ශ්‍රි ලංකාව යනු කුඩා රටක් වුව ද මේ රටේ සිදු වු අරගල, විප්ලව(?) හා මර්ධනයන් අනෙක් රටවල් කම්පා කිරීමට තරම් බලවත්ය. ඒ අද අප භුක්ති විදින බොහෝ අයිතිවාසිකම් හා වරප්‍රසාදයක්ම, ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් නිසාය. ඒ සියල්ල පිටුපසම කිසියම් හෝ අරගලයක් තිබී ඇත. ඒමෙන්ම සියලු අයිතීන් පිටුපස ලේ පැල්ලම් ද බොද වූ සිහින හා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු වූ සිහින ද ඇත. එම නිසා මේ මානව අයිතීන් පිළිබද අප සැහැල්ලුවෙන් සැලකීම නොකළ යුතු අතර ඒ පිළිබද අවධානයෙන් ද සිටිය යුතුයි. ඒ කුමක් නිසා ද යත්, කැපකිරීම් කර ලබා ගත් අයිතීන් සියල්ල උදුරා ගැනීම ඕනැම මොහොතක සිදුවිය හැකි බැවිනි. එසේ අප උදුරා ගැනීමට ඉඩ දුන්නේ නම් නැවත එය දිනා ගැනීමට ජීවිතත් කැපකිරීමට කිරීමට සිදු වනු ඇත.

මානව අයිතිවාසිකම් යනු සදාචාරාත්මක මූලධර්ම හෝ මානව හැසිරීම් වල ඇතැම් ප්‍රමිතීන් වන අතර එය ජාත්‍යන්තර නීතිය යටතේ ස්වාභාවික හා නෛතික අයිතිවාසිකම් ලෙස හදුන්වනු ලැබේ. මෙය තනි පුද්ගලයෙකුගේ පුද්ගල, සමාජීය හා දේශපාලනය අයිතීන්ය. මේ සියලු අයිතීන් තුලින් බලගතු හා බොහෝවිට මර්ධනය වන අයිතීන් නම් “නිදහස් චින්තනය” හා “අදහස් ප්‍රකාශ කිරීමේ” අයිතියයි. කොරෝනා වෛරසය මුවාවෙන් පාලකයින් අද සිදු කරන්නේද එම මර්දනය ක්‍රියාත්මක කිරීමට පෙළඹවීමයි.

අදහසක් දැරීමේ හා එය ප්‍රකාශ කිරීමේ නිදහස සෑම කෙනෙකුටම ඇති අයිතිවාසිකමකි. තවද බාධාවකින් තොරව අදහස් දැරීමට සහ ඕනෑම මාධ්‍යයක් හරහා සහ දේශසීමා නොසලකා තොරතුරු සහ අදහස් සෙවීමට, කියවීමට සහ ප්‍රකාශ කිරීමට ද සියලු පුද්ගලයින්ට අයිතියක් ඇත. (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශනය)

එනම් වාරණයකින් තොරව නිදහසේ තමන්ගේ මතය ප්‍රකාශ කිරීම පුද්ගලයෙකුගේ අයිතියක්. ඒ වගේම එය ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මූලික සාධකයක්. මේ ගැන හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මෙසේ ප්‍රකාශ කර සිටියා.

“අප ඇමරිකානු ජනතාවට අප්‍රසන්න කරුණු, අලුත් අදහස්, වෙනස් දර්ශන සහ ඝට්ටනකාරී අදහස් ප්‍රකාශ කිරීමට බිය නොවෙමු. මක්නිසාද යත් රාජ්‍යක්, විවෘතව ඇති සත්‍යය සහ අසත්‍යය විනිශ්චය කිරීමට තම ජනතාවට ඉඩ දීමට බිය වන්නේද, එය මර්දනකාරී රාජ්‍යකි”.

එම ප්‍රකාශය තුළින් ඔහු පෙන්වා දෙන්නේ නිදහස් චින්තනයේ ඇති වැදගත්කමයි. රජයක් ඇති කිරිමට හා නැති කිරිමට බලය ඇති මෙම චින්තනයන් තුලින් සමාජයක් පරිණාමය කල හැක. පුරාණ ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන් ගෙන් අප අදත් පාඩම් ඉගෙන ගන්නේ ඔවුන්ගේ තාක්ෂණික දියුණුව නිසා නොව පරිණත මතවාදය නිසාය.

රජයක් තමන්ට විපක්ෂව ඇති හඩ නිහඩ කිරීමේ ප්‍රතිපත්තියක් පිළිපදින්නේද, එම මර්ධන තවත් මර්ධනයන්ට පූර්වාදර්ශයක් වෙනවා පමණක් නොව එය රාජ්‍ය ත්‍රස්තවාදයෙන් පාලනය වන රටක් නිර්මාණය කර, භීතියෙන් ජීවත් වන ජන කොටසක් නිර්මාණය කරයි. මේ තුළින් ජනතාවගේ චින්තනයන් බෙලහීන කරන රාජ්‍ය තන්ත්‍රය, ඒ වෙනුවෙන් ඔවුන්ට පක්ෂ අදහස් තුළින් පුද්ගලයෙකුගේ විඥ්ඥාණය මොට කර විනාශ කිරීමට කටයුතු කරයි. ඔවුන්ගේ අරමුණ තමන්ට කීකරු රටවැසියන් ඇති කිරීමයි. වහල් සේවය හා වෙළදාම තහනම් කර එය දඩුවම් ලැබිය හැකි වරදක් කල ඒබ්‍රහම් ලින්කන්ට විරුද්ධව වහලුන් උද්ඝෝෂණය කල බව ඉතිහාසයේ සදහන් වෙයි. එම නිසා, මිනිසුන්ගේ තාවකාලික උවමනාවන් මත පොදු සමාජයේ යහපත කැප කිරීමට බලා සිටින පුද්ගලයින් ශ්‍රි ලංකාවේ ද මෙවැනිම මෙහෙයුමක් දියත් කරමින් සිටි. ඔවුන්ගේ අරමුණ කරා බාධාවක්ව සිටින්නේ නිදහස් චින්තකයින්ය. එම නිසා අදහස් දැක්වීමට ඇති නිදහස, සාවද්‍ය තොරතුරු සදහා වූ බලය අවභාවිතයෙන් වත්මන් රජය මර්දනයක් කරා ගෙන යන බව ඉතාමත් පැහැදිලිය.

සාවද්‍ය තොරතුරු යනු බොහෝ විට සංවේදී ස්වභාවයකින් යුත් ව්‍යාජ ප්‍රවෘත්තීන් වේ. මෙම ව්‍යාජ තොරතුර පුද්ගලයෙකුට, සමාජයකට, ජාතියක්, රටකට පක්‍ෂව හෝ විරුද්ධව යොදා ගත හැකිවා පමණක් නොව, මිනිසුන් නොමග යැවීමට ද යොදා ගත හැක.

උදාහරණයක් ලෙස :ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් කොරෝනා රෝගයෙන් කිසිවෙකු මිය යෑමට පෙර තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පැවසීම සාවද්‍ය තොරතුරකි. සිංහල-දෙමළ අවුරුද්ද සැමරීමට නොහැකි වූයේ අවසානයේ හමු වූ රෝගීන් තිදෙනෙක් නිසා බව පැවසු මහජන සෞඛ්‍යය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද පැවසුවේ අසත්‍ය කරුණකි.(පසුව ඔහු ඒ පිළිබද ඔහු විසින් Facebook හී සටහනක් යොදමින් සිය කණගාටුව ප්‍රකාශ කළේය.)

නමුත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ‘කොතලාවල ඇකඩමිය ප්‍රභූන් සදහා වෙන් කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයක් ද?’ යන්න ප්‍රශ්න කිරීම නිසා අත් අඩංගුවට පත්ව ඇත!

නමුත් අද ශ්‍රි ලංකාවේ සිදුවන්නේ සාවද්‍ය තොරතුරු මර්ධනය යන නමින් නිදහස් චින්තනවාදීන් හා මතධාරීන් මර්දනයක් ආරම්භ කිරීමයි. රජයට අපක්ෂපාතී හා විරුද්ධ මතයන්, සාවද්‍ය තොරතුරු ලෙස නම් කරගනිමින්, එම මතයන් මර්ධනය කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග ඉතා නින්දිතය. මේ තුළින් සිදු වන්නේ කොරෝනා වසංගතය මුවාවෙන් සමාජයේ සිවිල් අයිතීන් සියුම්ව උදුරා ගැනීමකි. මෙය ඒකාධිපති පාලනයක පළමු පියවර ලෙස සැළකිය හැකියි. ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ මර්දනයක් නොමැත. සාවද්‍ය තොරතුරු සමාජ ගත කරන පුද්ගලයින් හා මාධ්‍ය සාමාන්‍ය ‘නීතියේ’ රාමුවට ගෙන ආ යුතුයි. නමුත් සාවද්‍ය තොරතුරු හා මතයක් දැරීමට යනු සංකල්ප දෙකකි. මුල් සංකල්පය තුළින් පසු සංකල්පය මර්ධනය වේ නම්, එතැන සිදුවන්නේ අයිතීන් උල්ලංඝනයකි. කප්පාදු කිරීමකි. බිය ගැන්වීමකි.

මේ අතර අප්‍රේල් මස පළවෙනිදා, ඩොනල්ඩ් ට්රම්ප්, නරේන්ද්‍ර මෝඩී ඇතුලු අයට ගෝඨාභය රාජපක්ෂ හට කොරෝනා රෝගය වැලද ඇති බව විවිධ පුද්ගලයින් විවිද මාධ්‍ය ඔස්සේ කියා සිටියා. එම දිනය ” April’s Fool” කියා හදුන්වන්නේ ඒ දින එසේ බොරු පවසන දිනයක් ලෙස බොහෝ අය සලකන නිසාය. එසේ තිබිය දී, ලංකාවේ පමණක් එය මහා පරිමාණයේ අපරාධයක් වීම පුදුම සහගත නොවන්නේ ද? ඒ නිසා, එවන් ලෙස විහිළු කිරීමට ගොස් නැටුම් ගුරුවරියකට හිරේ ලගින්නට සිදු විය.

මේ අතර තවත් සුවිශේෂී අත්අඩංගුවට ගැනීමක් ගැන ද පසුගිය දා වාර්තා විය. ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ රම්සි රාසික් අත්අඩංගුවට ගැනීමයි. රම්සි රාසික් යනු සමාජ ක්‍රියාකාරිකයෙක්, හා සමාජ මාධ්‍ය තුලින් අන්තවාදයට හා ජාතිවාදයට එරෙහිව සිය මතයන් ප්‍රකාශ කළ අයෙක්. අත්අඩංගුවට පත් වීමට ඔහු කල එකම ‘වරද’ නම්, වර්ධනය වන ජාතිවාදයට මුහුණ දීමට “චින්තන අරගලයක්” හෙවත් “ideological war” හෙවත් “චින්තන ජිහාදයක්” (මෙහි සෑම වචනයක්ම තේරුම සභනය) යෝජනා කිරීමයි. රම්සි ගේ එම ෆේස්බුක් සටහනට එරෙහිව පැමිණිලි විශාල ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි පැවසෙන අතර, ඔවුන් රම්සි අත්අඩංගුවට ගෙන ICCPR එනම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ට අනුව වීමයි. රම්සිගේ ෆේස්බුක් සටහන පහත ලින්ක් හි ඇත. https://m.facebook.com/story.php?story_fbid=3367204646642916&id=100000602413701

තවද, රම්සිගේ චින්තන අරගලයක් සදහා වූ ආරාධනාව මෙන්ම ශක්තික සත්කුමාරගේ “අර්ධ” යන කෙටිකතාවේ කරුණු ද, මෙම පනත යටතේ ලඝු කර හැකි ද යන්න සැක සහිත වුවත්, එසේ සිදු වන්නේ කුමක් නිසාද යන්න ගැන විමසීමක් කල යුතුයි.

ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ ඕනෑම දෙයක් විවේචනය කිරීමේ හැකියාව ඇත. එම විවේචනයට ඇති අයිතිය, ඒකාධිපති හා මිලිටරි පාලන ආණ්ඩු විසින් සෑම විටම පාලනය කළේ, විවේචනයන් තුළින් ජනතාව විමර්ශනය කිරීමක් කල හැකි නිසාය. දාර්ශනිකයින් මෙන්ම අරගලකාරීන් ද ෆැසිස්ට්වාදී (පූර්ණ බලයක් ඇති ඒකාධිපතියෙකු විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය ක්‍රමය ෆැසිස්ට්වාදය වෙයි. රාජ්‍ය විරුද්ධත්වය සහ විවේචන බලහත්කාරයෙන් මර්දනය කිරීම, සියලු කර්මාන්ත හා දැවැන්ත ව්‍යාපාර තමන් යටතේ පැවතීම හා ආක්‍රමණශීලී ජාතිකවාදයක් සහ වර්ගවාදය මත යැපීම යන කරුණු ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමවේ) රජයක් තුළ සමාජ සතුරෙකු බවට පත් වන්නේ ඒ තුළින් පුනරුදයක් ඇති වී, රජයේ පාලනයෙන් මිනිසුන් ගිලිහීමට හැකි නිසාය. වර්තමානයේ පවතින පාලනයට අවශ්‍ය වන්නේ ද විවිධ සමාජ වලින් ඔවුන්ට හා ඔවුන්ගේ න්‍යාය පත්‍රයට එරෙහිව සිදුවන කතිකාවන් හා විවේචනයන් මර්දනය කිරීමයි. එම නිසා චින්තන අරගලයක් සදහා මිනිසුන් පෙලඹවීම අපරාධයක් විය. තවද, අද සමාජ මාධ්‍ය හරහා සිදුවන ජාතිවාදයට, රාජපක්ෂවාදයට හා සමාජ දිශාවන්ට එරෙහි හඩ මර්ධන කිරීමේ කූඨ උපක්‍රමයක් ආණ්ඩුව විසින් දියත් කරමින් සිටිනවා යන්න ඕනැම කෙනෙක්ට පෙනෙන පවතින සත්‍යයකි.

ඒබ්‍රහම් ලින්කන්, ජෝන් කෙනඩි, මුස්තෆා සුෆී, මහත්මා ගාන්ධි, මැල්කම් එක්ස්, මාටින් ලූතර් කිං, ජෝන් ලෙනන්, පුලාන් දේවී, චේ ගුවේරා වැනි මිනිසුන් සහ ගැහැණුන් ඇතුලු රිචර්ඩ් ඩි. සොයිසා, ලසන්ත වික්‍රමතුංග, රාජිනී තිරාණගම (broken Palmyrah කතෘ), ප්‍රේමකීර්ති ද අල්විස්, ප්‍රගීත් එක්නැලිගොඩ ආදී ශ්‍රි ලංකාවේ මිනිසුන් සහ ගැහැණුන් ගේ ද වරද, වඩා ප්‍රජාතන්ත්‍රීය, යහපත් රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටිමයි. එය ඔවුන් විසින් කියවා ගැනුනේ, ඔවුන්ගේ අශිලාචාර දේශපාලන ව්‍යාපෘතියට එල්ල කරන තර්ජනයක් ලෙසයි. එම තර්ජනය නිසා, ඔවුන් නියෝජනය කරපු ඒ තන්ත්‍රය විසින්ම ඔවුන් ඝාතනය විය. අතුරුදහන් විය. තව ද, ඔවුන්ගේ ඝාතනයන් සමග ඇති වු කතිකාව හා ඒ තුළින් සිවිල් සමාජය ලබා ගත් කුඩා ජයග්‍රහනයන් ද අද ගිලිහී යමින් පවතිනවා. එසේ ප්‍රතිවාදී මත බලෙන් යටපත් වූ විට ඇති වන නිහඬතාවය ඉතාම භයංකාර මාවතක් වෙත රටක් ගෙන යයි. එයින් ජනතාව මුලා කර ඒකාධිපතිත්වය ස්ථාපිත වනවා පමණක් නොව, ගිලිහුණු අයිතීන් ලබාගැනීම සදහා ලේ වැගිරිම් ද සිදුවිය හැකිය. ඒ තරමට පාලකයින් විසින් වත්මන් සමාජය ධ්‍රවීකරණය කර හමාරය.

ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ කොටසක් වන මිලිටරීකරණය සමාජයේ අවශ්‍යතාවක් ලෙස ස්ථාපිත කිරීමට කරන උත්සහය ද ඇතුලුව, සිතූ අන්දමින් කොරෝනා වසංගතය පාලනය කිරීමට අපොහොසත්වීම වසංකිරීමට විවිධ පාර්ශවයන් විසින් ගෙන යන ක්‍රියාකාරකම් තරයේ හෙළා දකිමින්, භාෂණයේ නිදහස ඇතුලු සමාජය යහපත් ලෙස පෝෂණය කරන, චින්තනමය අරගලයන් ද බාධාවකින් තොරව කිරීමේ අයිති වෙනුවෙන් පෙනී සිටීම අප කාගෙත් යුතුකමක් හා වගකීමක් වන්නේය. තම අපොහොසත්වීම් හා නොහැකියාව සිවිල් ක්‍රියාකාරීන් මර්ධනය කිරීම් තුළින්, ආණ්ඩුව උත්සහ දරන්නේ නම්, ඔවුන්ට මතක් කිරීමට ඇත්තේ “රාජ්‍යකට සෑම වේලාවකදීම සමහර පුද්ගලයින් රැවටිය හැකි අතර, සමහර පුද්ගලයින් සමහර විට රැවටිය හැක. නමුත් සැමවිටම, සෑම පුද්ගලයෙකුම රවටා ගත නොහැක”.

[Original iMage:medium.com]

ශිෆානා නියාස් | Shifana Niyas