Colombo, end of the War, Featured Articles, Features

මහින්දට නැවත වතාවක් වැරදී තිබේ.


මේ වන විට ලංකාවේ ඇතිවී තිබෙන තත්වයට වඩාත් ගැලපෙන අදහසක් බයිබලයේ සඳහන්වේ. “It is the kind of mistake rulers make, Foolish people are given important positions. While rich people are given less important ones” මෙහි අර්ථය නම් පාලකයන් වැරදි කරන අවස්ථාවන් වලදී මෝඩ මිනිසුන් ඊට වැදගත් තැනක් ලබා දෙන අතර බුද්ධිමතුන් ඊට ලබා දෙන්නේ අඩු වැදගත්කමකි. මෙම වැකිය වර්තමාන ශ‍්‍රී ලංකාවට හොදින්ම ගැලපේ. මහින්ද බලයට පත්වීමෙන් පසු බොහෝ තැන් වරද්ද ගත්තේය. තමන්ගේ ප‍්‍රතිවාදියා වූ ජෙනරල් සරත් ෆොන්සේකා හිරේ දැම්මේය, ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් මරා දැම්මේය, අත්තනෝමතික ලෙස ව්‍යවස්ථාව වෙනස් කළේය, තම අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදුණු පුරවැසියන්ට පොලිසිය හා හමුදාව ලවා වෙඩි තැබුවේය, පසුගිය මාස කිහිපය තුළ පමණක් පුද්ගලයින් 20 වැඩි ප‍්‍රමාණයක් අතුරුදහන් කළේය, ඒ වගේම කාටත් නොතේරෙන ලෙස අධික ණය බරකට රට පත් කළේය, නමුත් ශ‍්‍රී ලංකාවේ වැසියන්ට මෙය ගානක් නැත. මන්දයත් බහුතරයක් දෙනා ඉහතකී ආකාරයේ මෝඩයින්ය. අනෙත් පිරිස බුද්ධිමතුන් හෝ පොහොසතුන්ය. ඔවුන්ට මේ කිසි දෙයක ගානක් නැත. තමන්ගේ බිස්නස් ටික හොදින් කෙරෙනවානම් ඔවුන්ට ප‍්‍රමාණවත්ය. දැන් මහින්ද කරන්නට යන්නේ කුමක්ද? පෙබරවාරි 27 වෙනිදායින් ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අහිතකර තීන්දු ගැනීමට ඇමරිකාව ඇතුළු රටවල් උත්සහ කරන්නේ යැයි පවසමින් ජාතිවාදය ඇවිස්සීම සඳහා උත්සහ කිරීමය. එහි කොන්ත‍්‍රාත්තුව බාරදී තිබෙන්නේ විමල් වීරවංශ නැමති දේශපාලන වාචාලයාටය. ඔහු මේ රටේ කළා නම් කළේ තමන්ගේ වාචාල කට පාවිච්චි කරමින් පුද්ගලයින් අතර වෛරය වැපිරවීම පමණි. මහින්දට මී ලගට වරදින්නේ මෙතැනින්ය. තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවැනි බාල දේශපාලූවන් ලංකර ගැනීමෙන් සිදු වන්නේ සාධාරණය පිළිබඳ හිතේ තෙතමනයක් සිහිත දේශපාලකයින් සිටියානම් ඔවුන්ද මහින්දගෙන් ඈත්ව යාම පමණි.

දැනට ලෝකයේ සිදුවෙමින් පවතින ජන නැගිටීම් හමුවේ ජාත්‍යන්තර සංවිධාන වලටද කිසියම් වූ ස්ථාවරයන් ගැනීමට බල කර තිබේ. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තත්ත්වය විශේෂය වසර 30 කට වැඩි කාලයක් පැවති යුද්ධය දැන් අවසන්ව තිබේ. නමුත් එම යුද්ධය අවසන් කළේ කෙසේද යන කාරණයේදී සිවිල් ජනයාට එරෙහිව සිදුවූ අපරාධ සමබන්ධයෙන් විශ්වාස කළ හැකි ප‍්‍රමාණවත් තොරතුරු හා සාක්ෂි මෙ වන විටත් ජාත්‍යන්තර ප‍්‍රජාව සතුය. අනෙක් අතට ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් පත් කළ උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ[LLRC] සාක්ෂි වලින් හා දරුස්මාන් වාර්තාවෙන් ද ඒ බව තහවුරු වී තිබේ. ඒ නිසා ජාත්‍යන්තර රට වලට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වලටද මේ කාරනා සම්බන්ධයෙන් කිසියම් තීන්දු තීරණ ගැනීමට සිදුව තිබේ. ඉහත කී ජන නැගිටීම් වලින් බලවත් රටවල් හා සංවිධාන උගත් පාඩම එයයි. එසේ තීන්දු තීරණ නොගන්නට ඔවුන්ද අර්බූදයකට යනු ඇත. ඔවුන් අර්බූදයට යන්නේ කෙසේද යන්න පැහැදිලි කරනවානම් අන්තර් ජාතිකව සිදුවන අපරාධ සම්බන්ධයෙන් නිසි වගවීමේ ක‍්‍රියාවලියක් ආරක්ෂා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ වැරදි ආදර්ශය වෙනත් රටවල් අනුගමනය කරන්නට ගිය හොත් මේ සියලූ ආකාරයේ සංවිධාන හා රටවල් අර්බූදයකට පත්වනු ඇත.

විමල් වීරවංශ වැනි දේශපාලකයින් තේරුම් ගතයුතු අනෙක් කරුණ නම් අප ධනවත් රට වලට ණය වී ඇති ප‍්‍රමාණය අනුවද ඔවුන්ගේ බලපෑම් කිරීමේ හැකියාව ඉහල යන බවය. මහින්ද සංවර්ධන සංග‍්‍රාමය යැයි කියමින් ලබා ගෙන තිබෙන ණය ප‍්‍රමාණය විමල් වීරවංශට ගනනය කළ හැකි නම් ඔහුට ජාත්‍යන්තරයේ බලපෑම් කිරීමේ හැකියාවද තේරුම් ගත හැක.

විමල් වීරවංශ වැනි දේශපාලන වාචාලයින් ලවා නැවත වතාවක් ජාතිවාදය වපුරා සමාජය බේදභින්න කර ජාත්‍යන්තරයට එරෙහිව ශ‍්‍රී ලංකාවේ ජනතාව පාරට ගෙන ඒමෙන් වැඩක් නොවන බව මහින්ද රාජපක්ෂ විසින් තේරුම් ගත යුතුව ඇත. පාලකයින්ගේ මෙවැනි මෝඩ ක‍්‍රියාවන් තේරුම් නොගෙන ජනතාව පාරට බසින්නේ නම් ඒ බයිබලයේ සඳහන් ආකාරයට මෝඩයින්ය. ශ‍්‍රී ලංකාවේ ජනතාව මෝඩයින් නොවී කළ යුතු වන්නේ මේ අධම දේශපාලන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෙස පෙරලා දැමීමට ඒකරාශී වීමයි.

මහින්ද රාජපක්ෂ තේරුම් ගත යුතු දෙයනම් මෙවැනි මෝඩ ක‍්‍රියාවලට නොගොස් 88-89 කාලවලදී ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියාක් මෙන් ඉහත කී අඩුපාඩු පිළිගෙන ඒවා නිවැරදි කිරීමේ ක‍්‍රියාවලියකට පෙළඹීමට කාලය එලඹ ඇති බවයි. එසේ නොවන්නට මේ සියළු තත්ත්වයන් හමුවේ ඔහු කළ යහපත් දෙයක් තිබුණේ නම් එය බින්දුවටම වැටෙනු ඇත. ඔබගේ දේශපාලන පවුල් ගස ද ක‍්‍රමානුකූලව මිය යනු ඇත.

සේනක වත්තේගෙදර[Senaka Wattegedara]