‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදීන්. ඒ අයව සමරන්න ඉඩ දෙන්න බෑ’. ‘දැන් එතකොට යුද්දෙන් මැරුණ අතදරුවෝ, මහලු අය, ඒ අයත් එල්ටීටීඊ ද? මම ඔවුන්ගෙන් ඇහුවා. ඔවුන්ට උත්තර නැති උනත් ‘සමරන්න දෙන්න බෑ’ කියලා තර්ජනාත්මකව කියලා යන්න ගියා.’

මේ කතාව අපත් සමග කියා සිටියේ කිලිනොච්චි ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක පියතුමෙක්. ඒ 2012 අවුරුද්දේ මැයි මාසේ. මේ කතාව යළිත් සිහිපත් උනේ අද(15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකිදී රාජිත සේනාරත්න ඇමතිවරයා සහ එයට සහභාගී වූ බහුතරයක් මාධ්‍යවේදීන් අතර ඇති වූ සංවාදයක් නැරඹිමෙනි. සංවාදයට මූලික වි තිබුණේ එළඹෙන මැයි 18වන දින උතුරේ පැවැත්වෙන සිහිකිරීම් පිළිබදවයි.

රාජිත ඇමතිවරයාගේ අදහස වී තිබුණේ දකුණේ කැරළිවලින් ඝාතනය වූවන් සමරන විට උතුරේ යුද්ධයේදී ඝාතනය වූ සාමාන්‍ය වැසියන් සිහිකිරීමේ වැරැද්දක් නැති බවයි. ‘යුද්ධ කරද්දී ඕනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවා. විරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..’ රාජිත ඇමතිවරයා වැඩිදුරටත් පවසයි. (රාජිත සේනාරත්න ඇමතිවරයා පිළිබද ලියුම්කරුට සුවිශේසෂී ලැදියාවක් නැතිවුවත් මේ අශිෂ්ට, ගෝත්‍රික ප්‍රශ්න අසන මාධ්‍යවේදීන්ට දුන් පිළිතුරු ගැන සතුටු විය හැකිය.)

නමුත් මාධ්‍යවේදීන්ට(?) ප්‍රශ්ණය වී තිබුණේ උතුරේ යුද්ධයේදී ඝාතනය කළේ ‘ත්‍රස්තවාදීන්’ බැවින් ඔවුන් සැමරීමට අයිතියක් නැති බවයි. එසේම ඔවුන් තර්ක කළේ ඒ යුද්ධයේදී සාමාන්‍ය වැසියන් මිය ගොස් නැති බවයි. ‘ඇමතිතුමා… විරුවන් අතින් ඝාතනය උනේ ත්‍රස්තවාදීන්’ මාධ්‍යවේදියෝ කියයි. ‘ඇමතිතුමා ජවිපෙ වගේ නෙමේ නේ එල්ටීටීඊ සංවිධානය කියන්නේ ජාත්‍යන්තරය පවා තහනම් කරපු සංවිධානයක් නේ’ කොළඹ මාධ්‍යවේදී පිරිස අසයි.

නරුමකම ඉහටත් උඩින්

දකුණේ ජනමාධ්‍යවේදීන් බහුතරයක් වසර 9කට පෙරද හැසිරුනේ මෙවන් ලෙසටමය. ඇතැමෙක් රූපවාහිණී කැමරාව ද සමග යුද භූමියට ගොස් සත්‍ය වාර්තා කිරීමට වඩා සිදුකලේ යුද්ධය උත්කර්ශයට නංවමින් තව තවත් ලංකාවේ ජීවිත යුද්ධයට බිල්ලට දීමේ අශිෂ්ට කොන්තරාත්තුව සිදු කිරීමය. ඇතැමුන් ඔවුන්ව නම් කෙරුණේ දේශප්‍රේමීන් ලෙසය. ඒ දේශප්‍රේමින්ම යුද භූමියේ තිබුණු විද්‍යුත් උපකරණ හොරකම් කීරමේ චෝදනාවන්වලට ලක්වුනි. තවත් එැවනි ඊනියා මාධ්‍යකරුවන් යකඩ හොරකමේ ගොස් අසුවුනි.

අද ද යුද්ධයෙන් වසර 9කට පසුත් යුද්ධය උත්කර්ශයට නංවමින් ගෝත්‍රිකයන් ලෙස දකුණේ මාධ්‍යවේදින් පිරිසක් එසේ ප්‍රශ්ණ කරන්නේ, යුද තත්ත්වයන් වලදී මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් සිය මාධ්‍ය සහ ජීවිතය කැපකරන මාධ්‍යවේදීන් ලොව පුරා වැඩකරන සමයකය.

එසේම කුමන තත්ත්වයක වුව මිනිසෙක් ඝාතනය වූවාට පසු ඔහු හෝ ඇය ‘සිහි කිරීමේ අයිතිය‘ ලොව පුරා ශිෂ්ට සමාජයන් පිළිගෙන සිටින තත්ත්වයක් තුළ දකුණේ මාධ්‍යවේදීන් මළඋන්ගේ ජාතකය සොයමින් සිය ගෝත්‍රිකත්වය ලොවට පෙන්වමින් සිටින්නේ ඉතාමත් නග්න අයුරිනි.

ඒ නරුම නග්නකම තුළින් මතුවන තක්කඩිකම එයට වඩා විශාලය. වසර 30ක් තුළ වන්නි පොළව තුළත් දකුණේත් කෙතෙරම් මිනිසුන්/ගැහැණුන් කුඩා දරුවන්ගේ ජීවිත ඉහළින් සහ පහළින් එල්ල කරන බර අවිවලට ගොදුරු වූවා දැයි මුලු ලෝකයම දැන් දන්නේය. එය ‘යුද්ධයක හැටිය’ කෙනෙක්ට කිව හැකිය. ඒ උතුරේ යුද්ධයේදී ලංකා හමුදාවෝ සිය ප්‍රහාරයන් එල්ල කලේ අවි අත දරා සිටි කැරලිකරුවන්ට පමණක් නොවන බව සාක්ෂි සහිත ඔප්පුවෙමින් තිබෙන තත්ත්වයක් තුළය.අනෙක් පසින් එසේ සිදුකිරීමේ හැකියාව නැති බව ලංකාවේ සිදුකල යුද්ධයේ ලක්ෂෙණ අනුව ඕනෑම අයෙක් පහසුවෙන් තේරුම් ගත හැකිය. රෝහල්වලට, පාසල්වලට බෝම්බ පතිත කලේ වෙනත් ග්‍රහලෝකයකින් ආ මිනිසුන් විශේෂයක් නොවන වග තේරුම් ගන්නට මේ මාධ්‍යවේදීන්ට නොහැකිය. 2009 මැයි 17වනදා කිලිනොච්චියේදී පියතුමෙක් සමග ශ්‍රී ලංකා හමුදාවට බාර වූ තරුණයන් සහ තරුණියන් ගැන අදටත් කිසිදු තොරතුරක් නැත. ඒ පිළිබද ව පැවති නඩු විභාගයකදී මුලතිව් අධිකරනයේදී හමුදාව ප්‍රකාශ කලේ එවැනි බාර වූ පිරිස් ගැන ලැයිස්තුවක් තමන් ලග නැති බවය. නීත්‍යානුකූල හමුදාවකට එසේ කිව හැකිද? එසේ නම් බාර වූ පිරිස් කොහේද? මේ තක්කඩි මාධ්‍යවේදීන් ඒවා අසන්නේ නැත.

ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් ‘අපේ’ නොවන නිසාය.

ඔවුන් සිංහල නොවන නිසාය. යුද්ධයෙන් ඇරඹි මේ ද්‍රවීකරණය තවමත් පැවතීම කෙතරම් බියකරුද?

අනෙක මලවුන් සිහිකිරීම ඕනෑම ශිෂ්ට සමාජයක යුක්තිසහගත ක්‍රියාවලියකි. නමුත් දකුණේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නේ මේ යුක්තිසගත ක්‍රියාවලියයි.

එබැවින් මේ තක්කඩි මාධ්‍ය භාවිතාව ගැන සහ මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා මෙවන් මිනිසුන්, මිනිසුන් දැයි ප්‍රශ්ණ කිරීම ශිෂ්ට සමාජයක් ප්‍රාර්ථනා කරන සියල්ලන්ගේම වගකිමකි.