සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ලෝකය තමා වටේ කරකැවීම


වරෙක මහාචාර්ය නලින් ද සිල්වා සමග ‛යාත්‍රා’ පැවැත් වූ සාකච්ඡාවක දී ‛83 කලබල ගැන එතුමා ගේ අදහස මෙසේ පවසා සිටියේය.

’83 දී දෙමළුන්ට පහර දුන්නේ රස්තියාදුකාර පාදඩයන් පිරිසක් මිස සිංහලයින් නොවේ. සිංහලයෝ දෙමළුන්, ඔවුන්ගෙන් ආරක්ෂා කිරීමේ කාර්යයේ යෙදුනෝ වූහ.’ මෙහි දී පහරදුන් පාදඩයින් ගේ සිංහලකම වසන් කරන මහාචාර්යතුමා, දෙමළුන් රැකි පුද්ගලයින්ට පමණක් සිංහල බව ආරෝපණය කරන්නට ආඩම්බරයෙන් ඉදිරිපත් වෙයි. එතුමා සිය ‛දේශීය චින්තන න්‍යාය’ එළි දැක්වීමේ දී භාවිත කළ ක්‍රමවේදයම, මේ සඳහාත් යොදා ගන්නා බව පෙනේ. හේ තමා ගොඩනගන තර්කයට සහාය වන සාධක උනන්දුවෙන් එක් රැස් කරයි. එහෙත් එයට ප්‍රතිවිරුද්ධ සාධකයන් පිළිකුළෙන් යුතුව බැහැර කරයි. මෙය මෙතුමාට පමණක් ආවේණික පුරුද්දක් නොවේ. වරෙක මගේ මිතුරෙකු විසින්, වැන්කුවර් නුවර වෙසෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයෙහි අපේක්ෂකයෙකුද වූ ආර්.බී හේරත් විසින් දෙමළුන්ගේ ස්වයංනීර්ණ අයිතියට පක්ෂව ලියන ලද පොත් පිංචක් අරභයා අපූරු කියමනක් කියන ලදි.

‛ආර්.බී. අයියා ඔය පොත ලිව්වේ කොටින්ගෙන් සල්ලි අරන්’ දෙමළුන්ගේ ස්වයංනීර්ණ අයිතියට පක්ෂවන හැමෝම කොටින්ගෙන් සල්ලි ගත්තු උදවියද? කරුණා අම්මාන් ආණ්ඩුවට හේත්තු වුණේ සිංහල ආණ්ඩුවේ සල්ලිවලට කියා කියන කිසිදු සිංහලයෙකු මට හමු වී නැත. සමහරවිට දෙමළුන් එය එසේ යැයිකියනු ඇත.

අන්‍යාගම්කරණය පිළිබඳ බෞද්ධ අපේ මතය මෙයම නොවේද? සිංහල බෞද්ධයකු කතෝලික ආගම වැළඳ ගත්තේ නම් ඒ පල්ලියේ සල්ලිවලට යට වීම නිසාය. එනමුත් කතෝලික සුද්දෙක් බෞද්ධාගමට හැරුණොත් ඒ බුද්ධාගම ගැන පැහැදීම නිසාය. අපි අපට අවාසි සහගත දෑ සිදුවන විට එයට හේතුකාරක වූ අගතිගාමී සාධක සොයා යන්නෙමු. එහෙත් අපට වාසි සහගත සංසිද්ධීන්වල දී හේතු කාරක සාධක ප්‍රගතිශීලී යැයි පෙන්නා දෙන්නෙමු.

අපි ලෝකය අපේ වටේ කරකැවෙන්නේ යැයි සිතමින් ඒ ගැන සතුටු වන්නෙමු. එහෙත් ලෝකය වටා ගොස් සොයා බැලීමට උකටලී වෙමු.

මෙම ලෝකය තමා වටේ කරකැවීමේ පුරුද්ද අද වන විට මුළු ශ්‍රී ලාංකික සංස්කෘතියම ගිලගෙන ඇතැයි මට සිතේ. ශ්‍රී ලංකාවේ මුළු දේශපාලන කතිකාවම ලෝකය තමා වටේ කරකැවීමේ ව්‍යාපෘතියට යට වී තිබේ. එම ව්‍යාපෘතිය විසින් මුළු ලෝකයම තමා වටේ කරකැවිය යුතු යැයි සිතන්නට සිංහල ශ්‍රී ලාංකිකයින් හුරු කරමින් තිබේ. මෙය ලෝකය වටා ගොස් සොයා කිරා මැන බැලීමට වඩා පහසුය. සිතට සැනසුමක් ගෙන දේ. ලෝකයම තමා වටේ කරකැවෙන්නේ යැයි සිතා ගත් විට ලැබෙන ‛චූන් එක’ තලුමරමින් විඳින්නට ද හැකි වේ.

මහාචාර්ය නලින් ද සිල්වා මේ ලෝකය තමා වටා කරකැවීමේ ශ්‍රී ලාංකික සිංහල ව්‍යාපෘතියේ පෙරටුගාමී සෙනෙවියෙකි. මාක්ස්වාදයේ සිට ජාතික චින්තනයට තමා ගැසූ කරණම ගැන පැහැදිලි කරමින් ඔහු ලියූ පොත ‛මගේ ලෝකය’ වූයේ අහම්බෙන් නොවේ.

දැන් දැන් සියලුම ශ්‍රී ලාංකිකයෝ මගේ (තමන්ගේ) ලෝකයන් ගොඩනඟා ගනිමින් එහි සතුට භුක්ති විඳීමට මහත් අභිමානයෙන් පුරුදු වෙමින් සිටිති.

ප්‍රභාකරන් නොමැති ලෝකයේ වත්, මේ ‛මගේ ලෝකය’ බිඳ දැමීමට හැකි ජගතා කවරෙක්ද?

සචින් අරුණෝද් ජයනෙත්ති