සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ටී 20 වත්තට පහර දී ලන්සා සිප ගැනීම

පසුගිය වසරේ දිනක, එක්වරම පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සාගේ නිවසට ඇතුළු විය. නිවස තුළ මත්ද්‍රව්‍ය තිබේදැයි යන්න සම්බන්ධයෙන් සෝදිසිකිරීමක් සිදුකිරීම විශේෂ කාර්ය බලකායේ අරමුණ විය. ආණ්ඩුවට විරුද්ධ උන් අතුරුදහන් වන යුගයක ආණ්ඩුවේ සුවච ගෝලයෙක්ට මෙවන් ඉරණමක් උදාවීම අතිශයින්ම අසාමාන්‍යය. මේ ආකාරයේ අණක් පැමිණියේ මන්ද යන්න පිළිබඳව විශේෂ කාර්ය බලකාය පවා බොහෝ වේලා කල්පනා කරන්නට ඇත. අවසානයේ විශේෂ කාර්ය බලකායට මත්ද්‍රවය හමු නොවීය. නමුත් තමන්ගේ කීර්තිනාමය විනාශ වූවා යැයි පවසමින් ලන්සා අමාත්‍යවරයා වැලපෙන්නට විය. ලන්සා ඇමතිතුමාගේ වැලපීම හමුවේ පඬුපුල් ආසනය රත්විය.

ජනාධිපතිතුමාත්, බැසිල් රාජපක්ෂ ඇමතිතුමාත් ලන්සා සනසන්නට මීගමු ගියෝය. ජනාධිපතිතුමාණෝ සිපබදා ගනිමින් ලන්සාගේ නැති වූ කීර්ති නාමය නැවත ලබා දුන්නේය.
එම පොලිස් විශේෂ කාර්ය බලකායම, පොලිස් නිළධාරීන් පිරිසක් සමග මෑත දිනයක, වනාතමුල්ලේ ටී 20 වත්තට ගොඩබැස්සේය. ටී 20 වත්තේ නිවෙස් වලට එබුණු පොලීසිය නිදාගෙන සිටි උන් පවා ඇදගෙන විත් වත්ත මැද්දට ගොඩ ගැසුවේය. උන්ගේ ඇඳුම් උනා දැමුවේය. සමහරෙක්ව මඩේ එබුවේය. සමහරෙක්ට පහර දුන්නේය. එසේ කළේ මත්ද්‍රව්‍ය සොයන්නටය. වරෙන්තුකරුවන් අල්ලන්නටය. නමුත් ඔවුන් අතර මත්ද්‍රව්‍ය නොතිබුණේය. එබැවින් පොලීසිය උන්ගේ සාක්කු වලට කුඩු ග්‍රැම් 5 බැගින් වීසි කළේය. අවසානයේ වත්තේ 33 දෙනෙක් පොලීසියට දක්කාගෙන ගියේය. අනපේක්ෂීතව අත්අඩංගුවට පත් වූවන්ගේ දරුවන්,බිරින්දෑවරුන් වැලපුණේය. නමුත් එදා ලන්සාට උණු වූ පඬුපුල් ආසනය මෙදා ටී 20 වෙනුවෙන් උණු නොවීය.

ටී 20 වත්තේ පිරිසට කළාක් මෙන් පොලීසිය විසින් ලන්සා ඇමතිගේ ඇඳුම් ප්‍රසිද්ධියේ උනා දැමුවේ නැත. මඩේ එබුවේ නැත. ලන්සාගේ සාක්කුවට කුඩු පැකට් දැම්මේ නැත. සිදු කළේ නිවස පරීක්ෂා කිරීම පමණි. (නිවස පරීක්ෂා කිරීමට අණක් පැමිණියේ ඇයිදැයි යන්න අප නොදන්නිමු. එය තවත් නාටකයක් වන්නට ඇත) නමුත් එය ලන්සා ඇමතිගේ හොඳ නමට කැලලක් විය. ලන්සා ඇමතිතුමාගේ නිවස පරීක්ෂා කරන විට ඔහුට කීර්ති නාමය අහිමි වීමටත්, ටී 20 වත්තේ මිනිස්සුන්ගේ ඇඳුම් ප්‍රසිද්ධියේ උනා දැමුවත්, ඔවුන්ව මඩේ එබුවත් ඔවුන්ට කීර්ති නාමය අහිමි නොවීමටත් හේතුව කුමක්ද? එකම රටක් තුළ එක් පුරවැසියෙක්ගේ කීර්තිනාමය නැතිවන විට එය නැවත ලබා දීමට ජනාධිපතිතුමා තකහනියක් යන විට එම රටේම තවත් පුරවැසියන් පිරිසකගේ කීර්තිනාමය පමණක් නොව ජීවත්වීමට ඇති අයිතිය පවා අමු අමුවේ විනාශ වෙද්දී ජනාධිපතිතුමාටවත්, බැසිල් රාජපක්ෂ ඇමතිතුමාටවත් එය දැනෙන්නේ නැත.

ලංකාව තුළ පහළ පාන්තිකයා උපතින්ම චූදිතයෙකි. ආර්ථික,සමාජීය, සංස්කෘතික දුබලතාවය නිසාම කිසිදු ආකාරයේ බලයක් පහළ පාන්තිකයාට උරුම වීමට නියමිත නැත. එබැවින් ඕනෑම අවස්ථාවක අහේතුකව පොලිස් පහර කෑමකට, අත්අඩංගුවකට පත්වීමකට මේ මිනිසුන් නියමිතව ඇත. පොලීසිය විසින් මොවුන්ගේ ජීවත් වීමේ අයිතිය පවා අහිමිකරමින් සිටියි. මෙම තත්ත්වය දකුණට පමණක් නොව උතුරටද අදාලය. අඩුගණනනේ ටී 20 වත්තේ මිනිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් හෝ සංවිධානය කළේය. නමුත් උතුරේ ජනතාවට එවන් හඬක්වත් නගන්නට හිමිකමක් අද නොමැත. ඔවුන්ට සදාකාලික නිහඬභාවයේ ගිලීමට පශ්චාත් යුධ පාලනය විසින් බලකර ඇත. මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිර උපදෙස් අපට අවශ්‍ය නොවන බවත්, අපටම කියා සදාචාර පද්ධතියක් ඇති බවත් පසුගිය කාලයේ දේශහිතෛශීන් විසින් පුන පුනා පැවසීය. ඉතින් ලංකාවේ පොලීසිය විසින් ටී 20 වත්තේදී ක්‍රියාත්මක කළේ අපටම උරුම වූ සදාචාරය විය හැකිය. මෙම සදාචාරය තුළ ලන්සා යනු කුමන දේ කළත් සිප වැළඳ ගත යුතු පුද්ගලයෙකි. නමුත් ටී 20 වත්තේ සිටින්නේ කුඩු නොවිකුණුවත් දඬුවම් ලැබිය යුතු මිනිසුන්ය. ඉතින් අප බටහිරට මැදිහත් වීමට ඉඩනොතබා ආරක්ෂා කර ගැනීමට වෙර දරන්නේ මෙවන් වූ සදාචාරයක්ද?

Pic by www.colombotelegraph.com