Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘නිමල්රූබන්ට ප‍්‍රහාර එල්ල කරලා තියෙන්නෙ රජයේ ඉහළ නියෝග මතයි’ – එම්.ඒ.සුමන්තිරන්


දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

මෙම පිරිසට විරුද්ධව නීත්‍යාණූකූල පියවර නොගන්නේ නම්, රජයේ ඉහළින් දුන් නියෝග වලට අනුව මේ ප‍්‍රහාරය සිදු වූ බවට තමන් ඇතුළු පිරිස සතුව පවතින සාක්ෂි ඔප්පු වන සුමන්තිරන් මන්ත‍්‍ර‍්‍රීවරයා පවසයි. මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන සුමන්තිරන්,

‘රජයේ ආරක්ෂාව යටතේ සිටි සිරකරුවෙකුට මිලේච්ඡු ලෙස ප‍්‍රහාර එල්ල කර ඝාතනය කිරීම අපරාධයක්. ඒ වගේම සිරකරුවාගේ දෙමව්පියන් වෙත මළසිරුර භාර නොදීමත්, අවසාන කටයුතු නිදහසේ කිරීමට අනුමැතිය නොදීමත්, බරපතල අපරාධයක්.’

‘පසුගිය මාසයේ වව්නියාව බන්ධනාගාරයේ සිරකරුවන් වෙත බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් දරුණු ලෙස ප‍්‍රහාර එල්ල කර තිබුණා. මේ ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ නිමලරූබන් පසුව මිය ගියා. එක් අයෙක් ‘කොමා’ තත්ත්වයේ සිටින අතර, තවත් පිරිස් තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවෙනවා.’

‘ප‍්‍රහාරයෙන් ඝාතනය වූ නිමලරූබන්ගේ සිරුර දෙමව්පියන්ට භාර දීමට රජය ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. ගම්පහ දිස්ත‍්‍රික්කයේ භූමිදාන කිරීමටද රජය සැලසුම් කරලා තියෙනවා. මෙම ක‍්‍රියාව මහ අපරාධයක්. නිමලරූබන් ඝාතනය පිළිබඳව රජය වගකිව යුතුයි. එම සිරකරුවාගේ ඝාතනය පිළිබඳව සත්‍යය වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හෙලි කළ යුතුයි.’

‘මෙම ප‍්‍රහාරයෙන් අත්, කකුල් කැඩුණු අනෙකුත් සිරකරුවන් මහර සහ බෝගම්බර බන්ධනාගාරවලත්, රෝහල් වලටත් ඇතුළත් කරලා තියෙනවා. නිමලරූබන්ගේ මරණය හෘදයාබාධයකින් ඇති වූ බව පුනරුත්තාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමති පැවසුවත්, සිරුරේ බොහෝ තැන් වල බරපතල තුවාල තිබූ අයෙකු හෘදයාබාධයකින් මිය ගිය බව කියන්නෙ කොහොමද? මේ පිළිබඳව රජයේ සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හෙලි කළ යුතුයි. දෙමළ දේශාපලන සිරකරුවන්ට එරෙහිව මෙවැනි ප‍්‍රහාර ඉදිරියේදීත් සිදු නොවන අන්දමට රජය වගබලා ගත යුතුයි.’ [උපුටා ගැනීම උදයන් -2012 ජූලි 09]