විග්නේශ්වරන්ගේ ද්‍රවිඩ කවුන්සිලය තවත් ද්‍රවිඩ සංව්ධාන සහ පුද්ගලයන් එකතු ව පසුගිය දිනවල සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයට, විරෝධය පෑමට දකුණේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් සිංහල දේශප්‍රේමයේ අපකීර්තිමත් වාග්ප්‍රහාරයක යෙදෙනු දකින්නට ලැබුණි.

විග්නේශ්වරන්ගේ විරෝධය පෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමග ඍජුව සම්බන්ධවන්නකි. එය ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දක්වන අයිතිවාසිකම ආරක්ෂා කිරීමකි. ‘ද්‍රවිඩ ජාතිකවාදයට‘ තඩි බෑම නිදහස ලැබුන දා සිට ජාතිවාදී පක්ෂවලට සහ පුද්ගලයන්ට උරුම වූ සිංහල බෞද්ධ පෝෂණය නිසා මනස විකල්ව ගිය ජාතිවාදී කතිකාවතේ උමතුවය. එම නිසා දශක 3ක් පමණ අපේ සමාජයේ අනෙකා කෙරෙහි ඇති මානවවාදයට වඩා ආගම සහ ජාතිය ප්‍රමුඛ වූ නිර්නායකයන් ප්‍රමුඛ කොටගෙන අතිශයින්ම කුරිරු යුද්ධයකට මග පාදනු ලැබිණ. යුද්ධය අවසාන වුවද එයින් ඇති කරන ලද මිනිස් ව්‍යසනය සහ යුද්ධයට පාදක වූ දේශපාලන ඉල්ලීම් විසදීම සදහා ඇති කැපකිරීම සහ පොරොන්දු එතරම් බැරෑරුම් ලෙස සලකා බැලීමේ හැකියාවක් සිංහල දේශපාලන පන්ති වලට ඇත්ද යන්න ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත්වී ඇත.

කොටින්ම කියතොත් විග්නේශ්වරන් ගේ සහ අනෙක් ද්‍රවිඩ ක්‍රියාකාරී සංවිධානවල විරෝධයට මුල්වුයේ යුද්ධය නිසා ද්‍රවිඩ සමාජයේ දශක ගණනාවක් තිස්සේ මුල් බැසගත් සමාජමය සහ තීරණාත්මක දේශපාලන ප්‍රශ්න නොවිසදී තිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවූ තත්වයක් නිසාය. ‘ද්‍රවිඩ පටු ජාතිවාදය‘ නැවත පනගැන්වීම සිදුවන්නේ මෙවැනි ප්‍රශ්න විසදීම සඳහා ආණ්ඩුව ගන්නා පියවරවල් ද්‍රවිඩ ජනතාවගේ අපේක්ෂාවන්ට එතරම්ම ගෝචර නොවන බැවිනි.

මෙය හරියටම තිස් අවුරුදු යුද්ධයට පෙර සිංහල දේශපාලන පන්තීන් ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් ට ප්‍රතික්‍රියා කල ආකාරය ම මතක්කර දෙන පෙර හුරුවකි. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ජනතාවගේ බලෙන් හමුදාව අත්පත් කරගත් නිවාස සහ ඉඩම් ආපසු පවරාදීම සහ අතුදහන් වූ තරුණයන් පිලිබදව වගකීම තවමත් හුදු ජාම බේරා ගන්න කරන කටයුතු මිසක උද්යෝගයකින් ඉටුකරන දේ බවට දැන් පෙනීයන්නේ නැත.

1971 ජවිපෙ කැරලිකරුවන් නිදහස් කල ආණ්ඩුවක් ද්‍රවිඩ සිරකරුවන්ට වෙනස් ලෙස සැලකීම ද්‍රවිඩ ජනතාව තුල දැඩි කලකිරීමක් මෙන්ම අසමානාවූ ජනවාර්ගික පැවැත්මක පණිවිඩය නැවත නැවතත් සිහිපත් කරවයි. වාමාංශික යයි කියාගන්න පක්ෂයන් උඩ පනිමින් ‘ද්‍රවිඩ ජාතිවාදයට‘ පහර දෙන්නට පටන් ගත්තේය. නමුත් ඔවුන් ‘ද්‍රවිඩ ජාතිවාදයට‘ පහර දෙන්නේ සිංහල මහා ජාතිවාදයේ මතයෙන් සහ දෘෂ්ටි කෝණයෙනි. අපට වඩා ‘ද්‍රවිඩ පටු ජාතිවාදය ට‘ දේශපාලන සහ දෘෂ්ටිමය පරාජයක් අත් කරදීමට වගකීම සහ හැකියාව ඇත්තේ ද්‍රවිඩ ජනතාව තුල ක්‍රියාත්මක වන බුද්ධිමතුන්ට සහ සමාජ ක්‍රියාකරීන්ටය.

දැනට සිංහල දේශපාලන පක්ෂවලින් ප්‍රකාශ වන ද්‍රවිඩ විරෝධය සිංහල ජාතිවාදය පෝෂණය කරයි. ආණ්ඩුවේ කෙරුමන්ගේ ප්‍රකාශ සහ ජවිපෙ විසින් කරන ලද ප්‍රකාශයන් ගත්විට මෙය හොදින් පැහැදිලිවේ. ජවිපෙ ටිල්වින් සිල්වා ‘ද්‍රවිඩ ජාතිවාදයට‘ තඩි බාමින් ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් පිලිබදව කිසිවක් සදහන් කලේ නැත. එය ජවිපෙ ද්‍රවිඩ විරෝධයේ ජන්ම ගතිය ප්‍රකාශ කිරීමකි. ආණ්ඩුවේ ප්‍රකාෂකයා ද්‍රවිඩ ජනතාව මේ ආණ්ඩුවට සහයෝගදීමේ පදනම සහ ජනවාරි 8 ද පොරොන්දු ගැන මතක් කලේ නැත. ඒවා තවමත් අතිශය චපල ලෙස නොසලකා සිටීම මේ විරෝධය උත්සන්න කිරීමට හේතුන් පාදක වන බව ඔවුන්ට නොවැටහේ. ද්‍රවිඩ ජනතාව තමන්ට හිමි ඉඩමට සහ නිවසට ඇති චිත්තවේගාත්මක සම්බන්ධ තාවය අමු අමුවේම කඩකරමින් තවමත් ඔවුන්ට එහි ජීවත්වීමට ඇති අයිතිය අහිමි කොට ඇත.

ඒකාබද්ධ විපක්ෂය ගැන මම මෙහිදී කරුණු දක්වන්නේ නැත්තේ එය අපට බොහෝසේ පැහැදිලි නිසාය. සිංහල දේශපාලන කතිකාවතේ ද්‍රවිඩ විරෝධය සහ බලාපොරොත්තු කඩ කිරීම අවසානයේ මහා ජනබලයක් නිර්මාණය කිරීමට හේතුවන බව අමතක කිරීම කණගාටුදායකය. එසේ වුවහොත් ද්‍රවිඩ කොටින්ට යුද්ධ බලයෙන් කල නොහැකි වූ දෙය මේ අලුත් දේශපාලන පරම්පරාව තම ඉලක්කයේ ඉස්මත්තට ගෙන එනු ඇත. ආයුධ වලට වඩා බොහෝවිට ජනතා කෝපය ප්‍රබලය. ප්‍රතිඵල දායකය. දකුණේ සිංහල දේශපාලන සමාජය ට අවබෝධ කර ගැනීමට නොහැකි දෙය මෙයයි. එමෙන්ම 2020 දී මහා ජන පෙරමුණක් ගොඩ නගා පාලන බලය ඇල්ලීමට සපතකර දිවුරා සිටින අනුර කුමාර ගේ ජවිපෙට මෙයට වඩා ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදී අපේක්ෂාවන් ගැන සංවේදී වීම මුලික වෙයි. ඔවුන්ට ද්‍රවිඩ ජනතාවගේ සහයෝගය නොමැතිව එබඳු ජන බලය ගොඩ නැගීම උගහටය. ඒ සමගම ජාතික ප්‍රශ්නය පිලිබදව කවදත් තිරසාර ප්‍රජාතන්ත්‍රවාදී මතය ක් දරන කුඩා වුවත් අවංක ට්‍රොස්කිවාදී සංවිධානවලට අපේ කෘතවේදීත්වය පලකල යුතුය. මේ පැත්තෙන් බලනවිට තත්වය එතරම්ම බල පොරොත්තු රහිත වන්නේ නැත. යුදෙව් ජාතික සංහාරය ගැන ඉතාමත් විටිනා අදහස් ඉදිරිපත්කල යුරෝපීය ලිබරල් වාදී කතුවරියක් වූ HannahArendt වරක් ප්‍රකාශ කලේ යුරෝපීය ජනතා යුදෙව් ජාතික සංහාරයට කලින් පවා යුරෝපීය රටවල පවතී සියලුම දේශපාලන සිදුවීම් වලින් දිනපතා යම්කිසි දෙයක් ඉගෙන්න ගත බවය. මෙය යුරෝපීය සමාජ ප්‍රගමනයට බොහෝසේ උදව් වූ බව ඇය කියා සිටියාය. බාගද අපට දැනට විශ්වාසය තැබිය හැක්කේ ජාතික සමනාත්මතාවය පිළිගන්න සුළු පක්ෂ සහ පුද්ගලයන් කෙරෙහි මිස ජවිපෙ වැනි පක්ෂ මත නොවේ. ලංකාවේ සිදුවන මෙවැනි දේශපාලන සිදුවීම් පිලිබදව ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන්න වූ ව්‍යායාමය ක් අප විසින් නොනවත්වාම කරගෙන යා යුතුවෙයි.

dayapala-thiranagama
දයාපාල තිරාණගම
| Dayapala Thiranagama

#

සබැදි සටහන්

තනි ඉලක්කයට තඩිබෑම

එ්කීය රාජ්‍ය, ෆෙඩරල් සහ ‘දකුණේ බිය’