යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව සමාජ මාධ්‍ය ශුද්ධවන්තයන් ලෙස පෙනී සිටින්නන් එකිනෙකා පරයා පෝස්ට් දැමූවේ තරගයකට මෙනි.

එම තත්ත්වය තුළ ද මැයි 18වනදා මුල්ලිවෛක්කාල් වෙරළ තීරයට රැස්වූ සිය ගණනක් මිනිසුන්, මරා දැමූ සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දල්වා නිහඩව ‘යුක්තිය’ ප්‍රාර්ථනා කළේය. ඒ කිසිවක් රාජිත ඇමතිවරයාගේ කතාවට රණහඩ දුන් දකුණේ මාධ්‍ය වීරයන්ට මෙන්ම සමාජ මාධ්‍ය ශුද්ධවන්තයන්ට ද පෙනුනේ නැත.

මුල්ලිවෛක්කාල් වෙරළ තීරයේ නිහඩ සිහිකිරීම් නොදුටු ඇතැමුන් එක් දෙයක් දුටුවෝය. එනම්, මුල්ලිවෛක්කාල් සිහිකිරීමට පැමිණි පිරිස සදහා සිසිල් බීම දන්සැල් සංවිධානය කරන හමුදාවය. ඉන් පසුව ඇරඹුනේ ඒ පිළිබදව වන සටහන්ය. ‘බලාපල්ලා අපේ හමුදාව’, ‘ජාතිවාදීන් බලාපල්ලා’ ‘මෙන්න ගුණකරුක හමුදාව’ වැනි හමුදාවේ ‘දන්සැල’ උත්කර්ෂයට නංවමින් නැවත වටයකින් ලියැවෙන්නට පටන් ගත්තේ ය.

සිවිල් වැසියන් ඝාතනය නොවුනා යැයි තර්ක කරමින් ලියන, කියන දකුණේ වීර මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, හමුදාව විසින් මුල්ලිවෛක්කාල් හී වැස්සේ තෙමි තෙමී සිසිල් බීම දුන්නේ යුද්ධයේදී මරා දැමූ සිය සමීපතමයින් සිහිකර එන මිනිසුන්ට බව හැගුනේ නැත.

ප්‍රශ්ණය එයම නොවේ. තවමත් මිනිසුන්ගේ ඉඩම්වල වාඩිලාගෙන සිටින හමුදාව, තවමත් එළෙසම හමුදා කදවුරු පවත්වාගෙන යන හමුදාව, ‘හමුදා බිස්නස්’ තවමත් කරන හමුදාව, මළවුන්ගේ සොහොන් පවා බුල්ඩොසර් කළ හමුදාව, ‘අපි ලග එහෙම ලිස්ට් එකක් නැහැ’ කිලිනොච්චිවලදී හමුදාවට බාර දුන් සිය සමීපතමයින් ගැන විමසු විට පිළිතුරු දුන් හමුදාව, ඇත්තටම මුල්ලිවෛක්කාල් හී මරා දැමූවන් සිහිකිරීමට පැමිණි මිනිසුන්ට දන්සැල් දුන්නේ අයි?

ලංකාවේ සිදුකල යුද්ධය අහිංසක නැති බව කවුරුත් දන්නේය. එයිනුත් ශ්‍රි ලංකා හමුදාවෝ එය හොදින්ම දන්නේය. වෙඩි තැබූ, වෙඩි වැදුනු ආදී බොහෝ තැන් ඔවුන් නොදන්නේ නොවේ. අනෙක් පසින් වෙඩි තබා හෝ මොනයම් ක්‍රමයකින් මිනිසෙක් ඝාතනය කිරීම, මිනිසෙක්ට එතරම් පහසු කාර්යයක් නොවේ. ඝාතනය කිරීමට සදහා විවිධ ක්‍රම මගින් මණස සකස් කිරීම සිදුකලත් පසුව එය නැවත වටයකින් ඝාතකයා ගේ මණස තුළ ඒ ඝාතනයන් මතකයට ඒම වැලැක්විය නොහැකිය.

විශේෂයෙන් ආයුද රහිත මිනිසුන් තමන්ගේ දෙපා අබියස ඝාතනයට ලක්වීම වැනි කෘරර සිදුවීමක්, යටත් වූවන් දූෂණයට ලක්වීමක්, ළමුන් ඝාතනය කිරීමක් ආදී බොහෝ දේ අදාල පුද්ගලයා තුළ නිරන්තරයෙන් ම ඔහුගේ මනස හි නැවත නැවතත් චිත්‍රණය වීම වැලැක්විය නොහැකියි. එවිට ඒ මතකයන්ගෙන් ගැලවීම/මිදීම පහසු කටයුත්තක් නොවේ. මේ තත්ත්වය ‘ක්ෂතිමය අත්දැකීමක්’/ Traumatic Experience බව විද්‍යාර්තයන් පවසන්නේ එබැවිනි.

‘මට ගෙදර ආපුවාම නින්ද යන්නේ නෑ හලෝ’ 2007 වර්ෂයේ ඥාති සොහොයුරෙක් කිවේය. ඒ ඔහුට සෑම විටම ගෙදර ආ විගස යුද්ධයේ බිහිසුණු ක්‍රියාවන් මතකයට නැගෙන බව ඔහු කීවේය. මෙය සරලව කිවහොත්, උතුරේ ප්‍රශ්ණය මිලිටරි ලෙස විසදන ලද්දේ විශාල මිනිස් සමූහයකගේ මළකදන් මතින් බව දකුණේ සිංහල මිනිසා හොදින්ම දන්නේය. මේ නිසා ඒ පීඩාකාරී, කම්පනිත නැතිනම් වරදකාරී හැගීමෙන් නිදහස් වීම සදහා දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ක්‍රියාවන් ඔවුන් විසින් සිදුකරයි

එකක් නම්, ‘නෑ අපි එහෙම දෙයක් සිදුකළේ නැහැ’ යන්න හැකි තරම් සමාජගත කරමින් එය උත්කර්ශයට නංවමින් කිසියම් මානසික සුවයක් ලගා කර ගැනීමට උත්සහ කිරීමයි. ඒත් සමග අතීත වීරක්‍රියා උත්කර්ශයට නංවමින්ම ‘අපේ ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්’ ‘අපේ රජවරුන් මෙසේයි’ ‘අපිට 2500ක ඉතිහාසයක් තියනවා’.. වැනි මනෝමය තත්ත්වයන් ද ඉදිරියට දමමින් එය මානසිකව වෙනස් කරගැනීමකට උත්සහ දරයි. (2009 මැයි 19න් පසු හමුදා නායකයෝ සහ රාජපක්ෂලා මේ ක්‍රමය යම් පමණකට අත්හදා බැලුවේය. පසුගිය දා කැළනියේ පැවති ‘විරුවන් සැමරුමේදී’ කමල් ගුණත්න ද එවැනි අදහසක් ප්‍රකාශ කළේය)

හිංසාව, ඝාතනය සම්පූර්ණයෙන් පිටුදකින කිසියම් ආගමික භාවිතාවක් සිය දෛනික කටයුතුවලට ඉතා සෘජු ලෙස සම්බන්ධ කර ගැනීම තවත් එක් ක්‍රමයකි.( උතුරේ සෑම හමුදා කදවුරක් ඉදිරියේම ඉතාමත් අලංකාරව තැනූ බුදු මැදුරු, ඇතැම් විට පංසල්, රජමහා විහාරවල නම් යෙදු විශාල පිළිම ආදිය ද දැකිය හැකිය. ඒ එයට උදාහරණය.) කිසිදු බෞද්ධයෙක් නැති ඒ ප්‍රදේශවල තමන් ම තැනූ පංසල්/බුදුමැදුරු තුළ තමන්ම සුදු වතින් සැරසී සිල් ගන්නා ආකාරයත්, බුදුන් වන්දනා කරන ආකාරයත් අද ද නිරීක්ෂණය කළ හැකිය

තවත් ක්‍රමයක් නම්, තමන් විසින් පීඩාවට පත්ව කිසියම් පුද්ගලයෙක්, සමාජයක් සමග සුහද, මිතුරු, සම්බන්ධයක් පවත්වා ගැනීමට හැම විටම උත්සහා ගැනීමයි. පසුගිය වසර කිහිපය තුළ උතුරේ හමුදාවේ ක්‍රියාකාරකම් බලන්න. පෙර පාසල්වලට තැගී දීම, පාසල් ළමුන්ට තෑගි දීම, වෘත්තිය පුහුණු පැවැත්වීම, ශ්‍රමදාන පැවැත්වීම, අවුරුදු උළෙලවල් පැවැත්වීම, තොරණ් ගැසීම, බක්ති ගීත ගායනා කිරීම, කෝවිල්වලට සිමෙන්ති ලබාදීම, පැළ බෙදා දීම ආදී බොහෝ දේවල් සිදුකලේය. (මෙයින් බොහෝ දේවල් රාජ්‍යයේ පරිපාලන නිළධාරීන් විසින් කළ යුතු දේවල්ය. නමුත් උතුරේ පරිපාලන දේවල් බොහොමයක් කරන්නේ හමුදාවය. ඒ ඇයි?)

#MAY18 | මැයි 18 හමුදාව දුන් ‘දන්සැලත්’ එැවන්නකි.

මේ සියලු දේවල් වලින් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව බලාපොරොත්තු වන්නේ සිය ස්ව-පීඩනයෙන්/ අභ්‍යන්තර වරදකාරී හැගීමෙන් මිදීමය. එය තේරුම් ගැනීමට පහසුම ස්ථානය මුල්ලිවෛක්කාල් වල හමුදාව දුන් දංසැලයි. මුල්ලිවෛක්කාල් වල නිරාහාරව මහපොළව බදාගෙන අතදරුවා සිට මහල්ලා දක්වා මිය ගියේය. මුල්ලිවෛක්කාල් සංහාරයට ගොදුරු කළ සියලු දෙනා මරා දැමුවේය. ඒ බව ශ්‍රි ලංකා හමුදාවෝ හොදින්ම දන්නේය. ඒ දන්නා ‘ඇත්ත’ සිහිකරමින් එන මිනිසුන්ට සිසිල් පැන් දී හමුදාවෝ සිය ‘ක්ෂතිමය අත්දැකීමෙන්’ මදකට හෝ නිදහස් වීමට ගත් උත්සහයක් ලෙස දංසැල අර්තකතනය කළ හැකි වන්නේ එබැවිනි.

මේ අදහසට සුපුරුදු උදාහරණයක් නැවත සටහන් කරමි.

අප කවුරුත් දන්නා දුටුගැමුණු රජ පිළිබදව වන ඉතිහාස කතාවයි. එනම්, ඉතාමත් දැහැමි, සාමකාමී රජෙක් වූ කාවන්තිස්ස රජුට උපන් හික්මීමක් නැති පුතෙක් ලෙස ඉතිහාස රචකයා විසින් නම් ලද දුටුගැමුණු ගේ නමතුළම එය සටහන් වන බව කියැවෙයි. එනම් දුටුගැමුණු යනු ‘දුෂ්ට ගාමිණි’ බවය. ඔහු කෙතරම් අශ්ලීල පුතෙකු වුවා ද යත් සිය පියා බියගුලු යැයි පවසා, සිය පියාට ස්ත්‍රින්ගේ යට ඇදුම් පවා ඒවීමට පසුබට නොවිය. පසුගිය කාලයේ සමහරෙක් මහින්ද රාජපක්ෂට කිසියම් නෑදෑකමක් ඇති බව කිවේද එැවැනි අශිෂ්ට, අශීලාචාර රජෙක් බව නැවත වරක් සිහිපත් කරගනු වටී. මේ අශීලාචර දුටුගැමුණු පසු කලේක අපේ මහා වීරයෙක් බවට ‘මහා සිංහලේ වංශකතාවේත්’ දේශපාලන වේදිකාවලත් උත්කර්ශයට නංවනු ලබන ලද්දේය, පසුව, මේ දුෂ්ට ගාමිණී හෙවත් දුටුගැමුණු ලංකාව එක්සේසත් කරනු වස් දෙමළ සේනාවන් සමග යුද වැදුනු බවත්, ඒ යුද්ධයේදී ‘සතුරන්’ විශාල ප්‍රමාණයක් මියැදුනු බවත් ඉතිහාසයේ ලියැවී ඇති බව පැවසෙයි.

ඒ ඝාතනයන්ගේ ප්‍රමාණය කෙසේ ද යත්, දුටුගැමුණුට රාත්‍රියට නින්දට ගිය පසු, යුද්ධයේදී සිදුකළ මිනිස් සංහාරයන්ගේ දර්ශණ මැවී පෙනෙන්නට විය. මිනිසුන් මැරී වැටෙන අයුරු, මිනිසුන් ගිනිගන්නා අයුරු ආදී බියකරු සිහින ඔහුට නිරන්තරයෙන් මැවෙන්නට විය. ඒ නිසා ඒ පව්කාර ක්‍රියාවෙන් යම් පමණකට හෝ සැනසීමට රුවන්වැලි මහා සෑය ප්‍රමුඛ වෙහෙර කරවූ බව කියැවෙයි. එපමණක් නොව මිරිසවැටිය මහසෑය කරවා, ලක්ෂයක් භික්ෂූන්ටත් අනූදහසක් භික්ෂුණීන්ටත් සතියක් මහදන් දුන් බවට ඉතිහාස කතා කරුවා කියයි. කෙසේ නමුත් රුවන්වැලිසෑය සාදා නිම කිරීමට පෙර දුටුගැමුණු රෝගාතුර විය. නමුත් ඔහුගේ ‘ආශාව’ වී ඇත්තේ වැඩ අවසන් වූ දාගැබට වන්දනා කර සිය අවසන් හුස්ම හෙළිමයි. මේ බව දන්නා දුටුගැමුනුගේ සොයුරු සද්ධාතිස්ස රජු වැඩ අවසන් නොකර තිබූ දාගැබ වටා සුදු රෙදි ඔතා නිම කරන ලද දාගැබ සේ දුටුගැමුණුට පෙන්වන ලදි. සත්‍ය වශයෙන්ම තමා විසින් ඉදිකර නිමවා ලූ රුවන්වැලි මහා සෑය යයි සිතා එයට වන්දනා කරමින් ඒ දෙස බලා දුටුගැමුණු අවසන් හුස්ම හෙළන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි. (මේ පිළිබද එක් ඓතිහාසික සටහනක මෙසේ දැක්වෙයි. ‘දුටු ගැමුණු වෙනත් අයට වඩා වෙනස් මගක් ගෙන මියගිය එළාර රජුට පූජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන් ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීරිතිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දි ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගාණක් ජීවිත විනාශ වු හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව ඔහු විසින් කළා ගේ සැළකෙන ස්ථුප, විහාර ආරාම, පුජනීය ස්ථාන ඇතුලු අප්‍රමාණ වු ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.’)

එබැවින් එයින් ප්‍රධාන තැනක් ගන්නා රුවන්වැලි මහා සෑය යනු දුටුගැමුණු සිදුකල මහා මිනිස් සංහාරය නම් ‘පාපයේ” විශාල බවේ සංඛේතයයි. එම නිසා රුවන්වැලි සෑය ඉදිරියේ ඒ දෙස බලා ගෙන අවසන් හුස්ම හෙලීමට තරම් කිසියම් ‘හෘදසාක්ෂියක්’ යුද්ධයේ කෘරරත්වය මෙනෙහි වූ දුටුගැමුණුට තිබුණා විය හැකිය. ඔහු සිදුකල පාපකර්මයෙන් යම්තාක් හෝ මිදීමට රුවන්වැලි මහා සෑය සෑදූවත් වසර 30ක් අප විසින් සිදුකළ පාප කර්මයට රුවන්වැලි මහා සෑයවල් කීයක් සෑදිය යුතුදැයි අප කල්පනා කළ යුතුය.

එසේ නැතිව ඝාතක බිමක් වූ මුල්ලිවෛක්කාල් සිහිකිරීමට, දකුණේ බහුතර සිංහලයා විරුද්ධ වන විට උතුරේ හමුදාව එම සිහිකිරීමට එන දෙමල මිනිසුන්ට ‘දංසැල්’ දෙන්නේ ඇයි? මේ සටහන ගැඹුරින් නොකියවන පාඨකයා තමන්ගෙන්ම අසා ගන්නා ලෙස අවසන යෝජනා කරමි.

නමුත් අප විශේෂ එක් දෙයක් සිහි තබා ගත යුතුය. ලංකා හමුදාවෝ සිය වරදකාරී, ක්ෂිතිමය අත්දැකීමෙන් මිදීමට ගන්නා බොහෝ උත්සහායන් නැවත වටයකින් උතුරේ මිනිසාගේ නිදහස අහිමි කරන තත්ත්වයකට පත්ව තිබීමයි. උතුරේ මිනිසාගේ ගෞරවය සහ අභිමානය පහත හෙළන තත්ත්වයකට පත්ව තිබීමයි. එයිනුත් අද ද ගොදුරු බවට පත්ව ඇත්තේ ඒ උතුරේ මිනිසාමය. එබැවින් ‘යහපාලකයන්’ විසින් සිදු කල යුත්තේ හමුදාව සිසිල් පැන් දීම උත්කර්ෂයට නංවනවා වෙනුවට, උතුරේ සියලු මිනිසුන්ගේ ඉඩම්වලින් සිය හමුදාව ඉවත්කර ගැනීමය. උතුරේ මිනිසාගේ නිදහසට බාධාකරන හමුදා කදවුරු ඉවත් කර ගැනීමය. අතුරුදන් කරනු ලැබූ මෙන්ම යුද්ධ අවසානයේ හමුදාවට බාර දුන් දරුවන් පිළිබද ‘සත්‍ය’ පැවසීම වැනි ‘ශිෂ්ටත්වය දෙසට’ යොමුවන දේවල් සිදු කිරීමය. අවසන මුල්ලිවෛක්කාල් හී මූලික ඉල්ලීමක් වූ ‘යුක්තිය’ ලබා දීම සදහා මූලිකත්වය දීමය.

‘සිසිල් පැන්” වෙනුවට ‘යුක්තිය’ ලබා දීමය…