Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාවෙහි අන්තර් ජාතික මැදිහත්වීම් කොයිබට ද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසි වන (ජූනි 2012) සැසිවාරය පසුගිය සදුදා ඇරඹුනි. එනමුත් මෙවර කොළඹ සිවිල් සමාජයෙන් කිසිදු නියෝජිතයකු කවුන්සිල සැසි වාරයට පැමිණ නැත. ඒ අතර මෙම සැසි වාරයට සහභාගි වන ලංකාණ්ඩුවේ නියෝජිත පිරිසට ඇමැතිවරයකු හෝ තානාපතිවරයකු හෝ නැත. මහ කොමසාරිස් නවී පිල්ලේ ගේ ආරම්භක දේශනයෙහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙක් කිසිවක් ඇතුළත් වූයේ ද නැත.

එනමුත් අන්තර් ජාතික දෙමළ ප්‍රජාව නියෝජනය කරන පිරිස් විවිධ රටවල සිට පැමිණ කවුන්සිලයේ මෙම සැසිවාරයට සහභාගි වී සිය න්‍යාය පත්‍රයන් පෙරට ගැනීම පිණිස කටයුතු කරමින් සිටිති. එම කරුණ විසින් ද පෙන්නුම් කැරෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ජාතික අවධානයේ නාභිය ‘දෙමළ ප්‍රශ්ණය’ බවට පත්වන සැටි ය.

කෙසේ වෙතත් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන මෙන්ම මාර්තු මස පැවැති 19වන සැසි වාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ජන්දය දුන් රටවල් සැප්තැම්බර් මාසයේ දි පැවැත්වෙන 21වන සැසි වාරයේ දී ශ්‍රී ලංකාව යළි සාකච්ජාවට ගෙන එනු ඇතැයි අපේක්ෂා කැරේ. එමෙන්ම නොවැම්බර් මුලදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යූ.පී.ආර්. සැසිය ද තවත් එවැනි අවස්ථාවක් බවට පත් වනු ඇත. එම ඉදිරි අවස්ථාවන්හි දී වැඩි බරක් ‘දෙමළ ප්‍රශ්ණයට’ අදාළ කරුණූ සම්බන්ධයෙන් ඇති වීමට ඇති ඉඩ වැඩිය. එනයින් යළි ශ්‍රී ලංකාව ‘දෙමළ ප්‍රශ්ණය’ මධ්‍යයෙහි ඇතිව අන්තර් ජාතික බලපෑමේ න්‍යාය පත්‍රයෙහි යළි ඉස්මතු වනවා ඇත.

මෙම අන්තර් ජාතික මැදිහත්වීම් හෝ බලපෑම් අවම කර ගැනීමට නම් ශ්‍රී ලංකාව උගත් පාලන කොමිසමේ යෝජනා අතුරින් විශේෂයෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් යටතට ගැනෙන යෝජනා සහ දේශපාලන විසදුමක් අවංකව ක්‍රියාවට නැංවීමට පියවර ගැනීම අවශ්‍ය ය. නමුත් එවැනි ලැදියාවක් රාජපක්ෂ ආණ්ඩුව තවම පෙන්වා නැත. බොහෝ දේශපාලන විචාරකයින් පෙන්වා ඇති පරිදි එවැනි සමාජ දේශපාලන ප්‍රතිසංස්කරන ඇති කිරීම රාජපක්ෂ පාලනයේ පදනම් පුපුරුවා හැරීමට තරම් බලවත් වන බැවින් ඒවා ක්‍රියාවට දැමෙනු ඇතැයි විශ්වාස කිරීම උගහට ය.

අනෙත් අතට තවමත් යුද ජයග්‍රහණ උන්මාදයෙන් මෝහනයට පත්ව සිටින බහුතර සිංහල සමාජය තුලින් උගත් පාඩම් කොමිසමේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් යෝජනා ක්‍රියාවට නැංවිය යුතු බවට ප්‍රබල හඩක් ද නැත. දකුණේ දේශපාලන සමාජය දරුණූ අභ්‍යන්තර ඛෙදීම් හමුවෙහි සිය මුලිකත්වය ලෙස සළකන්නේ රටෙහි නායකත්වය අල්ලා ගැනීම පිළිබඳ ප්‍රශ්නය නොව සිය පක්ෂයේ නායකත්වය අල්ලා ගන්නේ හෝ දිගටම අල්ලා ගෙන සිටින්නේ කෙසේ ද යන ප්‍රශ්නයට ය.

පසුගිය සතියේ මෙම තීරුවෙහි සාකච්ජා කළ පරිදි ශ්‍රී ලාංකික දේශපාලන සමාජය තුළ කේන්ද්‍රාභිසාරී ගතිකත්වයක් දක්නට ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව තුළ ය. ඒ අන්තර් ජාතික බලපෑමක් අපේක්ෂාවෙනි. අනෙත් අතට සිංහල බහුතර ප්‍රජාවෙහි ක්‍රියාත්මක දේශපාලන පක්ෂ වත්මන් තත්ත්වයෙහි වෙනසක් අපේක්ෂා කරන්නේ අන්තර් ජාතික මැදිහත් වීමකට වඩා පාලක දේශපාලන පක්ෂය හෝ රාජපක්ෂ රිජිමය පරාජය කිරීම මගිනි. ඒ සඳහා අන්තර් ජාතික මැදිහත්වීමක් තීරණාත්මක සාධකය විය යුතු යැයි දකුණේ දේශපාලන පක්ෂ කිසිවක් කල්පනා කරන්නේ නැත. ඊට ප්‍රතිවිරුද්ධව උතුරෙහි දේශපාලන සමාජය සිය අයිතිවසිකම් දිනා ගැනීමේ ප්‍රධාන සාධකය ලෙස සළකන බව පෙනෙන්නේ අන්තර් ජාතික සාධකය යි.

එමෙන්ම පසුගිය කාලය පුරා අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ලද අවධානය මූලික වශයෙන්ම එල්ල වූයේ ද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධයෙනි. එම අවධානය දෙ ආකාර ය. පළමුවැන්න යුද්ධයේ අවසන් අදියරෙහි සිදුවූ බවට චෝදනා කැරෙන අන්තර් ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පරීක්ෂා කොට වරදකරුවන්ට දඩුවම් පැමිණ වීමය. වෙනත් වචනයෙන් කියන්නේ නම් යුද අපරාධයන්ට දඩුවම් පැමිණ වීමය. වැනල් 4 වැනි මාධ්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන යන වාර්තාකරනයේ එල්ලය ද මූලික වශයෙන්ම රජයේ හමුදා විසින් කරන ලදැයි කියන යුද අපරාධයන් ය. දෙවැන්න නම් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට තමන් විසින් තමන් පාලනය කර ගත හැකි දේශපාලන ව්‍යුහයක් ඇති කළ යුතුය යන්න ය.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දරන ප්‍රධාන ලැදියාව වශයෙන් පෙනෙන්නේ යුද අපරාධ සහ වගවීම පිළිබඳ කාරණා ය. මාධ්‍ය නිදහස, නිදහස් ස්වාධීන කොමිසම් සභා, නීතියේ පාලනය යනාදිය එන්නේ ඊට පසු පසිනි.

ඉන්දියාවෙහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩ නැගෙමින් පවත්නා දේශපාලන මතවාදයේ කේන්ද්‍රය පමණක් නොව සමස්ත බලපෑමේ ව්‍යාපාරය පදනම් වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට දේශපාලන විසදුමක් ලබා දිය යුතුය යන්න ය. තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුනානිධි විසින් නායකත්වය දෙන කළක් අක්‍රීයව පැවැති දෙමළ ඊළාම් සහයෝගිතා ව්‍යාපාරය දැන් කෙලින්ම වෙනම රාජ්‍යක් ලබා ගත යුතුය යන අදහස ප්‍රචාරය කරමින් සිටී.

මෙම දේශපාලන ගතිකත්වයන් සළකා බලන විට අපට පෙනෙන්නේ ඉදිරි කාලයෙහි ශ්‍රී ලංකාවට එල්ල වන අන්තර් ජාතික තෙරපුමෙහි කේන්ද්‍රය වනු ඇත්තේ යුද්ධයෙහි දී සිදු කරන ලද හිමිකම් කෙළෙසීම් ගැන වගවීම පිළිබඳ ප්‍රශ්ණය සහ ඒ හා නිසඟයෙන්ම බැදී එන දේශපාලන විසදුමක් පිළිබඳ ප්‍රශ්නය බව ය.

ශ්‍රී ලංකාවෙහි අද පවත්නා දේශපාලන බලවේග පෙළගැස්ම අනුව උක්ත කාරණා දෙක අරභයා පාලක බහුතර සිංහල ප්‍රජාව අතර ප්‍රබල අභ්‍යන්තර බලපෑමක් ඇතිවනු ඇතැයි සිතීම දුෂ්කරය. එබැවින්ම දේශීය සහ අන්තර් ජාතික දෙමළ දේශපාලන බලවේගයන්ගේ මූලික අරමුණ ලෙස දක්නට ඇත්තේ ද අන්තර් ජාතික නොහොත් බාහිර බලපෑම් මත රඳා පැවතීම යි.

එනමුත් මෑත කාලීන අන්තර් ජාතික අත්දැකීම්වලින් පෙන්වා දෙන්නේ බාහිර එනම් අන්තර් ජාතික බලවේගයන්ගේ ඍජු මැදිහත්වීම මගින් ඇති කැරෙන දේශපාලන වෙනස්කම් එතරම් සාර්ථක වන්නේ නැති බව ය.

මැද පෙරදිග සොළවා ලු අරාබි වසන්තය දෙස බැලු විට අපට මෙම තත්ත්වය ඉතා පැහැදිලිව පෙනේ. අරාබි වසන්තය විසින් ඇති කරන ලද සමාජ පෙරළි හෝ විප්ලවයන් අතුරින් වඩාම සාර්ථක වී ඇත්තේ බාහිර බලපෑම් අවම වශයෙන් ඇතිව ජයග්‍රහණය කරා ගමන් කළ ඒවාය. එහිලා ආරබි වසන්තයයේ ප්‍රථම නැගි සිටීම වූ ටියුනීසියාව පෙරමුනෙහි සිටී. වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී වෙනසක් ඇති ව තිඛෙන්නේ එරටෙහි ය. මන්ද යත් එරට විප්ලවයේ හිමිකාරකම එරට ජනයා සතුව ඇති නිසා ය. විදෙස් හමුදා හෝ බලපෑම් එහිලා අවම විය.

එවැනි අනෙක් උදාහරණය ඊජිප්තුවයි. තවමත් අවසානයක් දැක නැති වුව ද ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්ථනයක් සඳහා අවශ්‍ය කරන බලවේග එරට තුළ පවතී. ඊජිප්තු විප්ලවයේදී ද බාහිර මැදිහත්වීම් පැවැතියේ අවම මට්ටමක ය. තහීර් චතුරශ්රය අල්ලා ගෙන සිටි තරුණ බලමුළුව සහමුලින්ම දේශිය නිශ්පාදනයක් විය. ඊජිප්තු විප්ලවය එරට ජනයාට අයත් ය.

මෙම අත්දැකීම් දෙකට වඩා සහමුලින්ම වෙනස් විපාකයක් අපට ලිබියාවෙහි දී දක්නට ලැබේ. ලිබියාවෙහි සිදු වූ බටහිර යුද්ධමය මැදිහත්වීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලයේ යෝජනාවක් මගින් අනුමත කරන ලද එකක්ව තිබියදීත් එය විසින් ඇති කරන ලද ‘විප්ලවය’ ලේවැකි සහ ඛෙදී විසිර ගිය එකක් බවට පත් විය. එම සන්නද්ධ නැගිටීම අනීවාර්ය ලෙසම සිදුවිය යුතුව තිබුණේ යැයි තර්ක කිරීමට ද පුලූවන. එනමුත් මෙහිලා අප උනන්දු වන්නේ එම මැදිහත්වීමට හේතු වූ කාරනා ගැන නොව එය විසින් ඇතිකරන ලද විපාක ගැනය. යේමනයේ ඇති වූ තත්ත්වය ද යම් දුරකට මේ හා සමානය.

ශ්‍රී ලංකාවේ ම අත්දැකීමක් නම් 1987 ඉන්දු ලංකා ගිවිසුම ය. යහපත් පරමාර්ථයෙන් ඇති කරන ද නමුදු ඉන්දීය බලපෑම යටතේ ඇති කරන ලද බැවින් 13වන සංසෝධනය සහ පළාත් සභා ක්‍රමය සුජාත බවත් ලබා ගැනීමට අසමත් විය. නිදහස් ශ්‍රී ලංකාවෙහි ඇති වූ දැවැන්තතම සිවිල් විරෝධතාවයක් බවට පත් වූ ඉන්දු ලංකා ගිවිසුම් විරෝධි උද්ඝෝෂනය නිර්මාණය කිරීමට ජවිපෙ සහ ශ්‍රිලනිපය සමත් වූයේ බාහිර මැදිහත්වීමක් පරාජය කිරීමේ තේමාව යටතේ ය. අද පවා එක්සත් ජාතීන්ගේ කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව අරභයා බහුතර මතය බවට පත්වන යෝජනා යනාදිය සම්බන්ධයෙන් සිංහල ජනයා අතර විරෝධයක් ගොඩ නැංවීමට පාලක රිජීමය සමත් වන්නේ බාහිර මැදිහත්වීම් විරෝධී පසුබිම යොදා ගනිමිනි.

එසේ නමුත් ඊට පටහැණිව 1971 දී නැගෙනහිර පකිස්ථානයෙහි ඉන්දියාව විසින් සිදු කරන ලද හමුදාමය මැදිහත්වීම මහජන ප්‍රසාදයට හේතු විය. එම මැදිහත්වීම විසින් අවසානයේ දී ස්වාධීන රාජ්‍යක් වූ බංගලදේශය බිහි කරන ලදී. එමගින් ද පෙන්වා දෙන පරිදි සුලූතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ වෙනුවෙන් බාහිර බලපෑම් ඇති වූ අවස්ථාවන්හි ඒවා සාර්ථකත්වය ලබා ගෙන ඇත්තේ බොහෝ දුරටම වෙනම රාජ්‍යන් බිහි කිරීම කරා එකී අභ්‍යන්තර ගතිකත්වයන් පෙළඹවීම මගිනි. නැගෙනහිර ටිමෝරය, දකුණු සූඩානය සහ ඉරිත්‍රියාව ඒ සඳහා උදාහරණ සපයයි. අප අමතක නොකළ යුත්තේ ඒ සෑම අවස්ථාවකදීම ස්වාධින රාජයන් බිහි කිරීම කරා සාධනීය බලපැමක් සහිත දේශීය සහ බාහිර බලවේගයන්ගේ ඒකාබද්ධවීමක් වර්ධනය වූ බවයි.

අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නැත. ශ්‍රි ලංකාව දෙකඩ වී වෙනම රාජ්‍යන් දෙකක් බවට පත් විය යුතු යැයි ඇත්ත වශයෙන්ම විශ්වාශ කරන හෝ එම මතය වෙනුවෙන් පෙනී ජාතික සහ අන්තර් ජාතික බලවේග නැති තරම් ය. සිටිය ද ඒවා දුලභ ය. දුර්වලය.

ශ්‍රී ලංකාවේ ඇතිවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සමාජ සාධාරණවාදී වෙනසක් ද බවට පත්කරමින් එහි මූලිකත්වය දේශීය බලවේග විසින් අල්ලා ගතයුතු සහ අල්ලා ගත හැකි එක් පදනමක් නිර්මාණය කරන්නේ අන්න ඒ යථාර්තය විසිනි. ශ්‍රී ලංකාව සම්බන්ධ අන්තර් ජාතික මැදිහත්වීම් ද්විතීයක කරමින් දේශීය සාදක මූලිකත්වයට ගැනෙන මුලෝපායක් ගොඩ නගා ගැනීමට අපට නොහැකි වුව හොත් අප ගමන් කරනු ඇත්තේ යළි ව්‍යසනයක් කරා ය.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]