Colombo, Constitutional Reform, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

ඇමෙරිකන් යෝජනාව | “රාජපක්ෂට ගෙදර වැඩ ටික පිළිවෙලක් කර ගැනීම සඳහා වැඩි පුර කාලයක් ලබා දීමක්.”

[ශ්‍රී ලංකාවට සහ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වන ඇමෙරිකන් යෝජනාව]

පසුගිය වසරේ ඇමරිකාව ඉදිරිපත් කල යෝජනාවලියට විරැද්ධව කොළඹදී පැවති උද්ඝෝෂණයන්| Image: Vikalpa file
පසුගිය වසරේ ඇමරිකාව ඉදිරිපත් කල යෝජනාවලියට විරැද්ධව කොළඹදී පැවති උද්ඝෝෂණයන් | Image: Vikalpa file

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත්ව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එහි වගවීමට බැඳී සිටීමට අදාළව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 24 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාව දැන් සංසරණය වෙමින් පවතින අතර ඉන්දියානු රූපවාහිනී චැනලයක් මගින් මා වෙත ලැබුණේ එහි නිල පිටපතක් නොවුනද බොහෝ විට සැබෑ එකම වීමට ඉඩ ඇතැයි යන විශ්වාසය මත මම මෙම ලිපිය තුළ එය විශ්ලේෂණයට ලක් කරමි.

පළමුවරට දකින යමක් මීට පෙර දැක ඇතැයි යනුවෙන් යමෙකු තුළ ඇතැම් විට ඇතිවන මායාවී හැඟීමට සමාන හැඟීමක් ඇමෙරිකානු යෝජනාව පිලිබඳව ද පහළ වේ. 2012 වසරේ මාර්තු වලදී ඉදිරිපත් කළ යෝජනාවේ පසු විපරමක් ලෙස “ක්‍රියා මාර්ගික” යෝජනාවක් ගෙන ඒම දක්වා එක්සත් ජනපදයේ සිදුව ඇති චලනය සම්බන්ධයෙන් බොහෝ වැදගත් පාර්ශවකරුවන්ගේ ප්‍රතිචාරය බොහෝ සෙයින් පෙර සේමය. කෙසේවුවද කොළඹින් මතුවන විරෝධතා කර්කෂ බවින් අඩුය.(නැතහොත් විරෝධතා දැක්වීමට තවමත් වේලාසන වැඩිවන්නට ඇත.) සමහර විට නිෂ්ක්‍රීයභාවයේ කර්මය පටිසන් දීමක් ලෙස හෝ හමුදාව තුළ අප පවසන පරිදි “යමක් වැළැක්විය නොහැකිනම්, මඳක් මුව විරිත්තා එය පිලිගනු !” යන්නට අනුගතවීමක් විය හැකිය.

මෙමගින් පෙන්නුම් කරනුයේ යුද අපරාධ චෝදනා පිළිබඳ ව කරන්නන් වාලේ සිදු කරන පරීක්ෂණයක් කිරීම සඳහා වන ශ්‍රි ලංකා රජයේ ආකල්පමය වෙනසක්ද? මම එය සැක කරමි. වර්තමාන චිත්‍රය තුළ එය සිදුවීමට නම් “ඌරන් පියෑඹිය යුතුය.!” හේතුව සරලය. එක්සත් ජනපදය විසින් නව ක්‍රියාමාර්ගයක් සඳහා අදහසක් ඉදිරිපත් කරන බවට කිසිදු සඥාවක් දී නැත. ඇත්තේ මීට පෙර ද පවසන ලද දේ ගැන පසු විපරමක් පමණි.

මා වෙත ලැබී ඇති, එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවේ පිටපත අනුව නම් එමගින් පවත්නා තත්ත්වයට කිසිදු තර්ජනයක් එල්ල නොවේ. එහෙත් එහි ශ්‍රි ලංකා රජය විසින් ඉටු නොකළ පොරොන්දුවල ලැයිස්තුව විචිත්‍ර ලෙස ඉදිරිපත් කර ඇත. එය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එල්ල කරන පීඩනය උත්සන්න කිරීමක් සිදු නොකරන අතරම කලින් යෝජනාව අනුව ක්‍රියාත්මක නොවීම පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු සාමූහික ක්‍රියාමාර්ගයක් ගැන අදහසක් ද ඉදිරිපත් කර නැත. එය විසින් සිදු කරනුයේ රාජපක්ෂට සිය ගෙදර වැඩ ටික පිළිවෙලක් කර ගැනීම සඳහා වැඩි පුර කාලයක් ලබා දීමය. “ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගකීමට බැඳී සිටීම ප්‍රවර්ධනය” යනුවෙන් එහි වන සිරස්තලය (පසුගිය වසරේ මාර්තුවේ ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ දී ඉදිරිපත් කර තිබූ ලෙසම) විසින් එක්සත් ජනපද ක්‍රියාමාර්ගයේ ස්වරය පෙන්නුම් කරයි. ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් හෝ බලහත්කාරී මැදිහත්වීමක් පිළිබඳව එහි නැත

ඇමෙරිකානු යෝජනාව විසින් සැළකිල්ලට ගනු ලබන කරුණු හරයෙන් මෙසේය.

# මානව අයිතීන් උල්ලංඝණය පිළිබඳ අඛණ්ඩව ලැබෙන වාර්තා, නීතියේ පාලනයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවන තර්ජන, ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට පළාත් සඳහා බලය බෙදීමක් සිදු කිරීමට ශ්‍රි ලංකා රජය අපොහොසත් වීම ඇතුළුව මහජනයා කෙරෙහි වන වගකීම් ඉටුකිරීමෙහිලා දක්වන අසමත්බව.

# නීතියෙන් පරිබාහිරව සිදු කරන ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන්කිරීම් පිළිබඳව එල්ල වී ඇති පුළුල් ලෙස ව්‍යාප්තව ඇති චෝදනා, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මිලිටරීහරණය, ඉඩම් ආරාවුල් විසඳීමේ අපක්ෂපාති යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිම, කලින් ස්වාධීනව පැවැති ආයතන ශක්තිමත් කරලීම, පළාත් සඳහා බලය බෙදා හැරීමට දේශපාලන විසඳුමක් කරා ළඟා වීම, සියලු දෙනා වෙනුවෙන් කතාකිරීමේ නිදහස තහවුරුකිරීම සහ ආරක්ෂා කිරීම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම යනාදි උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම් වාර්තාවේ නිගමනයන්, සංවර්ධානාත්මක නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලසුම ප්‍රමාණවත් නොවීම.


එය විසින් අනාගත ක්‍රියාමාර්ග සඳහා දිශානතියක් ද ඉදිරිපත් කර ඇත.

# උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ සංවර්ධනාත්මක නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් එමෙන් ම ඒ සඳහා අවශ්‍ය වන නීතිමය අවශ්‍යතා ඉටු කරලීමට අවශ්‍ය සියලු අතිරේක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, යුක්තිය, සමානාත්මතාව, වගකිමට බැඳී සිටීම, සහ සියලු ශ්‍රි ලාංකිකයන් සඳහා සංහිඳියාව ඇතිකිරිම සඳහා කැපවන ලෙසත් මීට කලින් සිදු කරන ලද ඉල්ලීම ම එය නැවතත් අවධාරණය කරයි.

# විශේෂිත කාර්යයන් සඳහා බලය ලත් නියෝජිතයන්ට, විශේෂයෙන්ම නීතිවේදීන් සහ විනිශ්චයකාරවරුන් ගේ ස්වාධිනත්වය පිලිබඳ විශේෂ නියෝජිතයන්ට, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට, ප්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ සහ රැස්වීමේ නිදහස පිලිබඳ විශේෂ නියෝජිතයන්ට, නීතිවීරෝධී සහ අත්තනෝමතික ඝාතන පිළිබඳ විශේෂ නියෝජිතයන්ට සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් පිළිබඳ විශේෂ නියෝජිතයන්ට, බලහත්කාරී අතුරුදන්කිරීම් පිළිබඳ කාර්ය කණ්ඩායමට, ස්ත්‍රීන්ට එරෙහි විෂම සැළකිළි පිලිබඳ විශේෂ නියෝජිතයන්ට, ආදි බාධාකිරීම්වලින් තොරව සිය කටයුතු කරගැනීම අවශ්‍ය ප්‍රවේශ මාර්ග සම්පාදනය කරන ලෙස මතුව ඇති දැඩි ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දක්වන ලෙස එය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

# ඉහත පියවර ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රි ලංකා රජය සමග සාකච්ඡා සහ එකඟතාවන් මගින් ශ්‍රි ලංකා රජයට අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික ආධාර ලබා දිම එය විසින් දිරිගන්වයි. එමෙන්ම ලබා දුන් සහයෝගය පිළිබඳව සහ සංහිඳියාව සහ වගකීමට බැඳී සිටීම යන කරුණුවලට අදාළව විශේෂයෙන්ම ශ්‍රි ලංකාව තුල ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය වීම් පිළිබඳව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය පිලිබඳව වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිලිබඳ කවුන්සිලයේ 25වන සැසිවාරය වෙත ඉදිරිපත් කරන ලෙසද එය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියි.

කරුණු එසේ හෙයින් එක්සත් ජනපද යෝජනාව වූ කලී 22වන සැසිවාරයට ඉදිරිපත් වූ යෝජනාවේ අඩංගු වූ නමුත් ඉටු නොවූ කාරණා ඉටු කිරීම සඳහා කෙරෙන තල්ලුවක් මිසෙක වැඩිමනත් යමක් නොවන බව පෙනී යයි. දේවල් සිදුවන්නේ එක්සත් ජාතින්ගේ පර්ෂද තුළ බැවින් මෙම යෝජනාවලිය මැද මාවතක් ඉදිරිපත් කරයි. එය ශ්‍රි ලංකාව විසින් ඉටුකරන ලද කාර්යයන්ගේ ප්‍රගතිය විමසා සිටින අතර ශ්‍රී ලංකාව විසින් කළ යුතුව ඇති දෑ ගැන එයට පවසයි. ශ්‍රි ලංකාව මීට පෙර ඉදිරිපත් වූ යෝජනාව සමග වාසය කර ඇත්නම් එයට මෙවර වියරු වැටීමට හේතුවක් නැත.

එහෙත් ශ්‍රි ලංකාව සිය අවධානයට යොමු කළ යුතු එක් කරුණක් ඇත. ඒ මෙවර ඉදිරිපත් කරන යෝජනා‍ව තරමක් හානිදායක බවය. සියලු දේ සාමාන්‍යකරණයට ලක්කරමින් මීට පෙර ඉදිරිපත් කරන ලද යෝජනාව මෙන් නොව, සන්සන්දනාත්මකව බලන කළ මෙවර, “වගකීමට බැඳී සිටීම” පිලිබඳව සිදුව ඇති අඩුපාඩු මඳක් විසිතුරු ලෙස ලැයිස්තුගත කර ඇත. මෙම යෝජනාව විසින් අභ්‍යන්තර පාලනය සහ පශ්චාත් යුද සංහිඳියාවට අදාළව ශ්‍රි ලංකාව විසින් දිගින් දිගටම දක්වන නොසැළකිල්ල ගැන පමණක් නොව ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් වැනි විශාල කාරණා පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවේ වර්ධනය වෙමින් පවතින නොසතුට අවධානයට යොමු කර ඇත. යුද අපරාධ මගින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කර ඇති අතර මෙම යෝජනාව මගින් ඔවුන්ට කෙරෙහි එල්ලවන ජාත්‍යන්තර පරීක්ෂණයකින් ගැලවීමට තිබූ රැකවරණය උදුරාගැනීමට තුඩුදෙන අවකාශයක් සම්පාදනය කර ඇත.

ඉන්දියානු පාර්ලිමේන්තුවේ ඊයේ මේ ගැන පැවැති සාකච්ඡාවන් අපේක්ෂා කළ මට්ටමින්ම සිදු විය. විරුද්ධ පක්ෂ, විශේෂයෙන් සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයත් ශ්‍රි ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණයන් නොසළකා හැරීම පිලිබඳව ඉන්දීය ආණ්ඩුව පතුරු ගසන අතර ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය ලෝකය පුරා වෙසෙන දෙමළ ජනයාගේ එකම ගැලවුම්කරු තමන් බව ඔප්පු කිරීමට යත්න දැරීය. විදේශ ඇමැති සල්මාන් කුර්ෂිඩ් ගේ කතාව ඇල්මැරුණු එකක් විය. ඔහු යුද අපරාධ සම්බන්ධයෙන් කතා කිරීම මගහැරියේය. නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීම මගින් බලය බෙදා හැරීම පිලිබඳ කාරණාවට අදාළව ඉන්දියාවේ අධිෂ්ඨානය ගැන අතිශයෝක්තියෙන් ගෙනහැර දැක්වීය.

නව අදහස්වලින් තොරවීම විසින් ශ්‍රි ලංකාවේ කෙරෙහි ඉන්දීය ප්‍රතිපත්තිය අදාළනොවන යථාර්ථයක් වෙත ඇද දමමින් සිටින බව දැකිය හැකිය. රාජපක්ෂ විසින් ව්‍යවස්ථාමය මෘතක්ලේබරාගාරයට යවන ලද 13වන සංශෝධනය ක්‍රියාත්මක කරවීමක් ගැන ඉන්දියාව තවමත් දොඩමින් සි‍ටී.

එක්සත් ජනපද යෝජනා විසින් නියත ලෙසම කොළඹ, කැලණිය හෝ පෝක් සමුද්‍රසන්ධිය ගිනි නොතබනු ඇත. එය ඉන්දියාව විසින් දැනටමත් ඡන්දය දී ඇති යෝජනාවේ පසු විපරමක් පමණි. මේ ගැන සැළකිල්ලට ගන්නා විට විදේශ ඇමැති කුර්ෂිඩ් එක්සත් ජාතීන්ගේ මානව හිමිනම් කවුන්සිලයේ දී ඉන්දියාවේ ඡන්දය දීම පිලිබදව නිහඬ වීම පුදුමය දනවන සුළුය. ඊට දින කීපයකට පෙර පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමැති නාරායනන්ස්වාමි ස්ථීරවම ප්‍රකාශ කළේ ඉන්දියාව එක්සත් ජනපද යෝජනාවට පක්ෂව ඡන්දය දෙනු ඇති බවය. එසේ නම් මීට හේතුව කුමක්ද?? සාවද්‍ය තොරතුරු මත පදනම්වීම ද නැතහොත් ව්‍යාකූල බවද?

ඇතැම් ‍සූදු කෙළින්නන් බොහෝවිට හුරුපුරුදුව ඇති පරිදි මෙය ඔවුන්ගේ කටයුත්තක් වන්නට ඉඩ තිබෙන මුත් ශ්‍රි ලංකාව සතුව ඒ වරප්‍රසාදය නැත. ලෝකය පුරා නැගෙමින් එන විරෝධතාවන් ශ්‍රි ලංකාව විසින් බැරූරුම් ලෙස සිය සැළකිල්ලට ගත යුතුව ඇත. ශ්‍රි ලංකා රජයේ සියලු ක්‍රියාමාර්ග ලෝකය පුරා සමීප විමර්ශනයට ලක්වෙමින් පවතින අතර ලොව පුරා ඒ ගැන අදහස් දැක්වෙයි. මෙවර විරෝධතාවන් පසුගිය වතාවන්ට වඩා මනා සම්බන්ධීකරණයක් සහිතව වේදිකා ගතවෙයි. චැනල් 4 වීඩියෝව නිකුත් කිරීම, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල වාර්තා, ‍ලෝකය පුරා ප්‍රධාන වැදගත් නගරවල සංවිධානය වන සිවිල් සමාජ විරෝධතා, විදේශගත දෙමළ ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන විරෝධතා, නව දිල්ලිය සහ ජීනීවා ඇතුළු වැදගත් නගරවල සිදුවන සිදුවන දේශපාලනික හමුවීම් ආදිය ඒ අතර වෙයි.

මෙය ඔවුන් අස්ථාවර කිරීම සඳහා වන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවට ශ්‍රි ලංකාව කරමින් සිටින ප්‍රකාශ කුමක් වුවද, එය විසින් තමන්ගේ වැඩ රටාව වෙනස් කර ගනු නොලබන්නේ නම් තත්ත්වය වඩාත් අයහපත් වනු ඇත. ඔවුන්ට එරෙහිව නැගෙන හඬ වඩාත් කඨෝර වනු ඇත. විරෝධතාවන් වඩාත් දැවැන්ත වනු ඇත. රජය සහ එහි බලධාරින් ලජ්ජාවට පත්වීම් සාමාන්‍යයක් වනු ඇත. මීට වසර තුනකට පෙර ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදි සංවිධානයකට එරෙහිව ජයග්‍රහණයේ කිරුළු පලන් ජාතියක් මෙම ත්ත්වයට පත්වීම කණගාටුදායකය.

ඇමිණුම:

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම යන කරුණු ප්‍රවර්ධනය කරනු සඳහා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය.

මානව හිමිකම් කවුන්සිලය,

එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් සහ අනෙකුත් අදාළ නෛතික ප්‍රතිපාදනයන්ට අනුව සකස්කරන ලදි.

# මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ලද, ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගකීමට බැඳී සිටීම පිලිබඳ 19/2 යෝජනාව යළි සිහිකැඳවමින්ද,

# මානව හිමිකම් සහ මූලික නිදහස භුක්ති විදිමට එහි සියලු ජනතාවන්ට ඇති අයිතිය තහවුරු කිරීමෙහිලා ශ්‍රී ලංකා රජයට ඇති වගකීම යළි අවධාරණය කරමින්ද,

# ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ (LLRC) නිගමනයන් සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද ජාතික ක්‍රියාකාරි සැලසුමද ඒ පිලිබඳව එහි කැපවීමද සැලකිල්ලට ගනිමින්ද,

# ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ (LLRC) සියලු නිර්දේශ සහ එහි සංවර්ධනාත්මක නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රියාකාරි සැලසුම ප්‍රමාණවත් ලෙස කටයුතු නොකර ඇති බව අවධානයට ගනිමින්ද

# නීතියෙන් පරිබාහිරව සිදු කරන ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන්කිරීම් පිළිබඳව පුළුල් ලෙස ව්‍යාප්තව ඇති චෝදනා සම්බන්ධයෙන් විශ්වාසනීය ලෙස පරීක්ෂණ සිදු කිරීම, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මිලිටරීහරණය, ඉඩම් ආරාවුල් විසඳීමේ අපක්ෂපාති යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිම, කලින් ස්වාධීනව පැවැති ආයතන ශක්තිමත් කරලීම, පළාත් සඳහා බලය බෙදා හැරීමට දේශපාලන විසඳුමක් කරා ළඟා වීම, සියලු දෙනා වෙනුවෙන් කතාකිරීමේ නිදහස තහවුරුකිරීම සහ ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම යනාදි උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම් වාර්තාවේ නිගමන සහ සංවර්ධානාත්මක නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිලිබඳව යළි සිහි කැඳවමින්ද,

# එමෙන්ම ජාතික ක්‍රියාකාරි සැලසුම සහ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් වාර්තාව විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත් විමක් සිදු කර නැති බව අවධානයට ගනිමින්ද,

# මානව අයිතීන් උල්ලංඝණය පිළිබඳ අඛණ්ඩව ලැබෙන වාර්තා, නීතියේ පාලනයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවන තර්ජන, ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට පළාත් සඳහා බලය බෙදීමක් සිදු කිරීමට ශ්‍රි ලංකා රජය අපොහොසත් වීම ඇතුළුව මහජනයා කෙරෙහි වන වගකීම් ඉටුකිරීමෙහිලා දක්වන අසමත්බව ආදිය සම්බන්ධයෙන් සැළකිල්ල ප්‍රකාශකරමින්ද,

1. මානව හිමිකම් පිළිබද එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් විසින් ශ්‍රි ලංකාවේ තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව ‍සාදරයෙන් පිළිගනියි.

2. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ සංවර්ධනාත්මක නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, එමෙන් ම ඒ සඳහා අවශ්‍ය වන නීතිමය අවශ්‍යතා ඉටු කරලීමට අවශ්‍ය සියලු අතිරේක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, යුක්තිය, සමානාත්මතාව, වගකිමට බැඳී සිටීම, සංහිඳියාව , සියලු ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් ඇතිකිරිමට ස්වාධීන සහ විශ්වාසනීය ක්‍රියාමාර්ග ගැනීමට කැපවන ලෙසත් මීට කලින් සිදු කරන ලද ඉල්ලීම නැවතත් අවධාරණය කරයි.

3. විශේෂිත කාර්යයන් සඳහා බලය ලත් ආයතනවලට, විශේෂයෙන්ම නීතිවේදීන් සහ විනිශ්චයකාරවරුන් ගේ ස්වාධිනත්වය පිලිබඳ විශේෂ නියෝජිතයන්ට, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට, ප්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ සහ රැස්වීමේ නිදහස පිලිබඳ විශේෂ නියෝජිතයන්ට, නීතිවීරෝධී සහ අත්තනෝමතික ඝාතන පිළිබඳ විශේෂ නියෝජිතයන්ට සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් පිළිබඳ විශේෂ නියෝජිතයන්ට , බලහත්කාරී අතුරුදන්කිරීම් පිළිබඳ කාර්ය කණ්ඩායමට, ස්ත්‍රීන්ට එරෙහි සැළකිළි පිලිබඳ විශේෂ නියෝජිතයන්ට, බාධාකිරීම්වලින් තොරව සිය කටයුතු කරගැනීම අවශ්‍ය ප්‍රවේශ මාර්ග සම්පාදනය කරන ලෙස මතුව ඇති දැඩි ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දක්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි

4. ඉහත පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රි ලංකා රජය සමග සාකච්ඡා මගින් ඇති කරගනු ලබන එකඟතාවන් ට අනුව අදාළ කාර්යයන් සදහා බලය ලත් නිලධාරින් ගේ සේවය ද අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික ආධාර ද ශ්‍රි ලංකා රජයට ලබා දීම සදහා මහකොමසාරිස් කාර්යාලය දිරිගන්වයි.

5. එමෙන්ම අදාළ බලය ලත් නියෝජිතයන්ගේ ඇතුළත්කිරීම් ද සහිතව එකී ආධාරවලට අදාළ විධිවිධාන ගැනද සහ සංහිඳියාව සහ ශ්‍රි ලංකාව තුල ජාත්‍යන්තර නීතිය උල්ලංඝණයවීම් ඇතුළු වගකීමට බැඳී සිටීම පිලිබඳ සිදුකරන පරීක්ෂණයන්ගේ ප්‍රගතිය ගැනද වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ 25වන සැසිවාරය වෙත ඉදිරිපත් කරන ලෙසද මානව හිමිකම් පිළිබදව එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියි.

කර්නල් හරිහරන් -දකුණු ආසියාතික විශ්ලේෂණ කණඩායම | Col. R. Hariharan

—————————————————————————————————————

දකුණු ආසියාව පිලිබඳ හමුදා බුද්ධි විශේෂඥයෙක් සේ සැළකෙන කර්නල් ආර්. හරිහරන් ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රි ලංකාව තුළ මෙහෙයුම් සිදු කරන විට එහි බුද්ධි අංශ ප්‍රධානියා ඔහු විය. චෙන්නායි හි පිහිටුවා ඇති චීනය පිලිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයට (Chennai Centre for China Studies) සහ දකුණු ආසියාතික විශ්ලේෂණ කණ්ඩායමට (South Asia Analysis Group) සම්බන්ධව ඔහු වර්තමානයේ කටයුතු කරයි. මාර්තු 01 වෙනිදා Sri Lanka: U.S. ‘Procedural’ resolution at UNHRC – Update No. 229 මැයෙන් ඔහු විසින් ලියන ලදුව South Asia Analysis Group වෙබ් අඩවියේ පළ වූ ලිපියේ සිංහල අනුවාදයයි.