end of the War, Featured Articles, Features, Jaffna

මෙන්න..!යාපනයේ ඉඩම් හමුදාව ගිල ගන්නා අයුරැ..


වන්නි දිස්ත්‍රික්කවල දෙමළ ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනක් බලහත්කාරයෙන් අත්පත්කරගත් හමුදාව විසින් දැන් යාපනයේ දිස්ත්‍රික්කයේත් ඉඩම් අත්පත් කරගැනීමේ පළමු අදියර ලෙස අක්කර 61ක භූමියක් ගිලගන්නට තීරණය කර ඇත. මේ වන විටත් හමුදාව විසින් මේ සම්බන්ධයෙන් පිඹුරුපත් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෝපායි, නල්ලූර්, තෙල්ලිප්පලෛ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක තිබෙන අක්කර 61ක භූමි ප්‍රදේශයක් මෙලෙස හමුදාව විසින් අත්පත් කරගැනීමට සූදානම් වෙමින් සිටියි. මෙම ඉඩම් අත්පත්කර ගැනීමේ වැඩසටහනට, පෞද්ගලික ඉඩම් පවා ඇතුළත් කර ගැනීමට හමුදාව බලාපොරොත්තු වන බවට වාර්තා වේ. එපමණක් නොව ප්‍රාදේශීය සභා සහ දෙපාර්තමේන්තු වලට අයත් ඉඩම්ද රජයේ ඉඩම් වශයෙන් සලකා අත්පත් කරගැනීමට තීරණය කර ඇත.

කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 24ක පමණ ඉඩමක් ද, නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 2ක ඉඩමක් ද, තෙල්ලිප්පලෛ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 35ක ඉඩමක්ද හමුදාව විසින් මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටියි. තමන් ඉල්ලන ඉඩම් ලබා දෙන ලෙස අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ලේකම් වරුන්ට හමුදාව නියෝග කර ඇත. නමුත් පළාත් ඉඩම් කොමසාරිස් පී. දයානන්දන් පවසන පරිදි පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමේදී, ආරක්ෂක ලේකම්වරයා විසින් ඉඩම් අමාත්‍යාංශයෙන් ඉඩම් ලබා ගැනීම සම්බන්ධයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු වේ. එමෙන්ම රජයේ ඉඩම් වුවත් අත්පත්කර ගැනීමට පෙර ඒ ඉඩම් වෙනත් අයෙකුට පවරා ඇතිද යන්න පිළිබඳව සොයා තහවුරු කර ගැනීම අවශ්‍ය වන බව පී. දයානන්දන් තවදුරටත් පවසයි.

මෙම ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශ 3 හැර, පරුත්තිත්තුරෛ, කරෛනගර්, වලිගාමම් බටහිර යන ප්‍රදේශවල ඉඩම් ද අත්පත් කරගැනීමට හමුදාව උත්සාහ දරමින් සිටියි. යාපනයේ සිටින හමුදා සංඛ්‍යාව අඩුකරමින් සිටින බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටින නමුත් යාපනයේ ජනතාවගේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගන්නේ මන්දැයි ජනතාව විසින් කෝපයෙන් ප්‍රශ්න කරමින් සිටියි.

‛හමුදාවේ මේ ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය තුළ කිසිදාක ප්‍රතිසන්ධානයක් ඇතිවේදැයි සැක සහිත වන බවත්, එමගින් නැවතත් හමුදාවට එරෙහිව අරගලයක් ඇති වීමට ඉඩ ඇති බවත්,’ ඉඩම් අහිමි වූ අයිතිකරුවෙක් පවසා ඇත.

511 වෙනි බ්‍රිගේඩියර් විසින් යාපනයේ අත්පත් කරගනිමින් සිටින ඉඩම් පිළිබඳ දත්ත සමහරක්

උපුටා ගැනීම – සුඩර්ඔලි 2012 ජුනි 08

මේ අතර මාදගල් බටහිර (J/152) ග්‍රාමසේවක වසමේ කන්දසාමී ජයසීලන් නැමැත්තාගේ අක්කර 3ක පෞද්ගලික ඉඩමක බැතිමතුන් නවාතැන් ගැනීම සඳහා නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් ලැගුම්හලක් ඉදිකරමින් සිටියි. මාදගල් බටහිර ග්‍රාමසේවක වසමේ සම්බීල් ගම්මානයේ ඉදිකරමින් තිබෙන මෙම ලැගුම්හල නිරීක්ෂණය කළ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී අප්පාදොරෛ විනායගමූර්ති පවසන්නේ,

“2001 වර්ෂයේ මෙම ප්‍රදේශයේ බෞද්ධ විහාරයක් ඉදිකරලා තියෙනවා. එම විහාරය අසලම මෙම ලැගුම්හල ඉදිකරමින් පවතිනවා. පෞද්ගලික ඉඩමක සිදුවන මෙවැනි අත්තනෝමතික ක්‍රියා ගැන අපි පැමිණිලි කරන්නේ කොහේට ගිහිල්ල ද? මාදගල් බටහිර ග්‍රාමසේවක කොට්ඨාශයේ 2/3 ප්‍රදේශයේ තවමත් නැවත පදිංචියට ජනතාවට අවසර දීලා නැහැ. නමුත් එම ප්‍රදේශයේ ඉඩම් අත්නෝමතික ආකාරයට හමුදාව විසින් අත්පත් කරගනිමින් සිටිනවා.”

http://onlineuthayan.com/News_More.php?id=477561103308291422 ලිපියේ සිංහල පරිවර්තනයකි.