Featured Articles, Features, Jaffna

පළාත් සභා ප්‍රතික්ෂේප කරන්න – දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලති


දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිළි නොගන්නා ඒකීය ලංකාවක් මත පදනම් වූ වත්මන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන මෙන් දෙමළ විද්වතුන්, නීතිවේදීන්, අධ්‍යාපනවේදීන් සහ පූජ්‍ය පක්ෂයේ නායකයන් ඇතුළු සිවිල් සමාජ නායකයන් පිරිසක් දෙමළ ජාතික සන්ධානයෙන් (ටීඑන්ඒ) ඉල්ලා සිටිති.

ඉන්දීය මැදිහත්වීමෙන් සම්මත කරගන්නා ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීමේ ආරම්භක පියවරක් ලෙසින් හෝ සැලකිය නොහැකි බව පවසන ප්‍රජා නායකයන් පිරිස, උතුරු නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම බව පිළිගැනීම ඕනෑම දේශපාලන විසඳුමකට පදනම විය යුතු බව අවධාරණය කරති.

එලැඹෙන නැගෙනහිර පළාතේ මැතිවරණයට ටීඑන්ඒ පක්ෂය තරඟ කිරීම සම්බන්ධයෙන් තම මතය පළ කරමිනුයි, ප්‍රජා නායකයන් පක්ෂයට එම ලිපිය යොමු කොට තිබෙන්නේ.

උගත් පාඩම් කොමිසම

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වීමෙන් මාස ගණනාවකට පසුවත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත් පත් කරගැනීම, දේශපාලන සිරකරුවන් රඳවා තැබීම, අතුරුදන් වූවන් සොයා දීමේ ක්‍රමවේදයක් නොමැති වීම, උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට කෙරෙන හමුදාවේ බලපෑම් ඇතුළු දෙමළ ජනතාව පෙලන කිසිදු ගැටලුවකට පිළියම් යෙදීම වෙනුවට සිදුවී තිබෙන්නේ ඒවා එන්න එන්නම උත්සන්න වීම බව, එම ලිපියේ සඳහන් වෙයි.

ආණ්ඩුවේ සහාය ලබන වෙනත් දෙමළ පක්ෂයක් නැගෙනහිර පළාත් සභාවේ බලය අත් පත් කරගැනීම වැළැක්වීමේ කෙටිකාලීන අරමුණකින් ටීඑන්ඒ පක්ෂය මෙම පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම තමන් අනුමත නොකරන නමුත්, පක්ෂය දැනටමත් එම තීන්දුවට එලම්බී ඇති හෙයින් තම ලිපියේ අඩංගු යෝජනා පක්ෂයේ මැතිවරණ න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රජා නායකයෝ පවසති.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමත්, ඉන් අනතුරුව ප්‍රකාශයට පත්කෙරුන එය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජත්‍යන්තර ප්‍රජාව රැවටීමේ සහ කල් මැරීමේ උපක්‍රමයක් බව ලිපියට අත්සන් තබා තිබෙන ප්‍රජා නායකයන්ගේ මතයයි.

මන්නාරම රදගුරු රායප්පු ජෝසප්, හින්දු ආගමික මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් කේ සිත්‍රම්පලම් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ජ්‍යේෂ්ට නීතිවේදීන්, යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ආර් කුමාරවඩිවේල් ඇතුළු වෛද්‍ය විශේෂඥයන්, විදුහල්පතිවරුන් සහ පාසල් ගුරුවරුන් සහ ධීවර හා සමූපකාර නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ලිපියට අත්සන් තබා තිබේ.

උපුටා ගැනීම – www.bbc.co.uk/sinhala/