Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා අවජාතකයෝ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

මේ දිනවල ජීනිවා නුවර මානව හිමිකම් කොමිසමෙහි අවජාතකයෙක් සැරි සරන්නේ යැයි ආණ්ඩුවේ සිළුමිණ පත්තරයේ කර්තෘවරයා විසින් ලියා තිබුණි. ඒ මෙසේ ය:

‛‛සුජාතව ඉපිද එහෙත් චර්‍යාව අනුව අවජාතක වූ පිරිසක් මෙරටින් පැන ගොස් ශ්‍රී ලංකාව විනාශ කිරීම සඳහා නොරටුන්ට උල්පන්දම් අල්ලමින් සිටිනා බව දැන් නොදන්නා කෙනෙකේ නැති තරම් ය. ඔවුන් අතර සිටින නොම්මර එකේ අවජාතකයකු මේ දිනවල ජීනීවා මානව හිමිකම් මණ්ඩප වලද සැරිසරන බවට තොරතුරු ලැබෙමින් පවතී. මොව්හු සුජාතව බිහිකළ මා පියන්ට ද අවමන් කරමින් පිළිකුල් සහගත ලෙස නොරටුන්ගේ ඩොලර් සහ යුරෝ භක්ෂණය කරමින් අවජාතක ජීවිත ගත කරති.’’

ආණ්ඩුවේ ඇමැතිවරයකු වන විමල් විරවංශවාදී වෙබ් අඩවියක් ද ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී මාලදිවයින් ජනාධිපතිවරයා විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියකු ද්‍රෝහියකු ලෙස හෙළා දකින ලදැයි කියන අභූත පුවත පළ කළේ ය. එම පුවතට සටහන් ලියූ වීරවංශවාදී පිරිස් මගේ පියා බල්ලකු බවත් මගේ මව ඌරකු බවත් ලියූහ. මගේ සමීපතමයින් අරභයා ලියා දැක්විය නොහැකි තරමේ ජුගුප්සා ජනක සහ බිය ජනක කතා ලියූහ.

ආණ්ඩුවේ දිනපතා පුවත්පත වන දිනමිණ ‛‛ජීනීවා මානව හිමිකම් කොමිසමට ද්‍රෝහීන් දෙදෙනෙකු රිංගලා’’ යැයි ගෙතූ පුවතක් පළ කරමින් කියා සිටියේ ඉන් එක් අයකු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි පතාක යෝධයකු බවය.

කළක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකයකු ද වූ ආණ්ඩුවේ ලේක්හවුසියේ සභාපතිවරයා ද එම පුවත ස්වර්ණවාහිනී මුල් පිටුවේ රස කර කියවමින් තලුමරා කෑවේ පුවතෙහි ඇත්ත නැත්ත ගැන අඹමල් රේණුවක හෝ තැකීමක් නැතිව ය.

ආණ්ඩුවේ ගුවන් විදුලිය ද සිංහල දෙමළ. ඉංග්‍රිසි යන තෙබසින්ම ප්‍රචාරය කළ සිය උදෑසන පුවත් විකාශණයේ දී ප්‍රධාන පුවතක් ලෙස කියා සිටියේ ‛‛නුඹ සිය රටට අවමානයකැයි’’ කියා මාලදිවයින් ජනාධිපතිවරයා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියකුට ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී කියා සිටි බව ය.

ආණ්ඩුවේ රූපවාහිනියක් වන අයිටීඑන්හි ආක්‍රෝශ පරිභවය සිය ළකුණ කරගත් විමසුම නම් විචාරයද එම පුවත ප්‍රචාරය කරමින් කියා සිටියේ එම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියා වෙන කිසිවකු නොව සුනන්ද දේශප්‍රිය බව ය. විමසුම සිය සුපුරුදු අවඥා සහගත බසින් තව බොහෝ දේ ද කියා සිටියේ ය. මාලදිවයින් ජනාධිපතිවරයා එම වෝදනාව කළ බව පෙන්වීමට මෙන් එම චෝදනා අතරතුර ජනාධිපති නශීඩ් එකී රුස්වීමේ දී කතා කරන රූප රාමු පෙන්වූයේ ය. මෙම රූප රාමු ලබා දිය හැකිව තිබූ එකම පුද්ගලයා ජනාධිපති නිල ජායාරූප ශිල්පි සුදත් සිල්වා ය. එම රැස්වීම විඩියෝ ගත කළේ ඔහු පමණකි. ඔහු විසින් ලබා දුන බවට සැක කල හැකි ඡායාරූප ද වෙනත් පුවත්පත්හි මෙම බොරුව සාධාරණ කිරීම පිණිස යොදාගෙන තිබුණි.

එනයින් පැන නගින ප්‍රශ්ණය වන්නේ මෙම පුවත ද ඔහුගේ ම නිර්මානයක් නොවිය හැකිද? එසේ නම් එයට ජනාධිපති කාර්යාලය සම්බන්ධ ද? යන්නයි.

පසුගිය සිකුරාදා අවසන් වූ මානව හිමිකම් කොමිසමේ 18වන සැසිවාරය සඳහා සහභාගිවීමට ඇමැතිවරුන් තිදෙනෙකු ද මංත්‍රිවරයකු ද හිටපු නීතිපතිවරයා ද පැමිණි සිටි නමුත් මෙම කිසිදු ජනමාධ්‍යක් මාලදිවයින් ජනාධිපතිවරයා කළැයි කියූ මෙම සාවද්‍ය ප්‍රකාශය සනාථ කිරීමට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුනේ නැත. එපමණක් නොව මාලදිවයින් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබුනේ ද නැත.

දැනටමත් ජීනීවා මානව හිමිකම් කොමිසමෙහි සභාපතිනිය සහ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වෙත ද එකී රුස්විමට සහභාගි වූ බොහෝ තානාපති නිලධාරීන් සහ නිලධාරිනියන් වෙත මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් ශ්‍රී ලංකා රජයේ මාධ්‍ය විසින් ගෙන යන ලද මෙම සාවද්‍ය සහ බිය ජනක ප්‍රචාරය පිළිබඳව සම්පූර්ණ දැනුවත් කිරීමක් කරමින් තිබේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට සහභාගිවීම හේතු කොට ගෙන බියගැන්වීම් සහ තර්ජනයන්ට ලක් කිරීම් කෙලින්ම එහි මහ ලේකම්වරයාගේ අවධානයට යොමු කැරෙන අතර ඔහුගේ වාර්ෂික වාර්තාට එකී තර්ජන ගර්ජන පරිච්ජේදයක් ද ඇතුලත් වෙයි.

ආණ්ඩුවේ මෙම ප්‍රචාරය විසින් මතු කරනු ලබන එක් ප්‍රශ්ණයක් නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සහභාගිවීමට අයිතිය ඇත්තේ රජයේ පිරිස්වලට පමණක් ද යන්නයි. වෙනත් වචනයෙන් කියන්නේ නම් මානව හිමිකම් කොමිසමට සහභාගිවීම මේ ආණ්ඩුව සළකන්නේ දඬුවම් කළ යුතු අපරාධයක් ලෙස ය. ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලද පුවත් කතුවරු සහ සභාපතිවරු මෙම ගෙතූ කතාව ප්‍රචාරය කළේ බොරුවක් යළි යළි කියන විට සත්‍ය බවට පත් වන්නේය යන පැසිස්ට්වාදයේ ගොබෙල්ස්වාදී ප්‍රචාරක න්‍යාය අනුව ය.

ආණ්ඩුවේ මෙම ප්‍රචාරක ව්‍යාපාරය විසින් පෙන්නුම් කරන අනෙක් සත්‍යය නම් ශ්‍රී ලංකාවෙහි මාධ්‍ය නිදහස ඇතුළු මානව හිමිකම් යළි ස්ථාපනය කර තිබේ ය යන්න ව්‍යාජයක් බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සහභාගිවීය යන කරුණ මත මානව හිමිකම් ක්‍රියාකාරකයකුට මෙතරම් දරුණු ප්‍රහාරයක් එල්ල කැරෙන්නේ නම් රටතුළ සිටින ක්‍රියාකාරිකයින් කොතරම් පීඩනයකට ලක්වන්නේ ද යන්න සිතා ගැනීම දුෂ්කර නැත. මෙම මාධ්‍ය ප්‍රහාරයේ තවත් අරමුණක් විය හැක්කේ ශ්‍රී ලංකාව තුළ ජන මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් දුර්මුඛ කිරීමයි.

අවසන් වශයෙන් මානව හිමිකම් කොමිසමෙහි සැරි සරන අවජාතකයින් ගැන ලියූ ආණ්ඩු දේශපාලන ප්‍රචාරකයකු වන සිළුමිණ කර්තෘවරයාගේ දැන ගැනීම පිණිස අද ඔහු සේවය කරන ආණ්ඩුවේ ප්‍රධානින් දෙදෙනෙකු ගැන ද මතක් කළ යුතුව තිබේ. ඉන් එක් අයකු නම් අන් කවරකුවත් නොව ජනාධිපති රාජපක්ෂය. 1989-90 සමයේ දී දී ඔහු ද මේ මානව හිමිකම් කොමිසමේ සැරිසැරුවේ ය. ඒ එකළ ආණ්ඩුව විසින් අතුරුදහන් කළ දහ දහස් ගණනකගේ වාර්තා ලිපිගොනු ද ඔය කියන නොරටුන්ට බෙදා දීම පිණිස ය. බෙදා දී ශ්‍රි ලංකාණ්ඩුවට බලපෑම් කරන සේ ඉල්ලා සිටිනු පිණිස ය. රාජපක්ෂ මහතා එකළ ප්‍රසිද්ධියේ කියා සිටියේ සාධාරණත්වය ඉටු කර ගැනීම පිණිස තමා ඕනෑම අයකු සමඟ එක් වන බවත් ඒ සඳහා ඕනෑම තූත්තුකුඩියකට යාමට සූදානම් බවත් ය.

එකළ ආණ්ඩුවේ සිළුමිණ පුවත් පතෙහි අද සිටින කර්තෘවරයාම ලැග සිටියේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතකය ද ඔහු විසින් ප්‍රශ්ණ කරන්නට තිබුණි.

එකළ මෙළෙස මානව හිමිකම් කොමිසමෙහි සැරිසැරූ තවත් අයෙක් නම් වාසුදේව නානායක්කාර ය. අතුරුදහන්වුවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවෙමින් කරුණූ පැහැදිළි කළේ වාසුදේව ය. ඒ එකළ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටිටීඊ ය විසින් මෙහෙයවූ සන්නද්ධ අරගල දෙකකට ම මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ය. ජවිපෙ සහ එල්ටීටීඊ යන දෙපාර්ශවය ම විසින් එජාප නායකයින් බොහෝ දෙනෙකු බිලිගෙන සහ ගනිමින් තිබූ අතර එවකට ආර්. ප්‍රේමදාස ජනාධිපති යෙදී සිටියේ ද ‛දේශප්‍රේමී’ යුද්ධයක ය. එබැවින් වාසුදේවගේ ජාතකය ද සිළුමිණ කර්තෘවරයාගේ චීනක් කණ්ණාඩියට හසු වන්නට හොදටම ඉඩ තිබුණි.

මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද මෙම ප්‍රකාශය කියවා බලන්න:

‛‛අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රඥාප්තීන් යටතේ නිර්දේශිත බොහෝ ආරක්ෂණයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය විසින් අහෝසි කර තිබේ. දීර්ඝ කාලයක් නඩු නොපවරා රහසිගතව රඳවා තබා ගැනීම සාමාන්‍ය බවට පත්ව තිබේ. බොහෝ අවස්ථාවන්හිදී නීතිඥයින්ට සහ ඥාතීනට රැදවියන් හමුවීමට අවස්ථාවක් නැත. අන්තර් ජාතික ජූරි සභිකයින්ගේ කොමිසම ත්‍ර.වැ.ප. හදුන්වා ඇත්තේ ශීෂ්ටාචාරයට එල්ලවූ දුෂ්ඨ ප්‍රහාරයක් ලෙස ය. මෙම තත්ත්වය යටතේ අත් අඩංගුවේ දී සිදු වූ වධහිංසා පැමිණවීම් සහ මරණ බොහෝ සෙයින් වාර්තා වී තිබේ. වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය බරපතල සැළකිල්ල ප්‍රකාශ කොට ඇත්තේ ඒ නිසා ය. රටෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් සැබැවින්ම උනන්දුවනන්ගේ අවධානය ත්‍රස්තවාදය සහ බෙදුම්වාදය ගැන කියා තවදුරටත් වෙනතක හැරවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට නොහැකි ය. කළ යුතුව ඇත්තේ අප කලින් ද කී පරිදි වත්මන් ශ්‍රී ලාංකික සමාජය ලක්ෂිත වන්නා වූ ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩත්වයට හේතු වූ මූල හේතූන්ට පිළියම් කිරීම ය.’’

අනීවාර්යයෙන් ම සිළුමිණ කතුවරයා විසින් ජාතකය සෙවිය යුතු මේ වචන අයත් වන්නේ අන් කිසිවකුට නොව ජීනීවා හි ශ්‍රී ලංකා තානාපතිනිය වන තමාරා කුනනායගම්ට ය. ප්‍රශ්ණය ත්‍රස්තවාදය නොව දේශපාලන බව ඇය කියූ යේ මෙයට වසර 23කට පෙර 1987 දී ලෝක ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරය වෙනුවෙන් කතා කරමිනි. එකළ ම මහින්ද රාජපක්ෂ නම් විපක්ෂ දේශපාලනඥයාට ජිනීවා හි මානව හිමිකම් කොමිසම හමුවට යෑමට උදව් කළ එක් අයෙක් බවට ඇය පත් විය.

මහින්ද රාජපක්ෂ හෝ තමාරා කුනනායගම් හෝ එදා දැරූ අද නොදැරීම ඔවුන්ගේ අයිතිය වේ. ඒ ගැන අපට වාද කළ හැකි නමුත් වෙනස් අදහස් දැරීම නිසා ඔවුන්ට ලේබල් ඇලවීම හෝ බිය ගැන්වීම අපේ පිළිවෙත නොවේ. අපි බොහෝ දෙනෙකු කලින් කළ දේශපාලන අදහස් විවිධ හේතූන් උඩ වෙනස් කරමු. ප්‍රශ්ණය ඇත්තේ කවරකු හෝ දරන දේශපාලන අදහස් උඩ ඒ පුද්ගලයාගේ මානව අයිතීන් කෙළෙසීමය. මේ අවස්ථාවේ දී සිදුව ඇත්තේ මාගේ පමණක් නොව මිය ගොස් සිටින මගේ මාපියන්ගේ ද ජිවත්වන මගේ සමීපතමයින්ගේ ද අයිතීන් කෙළෙසීම ය.

මෙම ප්‍රහාරය සඳහා යොදා ගැනුනේ් රාජ්‍ය නායකයකු ද පටැලැවූ අමූලික බොරුවක් ය යන කාරණය විසින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍යයේ ඛේදනීය තත්ත්වය පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ද කණගාටුදායක තත්ත්වය යි.

සුනන්ද දේශප්‍රිය