සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

ඉරණමඩු ප්‍රදේශයේ සිවිල් වැසියන්ට හමුදා ප්‍රහාරයක්, දහ දෙනෙකුට තුවාල

කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ මඩු හංදියේ දී පෙරේදා (දෙසැම්බර් 6) රාත්‍රී අටට පමණ සිංහල තරුණයින් සහ ප්‍රදේශයේ ජනතාව අතර ඇති වූ නොසන්සුන්තාවයකින් පසුව, එම ස්ථානයට පැමිණ ඇති හමුදාව, සිවිල් වැසියන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී, එක් තරුණයෙකුට සිහි නැති වී ඇති අතර දහදෙනෙකුට තුවාල සිදුව තිබේ.

මෙම ප්‍රදේශයේ කඩයකට ගොස් ඇති සිංහල තරුණයින් හතර දෙනෙකු බඩු වගයක් මිලදී ගෙන ඇත. මෙම පිරිස ගත් බඩුවලට මුදල් ලබා දී ඇති අතර එයින් ඉතිරි වූ මුදල් එම කඩෙහි මුදලාලි විසින් ආපසු තරුණයින්ට ලබා දී තිබේ. නමුත්, මෙම ඉතිරි මුදල් ආපසු ලබා නොදුන් බව පවසමින් ඉහත කී තරුණයින් මුදලාලි සමග ආරවුලක් ඇතිකරගෙන ඇත. එයින් පසුව, මෙම ආරවුල විසඳීමට මැදිහත් වූ මුදලාලිගේ සහෝදරයෙකුට සහ අවට ප්‍රදේශයේ වැසියන්ට ද මෙම තරුණයින් පහර දී තිබේ.

ඉන්පසුව, සිවිල් වැසියන් සහ මෙම තරුණයින් සිව් දෙනා අතර ගැටුමක් ඇති වූ පසු මෙම තරුණයින් දිවගොස් අසල තිබූ හමුදා මුරපොළේ සිටි හමුදා සාමාජිකයින්ට මේ බව පවසා ඇත. ඉන් පසු, අතට අසු වූ ආයුධ, පොලු මුගුරු සහ යකඩ කම්බි වැනි දෑ රැගෙන තිහකට අධික හමුදා සෙබලුන් පිරිසක් ගැටුම ඇති වූ ප්‍රදේශයට ගොස්, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම එහි සිටි සියලූම සිවිල් වැසියන්ට ඉතාමත්ම දරුණු ලෙස පහර දී ඇත. නිවෙස්වලට ද ඇතුලු වී ඇති හමුදාව, එහි සිටි වැසියන් එළියට ඇදගෙන විත් පහර දී තිබේ. මෙම හමුදා ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු සිහි නැති වී ඇද වැටී ඇති අතර දහ දෙනෙකුට තුවාල සිදු වී ඇත.

හමුදාව විසින් තුවාල ලැබූ දහයකට වැඩි පිරිසක් කඳවුරට රැගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකුට පැමිණිලි නොකරන ලෙසත් එසේ කළ හොත් දරුණු විපාක වලට මුහුණ දීමට සිදුවන බවත් පවසා තර්ජනය කර අනතුරුව රාත්‍රී දහයට පමණ මේ අයව නිදහස් කර තිබේ.

(තිනකුරල්, 2011 දෙසැම්බර් 8 වැනි දින මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියක සිංහල පරිවර්ථනයකි)