උතුරැ පළාත් සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(21) උදෑසන 07ට ආරම්භ වී පස්වරැ 4ට අවසන් විය. නමුත් යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල ජනතාවට නිදහසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු වන අන්දමින් විවිධ නීති විරෝධී ක්‍රියාවන් බොහොමයක් දක්නට ලැබුනි.

බුද්ධි අංශ සහ සන්නද්ධ අංශ මැදිහත් වීම්,

IMG_0087 [පැය ගණනක් වරණි මහා විද්‍යාලය අසල (අංක 40ඡන්ද පොළ), මුරපොල ළග නවතා තිබූ, පොලීසිය ඉවත් නොකල වාහනය කාගේද?]

IMG_0085

විශේෂයෙන් යාපනය නගරයෙන් පිටත විවිධ ඡන්ද මධ්‍යස්ථාන අවට බුද්ධි අංශ ක්‍රියාත්මක වෙමින් ඡන්දය දැමීමට පැමි‍ණෙ පිරිසට බලපෑම් කරන බව අප කළ සංචාරයේදී ඡන්ද දායකයන් පැවසීය.

වාදරවත්ත, විග්නේෂ්වරා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය, චාවකච්චේරි, වරණි මහා විද්‍යාලය, කයිතඩි මුත්තුකුමාර් ස්වාමි විද්‍යාලය අසල සිටි(එහි ජනයා පැවසූවේ ඔවුන් බුද්ධි අංශයේ කියා ය.) පිරිසක් විසින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන පිරිසට බලපැම් කළ බවත්, ඒ නිසා ඔවුන් ඡන්දය දැමීමට පැමිණීමට උදයවරැවේ බියක් දැක්වූ බවත් එහි ජනයා අප වෙත පැවසීය.

එසේම චාවකච්චේරි, වරණි මහා විද්‍යාලය අසල අද දහවල්, දෙමළ ජාතික සංධානයේ අපේක්ෂක, කේසවන් සජෙන්ද්‍රන් මහතාට අයත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තබා ඇති බව කේසවන් සජෙන්ද්‍රන් මහතාගේ ආධාරකරැවන් අප වෙත පැවසීය. ඒ සම්බන්ධයෙන් වරණි මහා විද්‍යාලයේ(අංක 49) දරණ ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරීන් අප වෙත පවසා සිටියේ ‘ඇතුලේ ඉන්නකොට අපිට වෙඩි සද්ධ 3ක්, 4ක් ඇහුනා, අපිත් බයවෙලා හිටියේ‘ යනුවෙනි. මේ සිදුවීම පිළිබදව, එම සිදුවීම වන විට එම ස්ථානයේ සිටි මාධ්‍යවේදියෙක් පවසා සිටියේ, ‘සජෙන්ද්‍රන්ගේ වාහනය එතනින් යනකොට, ඡන්ද මධ්‍යස්ථානය ඉදිරියේ ඇති හමුදා මුරපොලෙන් 5 දෙනෙක් විතර එළියට ආවා. ඉන් දෙන්නෙක් ඒ වෑන් එකට වෙඩි තිබ්බා. ‘උඹ ඇතුලට පලයන්‘ කියලා මටත් කිව්වා. මම දැක්කා වෑන් එකට වෙඩි වැදිලා තියනවා. ඊට පස්සේ එතැනට රැස්වෙලා හිටපු ඡන්දය දාන්න ආපු මිනිස්සු ඔක්කොම වගේ එතැනින් ගියා‘ මෙම සිදුවීමෙන් පසු එම ඡන්ද පොළ අසල නවතා තිබූ ඇතැම් වාහන පොළීසිය විසින් ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වන තෙක් ඉවත්කිරීම සිදු නොකල බවද අපට දැක ගන්නට ලැබිනි. එම වෙඩි තැබීම ඇසින් දුටුවන් අප සමග ප්‍රකාශ කර සිටියේ වෙඩි තැබු අය වෙඩි තැබීමෙන් පසුව එම හමුදා මුරපොලට ගිය බවය.

චාවකච්චේරි ප්‍රදේශයේ සිට ඡන්ද මධ්‍යස්ථානවලට ආබාධිත පුද්ගලයන් රැගෙන එමින් සිටි වෑන් රථ රියදුරෙකුට ද යතුරැ පැදි 3කින් පැමිණී සන්නද්ධ පිරිසක් පහර දී ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ එම වෑන් රථයේ රියදුරා යාපනය රෝහලට අතුලත් කළ බව අපට වාර්තා විය.

පාර්ලිමේන්තු මංත්‍රී මාවෙයි සේනාධිරාජා, බුද්ධී අංශ සාමාජිකයෙකු පොලීසියට බාර දෙයි

Mavai [බුද්ධි අංශයේ යැයි සැක කළ පුද්ගලයෙක් පොලිසීයට බාර දෙන පා.ම. සේනාධිරාජා]

තෙල්ලිපලෙයි, කල්ලන්කරට්ටි ප්‍රදේශයේ දී බුද්ධී අංශ යැයි සැක කළ අයෙක් මංත්‍රීවරයා විසින් පොලීසියට බාර දී තිබේ. මොහු මංත්‍රීවරයාට හසු වී තිබෙන්නේ මංත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කරන, ඡන්ද මධ්‍යස්ථානය අසල රහසිගතව, සැගවෙමින් සිටිය දී ය.
හොරට ගැසූ උදයන් පුවත් පතක් යාපනයේ දී බෙදයි

DSC_0348

අද උදෑසන ව්‍යාජ ලෙස සැකසූ පිටු 4කින් සමන්විත උදයන් පුවත්පතට සමාන පුවත් පතක් යාපනයේ ප්‍රදේශවල කිසියම් පිරිසක් විසින් බෙදා හැර තිබේ. එහි සදහන් වන්නේ ‘අපේක්ෂිකා ආනන්දි ආණ්ඩුවට එක්වෙයි. තමිල් අරසු පක්ෂය මැතිවරණය වර්ජනය කරයි, සිතා බලා ඡන්දය ප්‍රකාශ කරන්න – මාවෙයි සේනාධි ඉල්ලයි‘ යනුවෙන් ජනයා නොමග යවමින් එම ප්‍රකාශණය බෙදා හැර තිබේ.

ටී.එන්.ඒ. ට විරැද්ධව පෝස්ටර් ව්‍යාපාරයක්

උතුරේ ඡන්දය පැවැත්වෙන අද(21) දිනයේ යාපනය නගරයෙන් පිටත බොහෝ ස්ථානවල දෙමළ ජාතික සංධානයට සහ එහි මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරම් මහතාට විරැද්ධව පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කර ඇති බව දක්නට ලැබිණි. එසේම යාපනය නගරයෙන් පිටත බොහෝ ඡන්ද පොළවල් අසල සහ ඇතැම් ග්‍රාම නිළධාරීන්ගේ කාර්යාල අසලද මෙම පෝස්ටර් අලවා තිබූ අතර ඒවා ඉවත් කිරීමට ආදාළ බළධාරීන් ඡන්දය අවසන් වන තෙක් කිසිදු උත්සහයක් නොගත් බව අපට නිරීක්ෂණය විය.

DSC_0328

DSC_0332

IMG_0059 [21 September 2013 | 03.42pm | වරණි මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට, කරම්පයිකච්චි, ග්‍රාම නිළධාරි මහතාගේ නිවස ඉදිරිපිට]

එම පොස්ටරයේ සදහන් වූයේ ‘දෙවතාවක් සිතා බලන්න, තවත් යුද්ධයකට යන්න ඔයගොල්ලන් සූදානම් ද, දෙමළ ජාතික සංධානයට ද ඔබේ ඡන්දය?‘ යනුවෙන් එම පෝස්ටරයේ සදහන් විය.(පරිවර්තනයකි) එසේම තවත් පෝස්ටරයක විග්නේශ්වරම් මහතා සිය පවුලේ සාමාජිකයන් සමග සිටින පොස්ටරයක් ද අලවා ඇති අතර එහිද මෙයට සමාන අදහස් ප්‍රකාශණය විය.

යාපනය නගරයෙන් පිටත අලවා ඇති මෙම පෝස්ටර් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡායාරෑපයක් සහිත සංධානයට ඡන්දය දෙන ලෙස අගවමින් පෝස්ටරයකුත් ඒ පෝස්ටර් මධ්‍යයේම අලවා තිබීම විශේෂයකි.

‘විකල්ප‘ වෙබ් අඩවියේ, මාධ්‍ය කණ්ඩායම, යාපනයේ සිට…