“උතුරේ  උනත් දකුණේ  උනත් හදවත්  දිනාගන්න යුද්ධයට අපි කවුරුත් අවතීර්ණ වෙලා නෑ. යුද්ධයෙන් අවුරුදු 9 කට පස්සෙත් මිනිසුන්ට සාධාරණ ඉටු කරන්න අපිට හැකි වෙලා නෑ. ඒ ගැන ඇත්තටම ලොකු සංවේගයක් මට ඇතිවුණා”

“හදවතේ කකියන හැගිම් ඉතුරුවෙච්ච කොටසක් තවම ජිවත් වෙනවා කියන එක දැනුනා. යුද්ධෙකින් දිනපු කොටසකුත් නෑ. හැමෝම පරාජිත වෙලා”

 

මේ මාතර දී යුක්තිය වෙනුවෙන් ආ මිනිසුන්ගේ හඬ ය. ඔවුන්ගේ හෘදය සාක්ෂින්ය. විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන සුවිශේෂි ඡායාරූප ප්‍රදර්ශනය #UNFRAMED පසුගිය අගෝස්තු මස 8 සහ 9 යන දෙදින පුරා උදෑසන 9 සිට සවස 6 දක්වා මාතර නුපේ සණස ශාලාවේදී පැවැත්වුණි. ජනවාරි මස අගදී කොළඹ දී ප්‍රථම වරට පැවැත්වූ ප්‍රදර්ශනයෙන් අනතුරුව ප්‍රාදේශීව පවත්වනු ලැබු දෙවන ප්‍රදර්ශනය මාතර දී වන අතර මිට පෙර අප්‍රේල් මස දී මීගමුවේදී පළමු ප්‍රාදේශීය ප්‍රදර්ශනය පැවැත්විණි.

මාතර ##UNFRAMED ප්‍රදර්ශනය සඳහා සංවිධාන ශක්තිය ලබා දෙනු ලැබුයේ ” VOICE OF MATARA ” සංවිධානය වන අතර මාතර හා ගාල්ල ප්‍රදේශය නියෝජනය කරන සමාජ ක්‍රියාකාරීන් හා ක්‍රියාකාරිනියන්, විකල්ප පාඨකයන් විශාල පිරිසක් ඒ සඳහා අප වෙත තම සහයෝගය ලබාදෙන ලදී.

2009 සිට 2017 දක්වා පශ්චාත් යුධ ශ්‍රී ලංකාව තුළදී උතුරේ හා දකුණේ ජනතාවට මුහුණදීමට සිදු වූ සුවිශේෂි තත්වයන් ඡායාරූප ඔස්සේ ආවර්ජනය කෙරෙන මෙම ප්‍රදර්ශනය තුළදී

1. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම් ( උතුර/ දකුණ)
2. ඉඩම් අත්පත්කර ගැනීම් ( උතුර /දකුණ)
3.අභ්‍යන්තර අවතැන් වූවන් ( IDP -උතුර)
4.මාධ්‍ය මර්දනය ( උතුර/දකුණ)
5.යුධ සංචාරක ප්‍රවණතා (උතුර)
6. දෙමළ දේශපාලන සිරකරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීම
7.මැයි 18 යුධ ජයග්‍රහණයෙන් එපිටට මිය ගිය වුවන් සිහි කිරීම (උතුර)
8. වසර 150 කට පසු “සිලෝන් ටී ” නොදුටු ජිවිත   දැකගන්නට ලැබේ.

විශේෂයෙන්ම වසර 10 ක් පුරා ලංකාවේ වෙබ් මාධ්‍ය තුළ සිංහල භාෂාවෙන් හරවත් හා ආචාරධර්මික රාමුවක පිහිටමින් යුක්තිය,ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිදියාව, සංක්‍රාන්ති යුක්තිය,සමානාත්මතාවය, නිදහස වෙනුවෙන් වන සමාජ, දේශපාලන කතිකාව සඳහා වන අවකාශය හා සංවාදය ගොඩනැගිමට විකල්ප සමත් විය. රාජ්‍ය ප්‍රශ්න කරමින් සෑම විටම පොදු ජනතාව වෙනුවෙන් වන හඬ සමාජ ගත කරන්නට විකල්ප වෙබ් අඩවිය වෙහෙසී ඇත.

 

දකුණේ බහුතර සිංහල සමාජය තවමත් අසංවේදී හා අත්‍යවශෙන්ම අමතක කර දැමීමට තැත් කරන උතුරේ දෙමළ ජනතාවගේ නොවිසුදුණු ගැටලුව වෙනුවෙන් වන සංවේදී බව මෙම සුවිශේෂි ඡායාරූප හරහා ප්‍රාදේශීය මට්ටම දක්වා ගෙන ඒම සම්බන්ධයෙන් විකල්ප වෙත දෙයාකාර ප්‍රතිචාර මෙවර ප්‍රදර්ශනය තුළ දී අත්විදීමට අවස්ථාව ලැබුණි.

” ඇයි මේක කරන්නේ?”
” ඔයාලට මේක කරලා ලැබෙන්නේ මොනවද ”
” ඔක්කොම තියෙන්නේ දෙමළ ඒවා වගේ නේ” මේ පැමිණි ඇතැමෙකු නැගු ප්‍රශ්නය.

ඒ අතර මෙවන් ප්‍රතිචාරද ලැබුණි.

“යුද්ධයේ අපි හැමදාම දකින දේ නොදකින දේ අද දකින්න ලැබුණේ හරහා ”  

 

මෙම මිශ්‍ර ප්‍රතිචාරය වඩ වඩාත් තහවුරු කරනු ලැබුයේ අප ප්‍රදර්ශනය තව දුරටත් ජනයා අතරට යාමේ අවශ්‍යතාවයයි. අනෙක් අතට ශ්‍රී ලාංකිකයින් යුද්ධයෙන් වසර 9 කට පසුත් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියකට තවමත් මානසිකව හෝ ශාරීරිකව සුදානම් නොමැති බවය.

 

ප්‍රදර්ශනය තුළදී ඉස්මතු වූ වඩා වැදගත්ම කාරණය නම් යුද්ධයේ වීරත්වය මිස එහි නෂ්ඨාවශේෂ විසින් මිනිසුන් වෙත ඉතිරි කර ගොස් ඇති නොවිසුදුණු ජිවිත යාතාර්ථ හා රිදුම් දකින්නට, ඒවා විවේක බුද්ධියෙන් ආමන්ත්‍රණය කිරීමට දකුණේ ජනයාට ඇති මැලිකම හා රාජ්‍ය විසින් එකී මැලිකම තවදුරටත් පෝෂණය කිරීම නිසාම ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහසට ඇති විය හැකි තර්ජනය හදුනා ගැනීමේ අවශ්‍යතාවය කෙතරම් බරපතල එකක් ද යන්නය.

දින දෙකක් පුරා මාතර දී පැවති ප්‍රදර්ශනය නැරඹීමට විවිධ ආගමික නායකයින්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, සාහිත්‍යවේදීන්, ලේඛකයින්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්,ශිෂ්‍යන් පැමිණි අතර එහිදී දැක්වූ අදහස් හා ප්‍රතිචාර සඳහා පිවිසෙන්න.

එසේම දැන් #UNFRAMED ප්‍රදර්ශනයට සමගාමිව එහි අන්තර්ගත සුවිශේෂි ඡායාරූප අඩංගු කරමින් සකසන ලද වෙබ් අඩවිය “Unframedsl” වෙත පිවිසීමෙන්ද මෙම ඡායාරූප නැරඹීමට ඔබට හැකිය.

 

 

මීළඟ #UNFRAMED : පශ්චාත් යුධ ශ්‍රී ලංකාව යුක්තිය හා ජීවිතය වෙනුවෙන් වන ප්‍රදර්ශනයේ මීළඟ අදියර මෙමස අගදී අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් අතර ඒ පිලිබඳ තොරතුරු ළඟදීම විකල්ප පාඨක ඔබ වෙත දැනුම් දීමට අපි බලාපොරොත්තු වෙමු.