Image : mashable.com/ GettyImages

මෙම ලිපියට මා පාදක කර ගන්නේ 2016 ජූනි 29 වන බදාදා දිවයින පුවත් පතේ “පිරිමි ගණිකාවන් නිසා ඒඩ්ස් අවදානම ඉහලට” යන හිසින් යුතුව පළවූ ලිපියයි. කෙසේ වුවත් මගේ අරමුණ වන්නේ ලිපිය ලියූ පුද්ගලයා චිවේචනය කිරීම නොවේ.

පිරිමි ගණිකාවන් ලෙස මෙම ලිපියේ හදුන්වා ඇත්තේ ලිපියේම දැක්වෙන ආකාරයට කාන්තාවන් බවට පත් වූ පිරිමින්ය. සාමාන්‍ය ව්‍යාවහාරයේ ඔවුන් හැදින්නේ වෙන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් නැත්නම් සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයන් ලෙසයි. එනම්, උපතේදී නිර්ණය කරන ලිංගික අවයවය වලට අනුරූපවන සමාජීය ස්ත්‍රී පුරුෂභාවයට වෙනස් අනන්‍යතාවයන් සහිත පුද්ගලයන්ය. තමන්ගේ අනන්‍යතාවයට අනුරූප වන ලෙස ලිංගික අවයව වෙනස් කර ගන්නා පුද්ගලයන් ද සිටිති. එවැනි පුද්ගලයන් සදහා නව හැදුනුම්පත් නිකුත් කිරීම ශ්‍රී ලංකා රජයෙන් ලබා දෙන සේවාවකි. ලිංගික අවයව වෙනස් නොකර හෝ අඩක් වෙනස් කර ගත් පුද්ගලයන් ද සිටිති. මෙම පුද්ගලයන්ගේ ලිංගික දිශානතිය හෝ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය, විෂම ලිංගික ස්ත්‍රී පුරුෂ නියමයන්ගෙන් මැනීම අපහසුය.

“පුද්ගලයන් ඔවුන් කරන දෙය හෝ ඔවුන්ව හදුන්වා ගන්නා ආකාරය සැම විටම වර්ගීකරණයන් සහ ලේබල තුළට ගොනු කිරීම අපහසු වේ. (අධ්‍යයනයට සම්බන්ධ) වූ සංචාරක මගපෙන්වන්නෙක් ඔහුව බීච් බෝයි(වෙරල මානවක) කාණ්ඩයෙන් හදුනා ගැනීම පිළිබද අමනාප විය. නමුත් යථාර්ථය වන්නේ ඇතැම් පුද්ගලයන් ලිංගික වෘත්තියේ නියැලෙමින්, පිරිමින් සමග ද ලිංගිකව හැසිරෙමින් සංචාරක මග පෙන්වන්නන් ලෙසද කටයුතු කිරීමයි. කොළඹ සිටින පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් ගේ කතාවද එසේමයි. ඇතැම්හු සංක්‍රාන්ති සමාජීය ස්ත්‍රී පුරුෂභාවයක් සහිත පුද්ගලයන් ලෙස හදුන්වා ගන්නා අතරම ලිංගික වෘත්තියේ යෙදෙන පිරිමින් ලෙසද හදුන්වා ගනිති.” මූලික ප්‍රජාවන් පිළිබද ඒකාබද්ධ ජීව විද්‍යාත්මක සහ චර්යා මුර කිරීමේ අධ්‍යයනය

සෑම සංක්‍රාන්ති පුද්ගලයෙකුම ලිංගික වෘත්තියේ නියැලෙන්නෙක් නොවේ. ඔවුන් නන් ආකාර සමාජීය ස්ත්‍රී පුරුෂ භාවයන්ට අනුගත වන්නේ ලිංගික වෘත්තියේ නියැලීමේ බලාපොරොත්තුවෙන්ම නොවේ. නමුත් ඇතැම් සංක්‍රාන්ති පුද්ගලයන් ලිංගික වෘත්තියේ නිරත වේ. ඇතැමෙක් කැමැත්තෙන් ලිංගික වෘත්තියේ යෙදෙනවා වන්නට පුළුවන. සමාජයේ ඔවුන් කෙරෙහි පවතින බහුආකාර කොන් කිරීම සහ වෙනස් කොටසැලකීම නිසා වෙනත් ආදායමක් සදහා ඇති අවස්ථාව අහිමි වීම තුළ ලිංගික වෘත්තිය තෝරා ගන්නවා ඇති. කෙසේ වුවත්, සමාජයේ පොදු වශයෙන් ඔවුන්ව හැදින්වෙන්නේ ලිංගික හැසිරීම් වලට වැඩියෙන් ආශා කරන, හර පද්ධතියක් නොමැති අසභ්‍ය පූද්ගලයන් කොට්ඨාශයක් ලෙසයි. එය සත්‍යයක් නොවේ.

අදාල පුවතට මුල් වී ඇත්තේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේ 2015 වාර්ෂික වාර්තාවේ සදහන් වන දත්තයි. එච්අයිවී(HIV) සම්ප්‍රේෂණය වූවා යැයි අනුමාන කළ හැකි කාණ්ඩ යටතේ පෙන්වා දී ඇති දත්ත අනුව එම වසරේ වාර්තා වූ සමස්ථ එච්අයිවී සිදුවීම් ගණනෙන් 37%ක් පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් අතරින් වාර්තා වී ඇත. 2014 එම ගණන 28%කි. මෙම වැඩි වීමට හේතු කිහිපයක් බලපෑ හැකිය. එච්අයිවී නිවාරණ වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් දැනුවත් වීම තුළ පරීක්ෂණ වලට වැඩි වශයෙන් යොමු වනවා විය හැකිය. පරීක්ෂණ වලට යොමු වීම අප ධෛර්යමත් කළ යුතු දෙයකි. එච්අයිවී සිදුවීම් ගණන වැඩි වූ පමණට ඔවුන් අනෙක් අයට එච්අයිවී සම්ප්‍රේෂණයක කිරීමේ තරගයක නිරත වී නැත.

ප්‍රවෘත්තියක් ලියද්දී, තමා ලියන දේ පිළිබදව හොද අවබෝධයක් නැති නම් ඒ පිළිබද කියවා බලා හොදින් අධ්‍යයනය කරන ප්‍රවෘත්තිය මහ ජනතාවට ඉදිරිපත් කළ යුතු සමබරම ආකාරයෙන් ඉදිරිපත් කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමකි. එච්අයිවී වාර්තාකරණයෙහිලා ජනමාධ්‍ය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය විසින් සකස් කර ඇති එච්අයිවී වාර්තාකරණය සදහා වූ මාර්ගොපදේශ දක්වා ඇත.

“එච්අයිවී සම්ප්‍රේෂණය වැළැක්වීම සදහා දැනුවත් භාවය ඉහල දැමීම සහ ජනතා මතය සංවිධානය කිරීම තුළ සහ එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් සහ ඉන් පීඩාවට පත් වූ පුද්ගලයන් කෙරෙහි ගෞරවයෙන් සලකන සංස්කෘතියක් ගොඩනැංවීම සදහා ජනමාධ්‍යයට ඉතා ප්‍රභල භූමිකාවක් ඇත.”
ආචාර ධර්ම සහ ස්වයං පාලනය අංක 3.සී.

ජනමාධ්‍ය, එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් පිළිබද වූ මිත්‍යා සහ ඒකාකෘති මග හැරීම හෝ අභියෝගයට ලක් කළ යුතුය.”

පිරිමින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් අතර වල ලිංගික හැසිරීම් ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම්ය. ලිංගික වෘත්තියේ යෙදීමද අයාලේ යාමේ පණත මගින් තහනම් කර ඇත. එච්අයිවී නිවාරණය තුළ ඔවුන් වැදගත් වන්නේ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්, ලිංගික සේවයේ නිරත වන පුද්ගලයන් සහ සංක්‍රාන්ති පුද්ගලයන් වැඩි අවදානමක් ඇති ප්‍රජාවන් ලෙස හදුනා ගන්නා නිසාය. නමුත් අපි ඔවුන් වෙත ලගා විය යුත්තේ කොන්ඩම් ලබා දීම සදහා පමණක්ද?

ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ, සංක්‍රාන්ති ප්‍රජාව සහ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්, නොපෙනෙන තැනට පත් කිරීම සහ ඔවුන් ගැටළුවක් ලෙස වාර්තාකිරීමේ රටාවක් පවතින බව 2013 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් මෙහෙය වූ අධ්‍යයනයක දක්වා ඇත.

මෙම පුද්ගලයන්ගේ පැවැත්ම සමාජයට ගැටළුවක් ලෙස දැකීමට ප්‍රධාන හේතුවක් වන්නේ සංක්‍රාන්ති සහ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමි ඉහල එච්අයිවී අවදානමකට මුහුණ දෙන බැවින් නිසා, මෙම ප්‍රජාවන් පිළිබද ඇති පොදු අදහස වන්නේ ලෙඩ බෝ කිරීමට ආ අමනුෂ්‍යන් පිරිසක් ලෙසයි.

“මම ලිංගික පරිවර්තනට ලක් වූ පුද්ගලයන් කොන්ඩම් භාවිතය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන් හා ඔවුන්ගේ ගැනුම්කරුවන් එච්අයිවී ඒඩ්ස් රෝගයට ගොදුරු වීමේ අවදානම තවත් ඉහල යයි” යනුවෙන් අදාල ලිපියේ සදහන් වන්නේ අපි එලෙස සිතන නිසාය.

කොන්ඩම් භාවිතය ප්‍රතික්ෂේප කරන්නේ සැම විටම සේවාව ලබා ගන්නා පුද්ගලයා මිස සේවය සපයන පුද්ගලයා නොවන බව මගේ අදහසයි. ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් සහ එච්අයිවී වලින් ආරක්ෂා වීම වැදගත්ය. මන්ද, ඔවුන්ගේ වෘත්තියේ රදා පැවැත්මට එය ඍජුවම බලපාන නිසාය. මට මුණ ගැසී ඇති ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන් බොහෝ දෙනෙකු පවසා ඇති කතාව වන්නේ කොන්ඩම් නැතිව ලිංගිකව හැසිරීමට සේවාදායකයන් වැඩිපුරත් මුදල් ගෙවීමට සූදානම් බවයි.

පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් කොන්ඩම් භාවිතා කිරීම යෝජනා කිරීම 93%ක් පමණ වන බවත්, ඉන් 66.6%ක් කොන්ඩම් භාවිතය සදහා හේතුව ලෙස ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ එච්අයිවී වලින් ආරක්ෂා වීම දක්වා ඇති බවත් සෞඛ්‍යය අමාත්‍යංශයේ ජාතික එච්අයිවී වැඩසටහන මගින් ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ මූලික ප්‍රජාවන් පිළිබද ඒකාබද්ධ ජීව විද්‍යාත්මක සහ චර්යා මුර කිරීමේ අධ්‍යයනය පෙන්වා දී ඇත.

නන් ආකාර ලිංගික දිශානතීන් සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවයන් සහිත පුද්ලගයන් පිළිබද සමාජය දැනුවත් කළ යුත්තේ ඔවුන් එච්අයිවී සදහා වැඩි අවදානමක් දක්වන නිසා පමණක් නොවේ. එච්අයිවී නිවාරණයෙන් ඔබ්බට ගිය මනුෂ්‍යයන් ලෙස ඔවුන්ව පිළිගැනීම මත පදනම් අවශ්‍ය නිසාය. එම නිසා ජනමාධ්‍ය සමග සම්බන්ධ විය යුත්තේ පුද්ගල අයිතිවාසිකම් රාමුවක් තුළයි.

ජනමාධ්‍ය සදහා එච්අයිවී සහ මූලික ප්‍රජාවන් පිළිබද මූලෝපායික සහ කඩිනම් අධිවාචන ක්‍රියාවලියක් විවිධ අංශ ඔස්සේ ක්‍රියාත්මක වේ. පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්, ලිංගික සෞඛ්‍යය සහ එච්අයිවී පිළිබද 2009 දී පැවති ජාතික සාකච්ඡාවේදී , “ලිංගික සුළුතරයන් පිළිබද මහ ජනතාව දැනුවත් කිරීම සදහා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සමග වැඩ කිරීම සහ සංවේදී කිරීම සදහා මූලෝපායක් අවශ්‍ය” බව තරයේ ප්‍රකාශ විය. එමෙන්ම, පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් සහ සංක්‍රාන්ති ප්‍රජාව පිළිබද ධණාත්මක ප්‍රතිරූපයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරන ලදී. – එච්අයිවී සහ ජනමාධ්‍ය UNDP අධ්‍යයන වාර්තාව 2012

පහත දැක්වෙන්නේ 2015 මාර්තු මාසයේදී ප්‍රකාශිත මූලික ප්‍රජාවන් පිළිබද ඒකාබද්ධ ජීව විද්‍යාත්මක සහ චර්යා මුර කිරීමේ අධ්‍යයනයයෙන් උපුටාගත් කොටසකි.

“මගේ තත්ත්වයට මට හැඩ ගැහෙන්න හුගක් අමාරු වුණා, ඒක හරිම අමාරු කාලයක්ත මම තැන් 30ක වැඩ කරා. එක මාසෙකින් මාව අස් කරනවා. කොන් කිරීම හුගක් තිබුණා. මට නම් දෙකක් තියෙනවා. මම සංක්‍රාන්ති සමාජීය ස්ත්‍රී පුරුෂ භාවයක් සහිත පුද්ගලයෙක්. මම නිතරම කාන්තාවන් සමග ගැවසෙන නිසා පිරිමි අයගේ හිරිහැර දාමරිකම් වලට ලක් වෙනවා.” යනුවෙන් අවුරුදු 40ක් වයසැති පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමියෙක් පැවසුවේය.

ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩ නැගීම පිළිබද කෙතරම් සාකච්ඡා කර තිබුණද එය යථාර්ථයක් බවට පත් කර ගැනීමේදී අප සිටින්නේ කෙතැනද යන්න පිළිබද ස්වයං විවේචනයක් අවශ්‍යය. ඍණාත්මක වාර්තාකරණයන් මගහරවා ගැනීමට එය මහත රුකුලක් වනු ඇති.

සුළුතර ලිංගික ප්‍රජාවන් පිළිබද නිවැරදි අවබෝධයක් ජනමාධ්‍ය වෙත ලබා දීමේ වැඩසටහන් ගණනාවක් මෑත කාලයේදී සිදු වී ඇත. සැමවිටම එසේ නැතිනම් බොහෝවිට, අධිවාචන හෝ සංවේදීකරණ වැඩසටහන් වල වැඩ රාමුව වන්නේ එච්අයිවී නිවාරණයයි. රෝග නිවාරණ අරමුණක් සහිතව සිදු වන දැනුවත් කිරීම් තුළ පුද්ගල අයිතිවාසිකම් පිළිබද සාකච්ඡා වන්නේ අවම වශයෙනි. මෙම ප්‍රජාවන් සදහා එච්අයිවී නිවාරණ වැඩසටහන් හරහා රජයේ සෞඛ්‍යය සේවාවන්ට ඇති ප්‍රවේශය පුළුල් වී ඇති බව පිළිගත හැකිය. සමාජය තුළ පවතින කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම ආමන්ත්‍රණය කිරීම සදහා එච්අයිවී වැඩ රාමුව ප්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිය යුතු නොවේ.

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකින් එච්අයිවී සමග ජීවත් වන මගේ මිතුරෙකුගෙන් වීඩියෝ පටයක් ලබා ගැනීමට පැමිණ, ඔහුට දුක සිතී අහස බලාගෙන නියපොතු කමින් කල්පනා කරමින් සිටින්නැයි උපදෙස් දුන් බව ඔහු මා සමග පැවසුවේය. කොතරම් ධනාත්මක කතාවක් වුවත් අන්ත දුක්ඛිත හෝ භයානක දෙයක් බවට පත් කිරීම ජනමාධ්‍ය උත්සහ දරනවා නෙවේද? එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් පිළිබද ධනාත්මක ප්‍රතිරූපයක් සමාජය තුළ ගොඩනැංවීමට ජනමාධ්‍ය අපොහොසත් වී ඇති බව කුළියාපිටිය සිදුවීමෙන් පමණක් නොව ලෝක ඒඩ්ස් දිනය ආශ්‍රිතව සිදුවන අනවශ්‍ය ලෙස සංවේදී කරන ලද ජනමාධ්‍ය වාර්තාකරණයෙන් පෙනේ.

එච්අයිවී පිළිබද සාකච්ඡා කළ යුත්තේ සෞඛ්‍යමය ගැටළුවක් නිසා පමණක් නොව එය සමාජ ගැටළුවක්ද වන බැවිනි. සමාජයේ පවතින කොන් කිරීම සහ වෙනස් කොට සැළකීම වාර්තාකරණය මගින් ඉහල යනවා නම් එවැනි වාර්තාවකින් ජනතාවට සිදු වන සෙත කුමක්ද? එච්අයිවී පිළිබද වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වලට මෙන්ම ජනමාධ්‍ය ආධ්‍යාපන ආයතන වලටද වගකීමක් තිබේ.

ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට එච්අයිවී ආශ්‍රිත ප්‍රධාන නිර්දේශ – පුහුණු, දැනුවත් කිරීම්, න්‍යාය පත්‍රය සකස් කිරීම, එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් සහභාගී කර ගැනීම, අධ්‍යාපනය, ස්වයං නියාමන, මුරපල්ලෙකු ලෙස, ජාල ගත වීම, තොරුතුරු ප්‍රවේශය පුළුල් කිරීම, ජනමාධ්‍යවේදීන් සදහා මූලාශ්‍ර ලබා දීම, සේවා ස්ථානයේ තත්ත්වයක් ලෙස එච්අයිවී සැලකීම (ආදිය ඇතුළත් වේ).- ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය විසින් සකස් කර ඇති එච්අයිවී වාර්තාකරණය සදහා වූ මාර්ගොපදේශ

නන් ආකාර ලිංගික දිශානතීන් සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවයක් ඇති පුද්ගලයන් පිළිබද කෙරෙන ජනමාධ්‍ය ආවරණය මෑතකාලීනව ඉතා සුළු ප්‍රගතියක් ලගා කර ගෙන ඇති බව පිළිගත හැකිය. නමුත් ඒ එච්අයිවී නිවාරණ වැඩ රාමුව තුළයි. මෙම ප්‍රජාවන් මුහුණ දෙන ගැටළු ඔවුන්ගේ ජීවිත කතා ඇසුරෙන් පෙන්වා දීම ඇරුණු විට ඒ පිළිබද ඇති විද්‍යානුකූල සාධක පෙන්වා දීමට ජනමාධ්‍ය අපොහොසත් වී ඇත.

“සම ලිංගික, ද්වී ලිංගික සහ සංක්‍රාන්ති පුද්ගලයන් රෝගීන් ලෙස සැලකීම ඔවුන්ගේ මානව අයිතීන් කඩ වීමට බලපාන මූලික හේතුවකි. මෙම පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීම සදහා ජය ගත යුතු ඍණාත්මක ආකල්ප, ඒකාකෘති සහ බහු විධ අභියෝග ජය ගැනීමටද ඇති බාධාවකි.” – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්ගේ කාර්යාලය

නන් ආකාර ලිංගික දිශානතීන්ගෙන් සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවයන් සහිත පුද්ලයන් මුහුණ දෙන කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම අවම කිරීම සදහා ඔවුන් පිළිබද සමාජය දැනුවත් කිරීම අවශ්‍යය. ඒ ඔවුන් කිසියම් අසනීපයක් හෝ අසරණකමක් ඇති නිසා අනුකම්පාව ලබා ගැනීම සදහා නොව මනුෂ්‍යයන් ලෙස ඔවුන්ට සැලකීම සදහාය.

කාන්තාවක්ව ඉපිද හෝමෝන ප්‍රතිකාර නොගන්නා පිරිමි ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් සහිත පුද්ගලයන් 18 දෙනෙකු යොදා ගෙන සිදු කළ අධ්‍යයනයකදී ඔවුන්ගේ මොලය වඩාත් සමාන වන්නේ පුරුෂ මොලයේ සැකැස්මට බව සොයා ගන්නා ලදී. සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය සහ ජීව විද්‍යාත්ම සැකැස්ම අතර පැහැදිළි සම්බන්ධයක් ඇති බව පෙන්වීමට දත්ත ඇති බව බොස්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පාසල මගින් සිදු කරන අධ්‍යයනය සමාලෝචනයකදී පෙන්වා දී ඇත. සංක්‍රාන්ති සමාජභාවය රෝගයක් ලෙස සැලකීම අත හැරීමට ප්‍රමාණවත් සාධක ඇති බව ඔවුන් විශ්වාස කරයි. යනුවෙන් 2015 ඔක්තෝබර් පළවූ ලිපියක සදහන් විය.

ප්‍රධාන ධාරාවේ මානව හිමිකම් කතිකාව තුළ ශ්‍රි ලංකාවේ ලිංගික සුළුතර ප්‍රජාව තව බොහෝ දුරක් යා යුතුව ඇත. ඒ අතරම, වෙනත් සුළුතර කණ්ඩායම් ගේ මානව හිමිකම් කඩ වීම් වලට ලිංගික සුළුතර ප්‍රජාවන් කෙතරම් දුරට සංවේදී වනවාද යන්න පිළිබද නැවත හැරී බැලීමක් අවශ්‍ය වේ. ප්‍රජාවක් ලෙස කිසියම් පොදු අරමුණක් ද අවශ්‍ය වේ. සම ලිංගිකත්වය නීති ගත කිරීමේ අරමුණ අපට තිබෙනවාද? ලිංගික වෘත්තිය නීති ගත කිරීමේ අරමුණ අපට තිබෙනවාද? සංක්‍රාන්ති සමාජභාවට රාජ්‍ය පිළිගැනීම ලබා ගැනීමේ අරමුණ අපිට තිබෙනවාද? ප්‍රශ්ණ වලට පිළිතුරු හඩා කියන්නට ශ්‍රී ලංකවේ ලිංගික සුළුතර ප්‍රජාවන්ට ශක්තියක් තිබෙනවාද?

paba
පබා දේශප්‍රිය
| Paba Deshapriya