Colombo, Featured Articles, Features, Puravasi Katha

රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට


ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම ‍විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්‍යාපාර පවත්වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචි. එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්ම. ‍කොළඹ පැවැත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවයක්. ඒ කියන්නේ ඒ විරෝධතාවයට සහභාගී වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ෂවයේ සමාජිකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පමණයි. මීට අමතරව කුරුණෑගලත් විරෝධතාවයක් සූදානම් කරලා තියෙනවා. ඒ සජිත් පාර්ෂවයෙන්. එතකොට මේ විරෝධාවයට සහභාගී වෙන්නේ රනිල් විරෝධී සාමාජිකයන් එහෙම නැත්තම් සජිත් පාර්ෂවයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්. මේ විරෝධතා දෙකම පැවැත්වෙන්නේ එකම දිනයේ, එකම වෙලාවට.

හැම විරෝධතාවයක්ම කොළඹ තියන්නේ නැතුව ප්‍රාදේශීය වශයෙන් විරෝධතාවයන් දක්වන එක හොදයි. නමුත් එක්සත් ජාතික පක්ෂය සියළුම බලවේගයන් ඒකරාශී කරන එක පැත්තකින් තියලා තම තමන්ගේ කල්ලි වාදය ඉස්මතු කර ගන්න උත්සහ කරන බවකුයි පේන්න තියෙන්නේ. කුරුණෑගල ආසන සංවිධායකවරයා සජිත් පාර්ෂවයේ. ඒ නිසා ඔහු සහ ඔහුට හිතැති සමාජිකයන් සහ ආධාර කරුවන්ට කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වෙන්නේ නැහැ. කෙසේ වුවත් වැඩි පිරිසකගේ ආකර්ෂණය ලැබෙන්න කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට. ඒ නිසා මම දකින විදියට නම් පිල් බේද අමතක කරලා එයට සහ‍ය දෙනවානම් තමයි නුවනැති ක්‍රියාවක් වෙන්නේ. පිල් බෙදෙන්න නැතුව පක්ෂයක් විදිහට ප්‍රාදේශීය වශයෙනුත් උද්ඝෝෂණ සංවිධානය කරන එක හොදයි.

එජාපයේ මේ කල්ලි වාදයෙන් ජය ගන්නේ රනිල් වික්‍රමසිංහවත් සජිත් ප්‍රේමදාසවත් නෙ‍වෙයි. මෙයින් වාසි අත් වෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවට. මේ හැම දෙයින්ම තැලෙන්නේ අහිංසක ජනතාව.

රටේ ප්‍රධාන විපක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයට සබෑවටම ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න අවශ්‍ය නම් කල්ලිවාදය අමතක කරලා හැම දෙනාම ඒකරාශී වෙන්න ඕනේ. මේ වගේ රට උණුසුම් අවස්ථාවක පක්ෂයේ නායකයන් කටයුතු කරන්න ඕනේ ආණ්ඩුවට බලපෑමක් එල්ල කරන්න මිස පක්ෂයෙන් නායකත්වය ගන්න නෙවෙයි කියන එකයි මගේ අදහස. මගේ දේශපාලන මිතුරෙක් දිනක් පැවසුවා දේශපාලනය කරද්දී සමාව දීම අනිවාර්යයි කියලා. ඒ වගේම පක්ෂ ඇතුළෙම පිලි බෙදිලා එකිනෙකා හතුරො විදියට සලකගන්න තාක් කල් හොද නායකත්වයක් ගොඩ නැගෙන්නේ නෑ කියලා. ඔහුගේ අදහස වුණේ ආණ්ඩුවට බලපෑමක් ‍එල්ල කරන්න පුළුවන් අවස්ථාවක විරුද්ධ අදහස් දරන පක්ෂ සාමාජිකයන් මෙල්ල කරන එක නොකළ යුතු බව.

මේ වන විට එජාපයට සිටින දක්ෂ කථිකයෝ සියල්ලක්ම පාහේ ඉන්නෙ සජිත් පිළේ. ඒ වගේම ප්‍රබල සහ පැරණි නායකයෝ ඉන්නේ රනිල් පිළේ. අද තියන තත්ත්වය හැටියට එජාපයේ සජිත් ප්‍රේමදාස පරම්පරාවෙන් පස්සේ කිසිම කෙනෙක්ට ඉදිරියට එන්න අවස්ථාව ලැබිලා නෑ. මේ වන විට එජාපයට තරුණ පෙළක් ඉන්නවද කියන එක ගැටළුවක්.

ආණ්ඩුවේ මන්ත්‍රීවරු එජාපයට එන්න සූදානමින් ඉන්නවා කියලා සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නමුත් බලය තියෙන අවස්ථාවක කවුද ආණ්ඩුව දාලා එන්නේ. ගණන් සාස්තර වලින් ආණ්ඩු පෙරලන්න බැරි බව අපි හැමෝම දන්නවා. ආණ්ඩුව පෙරලන්න නම් පුළුල් ජනතා ව්‍යාපාරයක් ඕනේ. ඒ ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගෙන්න නම් සෑම ප්‍රජාවක්ම ආමන්ත්‍රණය කරන්න පුළුවන් නායකයන් ඉන්න ඕනේ. මේ නායකත්වය ගොඩ නගන්න එක්සත් ජාතික පක්ෂය සූදානම්ද කියන එකයි පක්ෂයේ සාමාජිකයන් ඇතුළු අපි හැම දෙනාටම තියන ගැටළුව.

මේ රටේ දේශපාලන පක්ෂ කිසි දිනෙක ජනහිතකාමී දේශපාලනයක් කළේ නැහැ කියන එක නැවත නැවත කිව යුතු නෑ. නමුත් ජනතාවාදී නායකයන් කවදා හෝ බිහි වෙයි කියන බලාපොරොත්තුව අත හරින්න හොද නැහැ. ඒ නිසා තමයි මේ විදියට ලියමනක් ලියන්න හිතුණේ.

මැණිකේ