Ampara, Batticaloa, Colombo, Featured Articles, Features, Jaffna, Kilinochchi, Trincomalee

බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස

බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස

– පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ සිට ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ තොරතුරු නිදහස මුහුණ දුන් මර්ධනකාරී සිදුවීම් පෙළ කෙටියෙන් මෙසේ ය.

2006:

ජනවාරි 01: සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම.

ජනවාරි 05: වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම.

ජනවාරි 05: යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. ඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරුණි.

2007:

ජනවාරි 09: එස්.බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකල්ලපල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දීම.

ජනවාරි 18: ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවතපත් කාර්‍යාලයට ද එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට ද හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රුගෙන යාම. පසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමූයේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය.

ජනවාරි 24: ත්‍රි‛මලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම, (2007).

2008:

ජනවාරි 01: පාර්ලිමේන්තු මංත්‍රී ටී. මහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කැරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු ය.

ජනවාරි 03: යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන්යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම.

ජනවාරි 05: හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‛අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශණයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යාම. එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත.

ජනවාරි 06: යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය.

ජනවාරි 07: අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රෑපවාහිනී අධ්‍යෂකවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීම. අනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය.

ජනවාරි 07: ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාගේ නිවෙසට මහ රැයෙහි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් පැමිණීම. මෙම පොලිස් කණ්ඩායම පැමිණ තිබුණේ කිසිදු නිල ක්‍රමයක් අනුගමනය නොකර ය.

ජනවාරි 25: ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බවත් යුද හමුදාවන් ගැන ලිවීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ආරක්ෂ ලේකම් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කිරීම. ඉන් අනතුරුව යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට දරුණූ මරණිය ප්‍රහාරයන් එල්ල විය.

ජනවාරි 25: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, (2008). මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට ද භාජනය කරන ලදී. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

ජනවාරි 28: තිනකරන් දිනපතා පුවත් පතෙහි සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරය. මෙම ප්‍රහාරයට පෙර ලේක්හවුස් සභාපති විසින් සුහීබ් දැරූ තනතුරෙන් මාරුකර යවා තිබූ අතර ප්‍රහාරය ඊට සම්බන්ධ යැයි සැළකේ.

ජනවාරි 29: ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු රාත්‍රියෙහි ඔහුගේ නිවසට කඩා වැදීම. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.

2009:

ජනවාරි 02: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරය.

ජනවාරි 06: සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. මෙම ප්‍රහාරය ඇතුළේ වැඩක් යැයි ආරක්ෂ ලේකම්වරයා විසින් පරීක්ෂණ ආරම්භවීමටත් පෙරම ප්‍රකාශ කළ අතර ප්‍රහාරයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් එජාප ප්‍රදේශීය නායකයකු පසුව නිදහස් කරන ලදී.

ජනවාරි 08: සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම.

ජනවාරි 22: ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් එල්ටීටීඊයට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැනීම. එල්ටීටීඊ කාර්‍යධරයකු වන ඔහුට ව්‍යාජ මාධ්‍ය හැදුනුම් පතක් ලබා දී තිබුණේ මා විසින්යැයි ජනාධිපතිවරයා පුවත්පත් හිමිකරු රුස්වීමක දී කීවේ ය. ත්‍රස්ත විමර්ෂන අංශයේ රඳවාගෙන ඔහු පිළිබඳ කළ සොයා බැලීම් වලින් එල්ටීටීඊ ය සමඟ ඔහුට සබඳතා ඇතැයි සොයා ගැනුනේ නැත. ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුම සකසා ගත් ව්‍යාජ ජනමාධ්‍ය හැඳුනුම් පතක් තිබූ නිසා ය. ඔහුට සිදු වූයේ කුමක්දැයි අප කිසිවකු දන්නේ නැත.

ජනවාරි 24: රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ බව ජනමාධ්‍යට ප්‍රකාශ කළ ඔහු පසුව රට හැර ගියේ ය.

2010:

ජනවාරි 01: සිරස රැපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශණ තරංග රජයේ අයිටීඑන් නාලිකාව විසින් අත්පත් කර ගැනීම

ජනවාරි 13: සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කිරීම

ජනවාරි 24: ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම. ඔහු ස්ව කැමැත්තෙන් සැඟව සිටින්නේ යැයි රාජ්‍ය ගැති ප්‍රචාරකයින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට හෝ නතර කිරීමට ය.

ජනවාරි 28: ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරමල්වත්ත අත් අඩංගුවට ගැනීම. කිසිදු චෝදනාවක් නැතිව පෙබරවාරි 16දා ඔහු නිදහස් කරන ලදී.

ජනවාරි 28: නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් වෙබ් අඩවිය වාරණය කිරීම

ජනවාරි 28: රැපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක රවි අබේවික්‍රමට එහි සභාපතිවරයා විසින් පහර දීම. ඉට හේතුව වූයේ සමබර මැතිවරණ වාර්තාකරණයක් ගෙන යන ලෙස මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණය යි.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ යැයි සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. නමුත් පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී.

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්‍යාලය මැරවර පිරිස් විසින් වැටලීම

ජනවාරි 29: ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්‍යාලයට සීල් තැබීම.

මේ වසරේ ජනවාරියේ පළ වූ ජනමාධ්‍ය වාර්තා මගින් අපට පෙනී යන්නේ විසඳිය යුතු වූ සියළු අපරාධයන් අතුරින් කවර හෝ පරීක්ෂණයක් සිදුව ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පමණක් බව යි. ඊට හේතුවක් විය හැක්කේ එකී ඝාතනයට හිටපු හමුදාපති ෆොන්සේකා සම්බන්ධ බව පෙන්වීමට විය හැකි ය.

ජනවාරි මාසයේ සිදුකෙරුණූ මාධ්‍ය නිදහස පිළිබඳ සාකව්ජාවන්හි දී අමතක වූ මාධ්‍ය නිදහස වෙනුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ අපේ සගයින් දෙදෙනෙකු අඩුම වශයෙන් සිටියහ.

රාජන් යනුවෙන් ජනමාධ්‍ය ප්‍රජාව අතර හැදින්වුනු සුබ්‍රමනියම් සුකීර්ධරාජන් ත්‍රිකුණාමලයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ද ජනවාරි 24 දා එනම් කොළඹ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඉන් වසර හතරකට පසු අතුරුදහන් වූ දිනයේ දී ම ය. කොළඹ පළ කැරෙන වූ සුදරෝලි දෙමළ භාෂා පුවත්පතෙහි ත්‍රි‛මලයේ වාර්තාකරු වූ ඔහු ත්‍රි‛මල වරායෙහි සේවය කළේ ය. ඔහු ඝාතනය කැරුණේ නාවික හමුදා කඳවුර ආසන්නයේ බසයක් එනතුරු සිටිය දී ය. ඝාතනයට හේතුව වූයේ ජනවාරි 02 දින ත්‍රි‛මලයේ දී ඝාතනය කරන ලද දෙමළ ජාතික පාසැල් සිසුන් පස්දෙනාගේ මරණ පිළිබඳ ජායාරූප ම ය සාක්ෂි ජනමාධ්‍යට සැපයීම නිසා ය. එම ශිෂ්‍යයින් මියගියේ රජයේ හමුදාවන්ට පහර දීමට ගෙන එන ලැදැයි කියන රජයේ ජනමාධ්‍ය ප්‍රචාරය ප්‍රථමයෙන් පුපරුවා හැරුණේ රාජන් විසින් ගනු ලැබූ එම ශිෂ්‍යයින්ගේ හිසට වෙඩි වැදුණු මළ සිරුරුවල ජායාරූප මගිනි. රාජන් මරා දැමුණේ ඒ නිසා ය.

අද රාජන්ගේ බිරිඳ සිය කුඩා දරු දෙදෙනා ද සමඟ අම්පාරේ ගම්මානයේ දුෂ්කර ජීවිතයක් ගත කරයි. ඔහුගේ මරණය ජනවාරි මාසයේ ප්‍රබලව සටහන් විය යුතු ජනමාධ්‍යට එරෙහිව කැරුණු සාහසික අපරාධයන්ගෙන් එකකි. සිය ආදර සැමියාගේ මිනීමරුවන් නීතියේ රුහැණට හසු කරන සේ කිසිදු ව්‍යාපාරයක් ගෙන යෑමට අවසථාවක් රාජන්ගේ බිරිඳට තිබුණේ නැත. එම දරු දෙදෙනාට පියකු පමණක් නොව එදිනෙදාට හරි හව්වරණයක් හෝ නැත.

ජනවාරි දෙවැනිදා කරන ලද සිසු ඝාතනයේ අපරාධකරුවන් සම්බන්ධයෙන් ඇති දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය හෙළා දකිමින් මේ ජනවාරියේ ද ලිපි ලේඛන පළ වූ නමුත් රාජන් සහමුළින්ම අමතක වී තිබුණි.

ප්‍රගීත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ පෑ බිහිසුණුම පසුගිය සමය තුළ අතුරුදහන් වූ දෙවැනි ජනමාධ්‍යවේදියා ය. 2007 වසරේ දී, තිනක්කූරල් සහ වාලම්පුරි යන දෙමළ පුවත්පත්හි වාර්තාකරුවකු වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ඉන් වසර පහකට පසු ප්‍රගීත් අතුරුදහන් වූ දිනය වන ජනවාරි 24 දාට දින 22කට පසු එනම් පෙබරවාරි 15 දා යුද හමුදා මුර පොළකදී ප්‍රශ්ණ කිරීමට නතර කර ගැනීමෙන් පසුව අතුරුදහන් විය. ඔහු යාපනයේ තමා විසින් පවත්වා ගෙන ගිය උපකාරක පංතියක් අවසන් කොට නිවෙස බලා යමින් සිටියේ තවත් මිතුරකු සමඟ ය. මිතුරා නිදහස් කරන ලද නමුත් රාමචන්ද්‍රන් නිදහස් කැරුණේ නැත.

අවිවාහකයකු වූ රාමචන්ද්‍රන් සිය වයස්ගත මව රැකබලාගෙන අහිංසක ජීවිතයක් ගත කළ මාධ්‍යවේදියකු විය. ඔහුගේ මවට සිය පුතා වෙනුවෙන් ඔහුගේ ජායාරූපය තුරුළු කරගෙන ජීවත් වීම හැරෙන්නට කළ හැකි අන් කිසිදු උද්ඝෝෂනයක් කිරීමට අවස්ථාවක් හෝ හැකියාවක් තිබුණේ නැත. මේ එලඹෙන පෙබරවාරි 15 දිනට මාධ්‍යවේදී රාමචන්ද්‍රන් යාපනයේ දී අතුරුදහන් වී වසර හතරකි. තවමත් ඔහුගේ මව සිය පුතා එනතුරු මඟ බලා සිටී.

සංස්කාරක සටහන – 2011 ජනවාරි 31 08.50am

2011

ජනවාරි 31

ලංකා ඊ නිව්ස් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් අද (31) අලුයම 1.30 ට පමණ ගිනි තබා එහි සියලු දේපල විනාශ කිරීම. – මාළබේ, දහම් මාවතේ පවත්වාගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ජනවාරි 31 අලුයම 1.30ට පමණ කිසියම් පිරිසක් විසින් එම කාර්්‍යාලයට ගිනි තබා එහි තිබු විද්‍යුත් උපකරණ සහ සියලු ලිපිලේඛන සහ පොත් පත් විනාශ කර ඇත.