිතා කල වචනය තමා ‛පැවිද්දෙක්’ කියාලා. හැබැයි මම ඊට පිළිතුරු වශයෙන් දොස්තරට ‛ගස්තර’ කියන්න යන්නේ නෑ. ඒ නිසා මම මේ කළ අපහාසයට නීතිමය ක්‍රීයාමාර්ග ගන්නවා.’’

‛‛ අනෙක් එක තමයි දැන් ඔය රාජිත සේනාරත්න මහත්මයා සුනාමියට සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන ඒ වෙන කොට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට ‛‛හොරා, හොරා, හොරා’’ කියමින් වේදිකාවල අනේක වාරයක් ප්‍රකාශ කරා.

දැන් අද වෙනකොටත් රාජිත සේනාරත්න ඇමතිවරයා මට විරුද්ධව සේනා සංවිධානය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සිටිනවා. මම එක දෙයක් තේරුම් ගත්තා මගේ ක්‍රියාව මගේ වචන මේ අයගේ කණ හිරි ඇරෙන්න පටන් අරන් තියනවා කියලා. ‛‛මම අභියෝග කරනවා එහෙම මට මුදලක් ලබා දීලා තිබෙනවා නම් ඒක ඔප්පු කරන්න කියලා. අනෙක් එක තමයි ඔය සුදු යකඩ ආනන්දට(සුදු යකඩ ආනන්ද නෙමයි මළකඩ ආනන්ද) පුලුවන්නම් මගේ පංසලට ඇවිල්ලා පෙන්නන්න කියලා’’ මේවා බැරි කම වහගන්න කරන අශිෂ්ඨ වැඩ කියලයි මම කියන්නේ.

‛‛ඒ නිසා සොබා දහමේ දඩුවමුත් මේවාට ලැබෙන්න පුලුවන්. මේ සෙනසුරු තුලා රාශියට එන වෙලාව. ඒ කියන්නේ පවු කරන අයට දඬුවම් ලැබෙනවා කියන එක. ඒක අද වෙනකොට හැම තැනම පෙන්නනවා. අවි ගත්තෝ අවියෙන්ම නසියි කියලා. තම තමන්, තම තමන්ගේ අය වෙඩි තියාගෙන මරා ගන්නවා. ඒ හැමෝටම හොඳ උත්තර අනාගතයේදී ලැබෙයි. මේ කාරණයේදී ලොකු වාහනයක් ඇවිල්ලා මම යන වාහනයේ හැප්පෙන්න පුලුවන්. නැතිනම් මම අතුරුදහන් වෙන්න පුලුවන්. නාදුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරන්න පුලුවන්. යම් හෙයකින් එහෙම දෙයක් සිදු උනොත් එහි වගකීම මෙම රජයම භාරගත යුතුයි. හැබැයි මොන අභියෝගය ආවත් මේ අය නිදහස් කර ගන්නා තුරු සහ ඉන් පසුවත් ක්‍රියාත්මක කරනවා.

‛‛අහිංසක ධීවරයාගේ ඇඟ උඩ නැගලා බූරු ගහන්න එපා කියලා මම මුලු ආණ්ඩුවටම කියනවා. ’’

මගේ නම බැදි වැවේ දියසේනනේ. එතකොට මට සල්ලි දුන්නනම් මගේ නමින් තියෙන්න ඕන. කොහාට හරි සිල්ලි දුන්නම මට දීමක් වෙනවාද? ඒක නිසා රාජිත සේනාරත්න ඇමතිවරයා මට මේ කරන අපහාසයට අධිකරණ ක්‍රියාමාර්ගයකින් ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. මේ අපහාසය කරන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් නිසා මේ ඇමතිවරයා විතරක් නෙමෙයි මේ මුලු ආණ්ඩුවම එළවන සාධකයක් බවට සමහර විට ඉදිරියේදී බැදිවැවේ දියසේන පත්වෙන්න පුලුවන්. හැබැයි මගේ මරණයෙන් පස්සේ ගඩාෆිලාට සහ ගෝලයොන්ට වෙච්ච දේවල් මේහේ ගඩාෆිලාට සහ ගෝලයොන්ටත් වෙන්න පුලුවන්.
‛‛මිලින්ද ප්‍රශ්ණයට නාගසේන – මහිනද ප්‍රශ්ණයට දියසේන’’ දියසේන හිමියන් ඉතා දැඩි ස්වරයකින් ප්‍රකාශ කලේය.

‛‛මේ අහිංසක ධීවරයෝ නිදහස් කිරීම අනිවාර්‍යයෙන්ම කළ යුතුයි.’’

විශේෂයෙන් ඉන්දියානු ධීවරයින් ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කර අත්අඩංගුව පත් වූ වහාම ලංකාවේ බළධාරීන් එක් දුරකථන ඇමතුමකින් ඔවුන්ව නිදහස් කිරීමට කටයුතු කරන බව ප්‍රදේශවාසීන් පවසයි. නමුත් මෙහිදී එසේ සිදු නොවු බවත් මෙතෙක් බෝට්ටු අයිතිකරුවා හෝ හාමුදුරුවන් හැරෙන්නට කිසිදු අයෙක් මොවුන් හමු වීමට ගොස් නැති බවත් ඔවුන් පවසයි. පසුගිය දා බැදිවැවේ දියසේන හිමියන් එම ධීවරයින් බැලීම සදහා අන්දමන් දූපත්වලට ගිය බවත් ඒහීදි ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ බවත්, එයට අදාලව නීතිඥ උපදෙස් ද ලබා ගත් බව එම හිමියන් පවසයි.

‛‛මම ක්‍රිශ්ණා රාවෝ කියන නීතිඥයා මගින් ඔවුන් ගැන විමසුවා. ඔහු ප්‍රකාශ කලා මාස 3ක් අක් අතුලත ඔවුන් නිදහස් කර දීමට හැකියි, අන්දමන් දූපත් පාලනය විසින් නියම කරනු ලබන දඩ මුදල ගෙවීමට හැකිනම් කියලා මට කිව්වා. අනෙක් කරුණ තමයි බෝට්ටු අයිතිකරු මේ වන විට සිරගතව සිටින තම ධීවර සේවකයින් බැලීම සඳහා එහි නොගිය බැවින් එම අන්දමන් දූපත් පාලනයට යම් සැක සංකා මතුව තිබෙනවා. ඒ වාගේම එහි තවත් 5 දෙනෙක් හිටියා. ඔවුන් ගැනත් මම සොයා බැලුවා. එහදී සිචින් යාත්‍රාවේ නියාමකයා මගෙන් ඉල්ලා හිටියා. ‛‛ජනාධිපති කාර්යාලයේ ඉස්සරහට ගිහිල්ලා උපවාසයක් කරලා හරි අපි බේරගන්න කියලා.
දැන් මේ අහිංසක ධීවරයෝ නිදහස් කිරීම අනිවාර්‍යයෙන්ම කළ යුතුයි. ඒ කරන තුරු රට පුරා ඒක මතක් කර දීමේ උද්ඝෙෘ්ෂණ ව්‍යාපාර ආරම්භ කරනවා අපි. බැරි වෙලාවත් ඒ අය නිදහස් කර ගැනීමට ආණ්ඩුව උත්සහ නොකළහොත් කිහිප දෙනකුගේ සහයෝගය මත මේ පුංචි හාමුදුරුවොන්ට කරන්න පුලවන් කියලා පෙන්නනවා.

ගැටුම සැඟවීම සහ වෙනස් කිරීම

මාස 20කට ආසන්න කාලයක් ඉන්දියානු අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කර ගැනීමට තබා ඒ පිළිබදව නිවැරදි තොරතුරු ඥාතීන්ට ලබා දීමට මේ වන විටත් ධීවර අමාත්‍යංශයට හෝ ඒ හා සම්බන්ධ ආයතනවල නිළධාරීන්ට නොහැකි වී තිබේ. ඒසේ තිබිය දී ඔවුන් මාධ්‍යට පවසා තිබුණේ එම ධීවරයින් එළිමහන් සිර කඳවුරක සිටින බව පමණය. නමුත් ඔවුන් බැලීමට අන්දමන් දූපත්වලට ගොස් පැමිණී බැදිවැවේ දියසේන හිමියන් පවසන්නේ ඔවුන් සිටිනේ සිරගතව බවයි. මෙම ව්‍යාකූල තොරතුරු නිවැරදී කිරීමට තරම් මේ වන විට බළධාරීන් අපොහොසත් වී ඇත. ඒසේම අනෙක් පසින් මෙම ධීවරයින් නිදහස් කර ගැනීම යන්න වෙනුවට දැන් ඇමතිවරයා විසින් සාකච්ඡා කරනු ලබන්නේ, උපවාස කරනු ලැබූ දියසේන හිමියන් මුදල් ලබා ගත් බවය. මුදල් ලබා දීම සහ ලබා ගැනීම වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බව ලියුම්කරුගේ අදහසයි. මක් නිසා ද යත් මෙහි මූලික ප්‍රශ්ණය වී ඇත්තේ මාස 20ක් තිස්සේ අත්අඩංගුවට පත් වී ඇති ධීවරයින් නිදහස් කර ගැනීමයි. දැන් බළධාරීන් සිදු කරන්නේ ඇත්ත ප්‍රශ්ණය වෙනුවට තවත් පශ්ණයක් තුළ එම ඇත්ත ප්‍රශ්ණය සැගවීමට දරණ නින්දිත උත්සහයයි.

මෙය මෙම ආණ්ඩුවටම ආවේනික වූ ‛නවතම ගැටුම් විසඳීමේ’ ක්‍රමයයි. මිනී මැරුමකට චෝදනා ලැබූවෙකු අත්අඩංගුවට ගත් පසු ගත් සැනින් පොලීසිය විසින් ඔහුව පාතාලයෙකු ලෙස හෝ දූෂීතයෙකු ලෙස පරිවර්තනය කරන්නේ කිසිදු විමර්ශණයකින් හෝ අධිකරණමය ක්‍රියාවලියකින් තොරවය. ඉන් පසු ඔහු සමඟ ආයුධ සෙවීමට යන පොලීසිය පසුව පවසන්නේ සගවා තිබූ ආයුධයකින් පොලීසියට වෙඩි තැබූ පසු පෙරලා තැබූ වෙඩි තැබීමකින් පතාල සාමාජිකයා මිය ගිය බවයි. මෙය එසේම බොහෝ පත්තර පිටුවල සටහන් වන්නේ කිසිදු විමර්ශනයකින් තොරවමය. අධිකරණයේ කටයුතු පොලීසිය හෝ ඇමතිවරයෙක්, මන්ත්‍රිවරයෙක් මෙසේ භාරගෙන යුක්තිය(?) පසිඳනු ලබන්නේ එසේය.

මෙයත් එහිම අනෙක් පැත්ත ය. ගැටලුව ධීවරයින් නිදහස් කර ගැනීම වුවත් පසුගිය ඔක්තෝබර් 25 වනදායින් පසුව සිදු වූනේ එය හාමුදුරුවන් සල්ලි ගැනීම නම් ප්‍රශ්ණයට මාරු කිරීමය. (ලියුමකරු නැවතත් පවසන්නේ හාමුදුරුවන් මුදල් ගත්තා නම් එයත් විමර්ශනය කල යුතුම බවය) නමුත් එම මුදල් ගැනීම මගින් හිතා මතාම ‛ධීවරයින් නිදහස්’ කිරීම යන ගැටලුව වසා දැමීමට ගන්නා නිර්ලජ්ජිත උත්සහයෙන් කියාපාන්නේ ලංකාවේ මානව හිමිකම් සහ යුක්තිය පිලිබදව තිබෙන බරපතල උබතෝකෝටික තත්ත්වයයි.

‛‛දැන් කවුරුත් එන්නේ නෑ මේ ප්‍රශ්ණ කතා කරන්න’’ වැඩිදරටත් අදහස් දක්වන දියසේන හිමියන්, ‛‛මොකද ගොඩාක් මාධ්‍යවේදිනුත් වෙවුලනවා මේ ආණ්ඩුවේ එක්කෙනෙක් රවාපු ගමන්ම. නමුත් ඒ අතරේ නිර්භීත මාධ්‍යවේදීනුත් ඉන්නවා. සමහර අවස්ථාවලදී අපි බොහොම කම්පාවට පත් උනා නිවට නියාලු ලෝකයක් මේක කියලා. දැන් කතා කරන්න බයයි. එහෙම උනොත් කොතනද ඉතුරුවෙන්නේ මේ රට. හැම තැනම අහන්න ලැබුනොත් ඇහෙන්නේ නරකම ආරංචි. නපුරුම ආරංචි. ත්‍රස්තවාදය නෑ කියලා කියනවා මේ තමයි භයානකම ත්‍රස්තවාදය.”