සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන්පසු, දිල්රුක්ෂාන් රැදවියාත් මියයයි


වව්නියාව බන්ධනාගාරයේ සිදුකළ මිලේඡ්ච ප්‍රහාරයෙන් පසු කෝමා තත්ත්වයේ සිටි මරියදාස් නේවිස් දිල්රුක්ෂාන් අද(08) පාන්දර 02.40ට මිය ගොස් ඇතැයි වාර්තාවේ. යාපනයේ පතයිපූරු ප්‍රදේශයේ පදිංචි කරුවකු වන දිල්රුක්ශාන් 34 හැවිරිදි තරුණයෙකි. දිල්රුක්ෂාන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව දිල්රුක්ෂාන්ගේ මව හදුනාගත්තේ පසුගිය ජූලි 7වනදා රාගම රෝහලේදීය. මෙසේ ඔහු රෝහල් ගත කරන්නට සිදුවුයේ පසුගිය ජූනි 29 වව්නියාව බන්ධනාගාර‍යෙදී ඇතිවූ නොසන්සුන්තාවයේදී දිල්රුක්ෂාන් ඇතුලු සිරකරැවන්ට බන්ධනාගාර නිළධාරීන් විසින් එල්ලකරන ලද මාරාන්තික ප්‍රහාරයේදී ය. එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි ගනේෂන් නිමලරූබන් පසුගිය ජුලි 24වනදා වව්නියාව, නෙලුකුලමේදී අවසන් ගමන් ගොස් අදට හරියටම දින 15කට ආසන්නය.

මරියදාස් නේවිස් දිල්රුක්ෂාන් අද ‍මෙසේ ඝාතනයට ලක්වන අවස්ථාව වන විට ව්ව්නියාව බන්ධනාගාරය තුළ සිදුකල එම ප්‍රහාරයෙන්ම අසාධ්‍ය තත්ත්වයේ පසුවන රැදවියන් ප්‍රමාණයක් තවමත් සිටින බවත් වාර්තාවෙයි.

මේ පිළිබදව පසුගිය ජූලි 17වනදා අප වෙබි අඩවිය දිල්රුක්ෂාන් පිළිබදව පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් මහතා උපුටා දක්වමින් මෙසේ වාර්තා කලේය.

”රාගම රෝහලේ ‘කෝමා’ තත්ත්වයේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවෙකු වන දිල්රුක්ෂන් බැලීමට මමත්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මන්ත‍්‍රීවරයාත් රාගම රෝහලට සෙනසුරාදා(14) ගියා. ඔහු බැලීමට ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රිකවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ජනතා නියෝජිතයන්, නීතිඥවරුන් යන අයට අවසර නොදෙන ලෙස නියෝගකර තිබෙනවා. අපටත් මුලදි අනුමැතිය ලබා දුන්නේ නැහැ. පසුව බන්ධනාගාර කොමසාරිස්ට කතා කළාට පසු අනුමැතිය ලැබුණා.”

”දිල්රුක්ෂන් බැලීමට ගියත් වෛද්‍යවරුන් නොසිටි නිසා සෞඛ්‍ය තත්ත්වය කෙසේද යන්න අසාගැනීමට නොහැකි වුණා. ‘කෝමා’ තත්ත්වයේ සිටින ඔහුගේ කකුල් දෙකම දම්වැල් දමා බැඳ තිබුණා. ඔහු ප‍්‍රතිකාර ලබන කාමරය වටා ආරක්ෂක නිළධාරීන්ද සිටියා.”

”දිල්රුක්ෂන්ව බැලීමට එන ඔහුගේ දෙමව්පියන්ද දුෂ්කරතා වලට මුහුණ දෙනවා. ඔවුන්ට රාගමේ රෝහලේ සිටින තම පුතා බැලිය හැක්කේ මහර බන්ධනාගාරයට ගොස් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුවයි. ඔවුන්ට දිනපතා මෙලෙස අනුමැතිය ලබා ගතයුතු වෙනවා. මෙවන් දුෂ්කරතා වලට මුහුණ දෙමින් තම පුතාව බැලීමට පැමිණෙන දෙමව්පියන්ට දිල්රුක්ෂන්ව බැලීමට ලබා දී ඇත්තේ විනාඩි දෙකක් පමණි.”

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ ශිෂ්ඨ සමාජයක රෝගියෙකුටවත් හිමි මූළික අයිතවාසිකම් වත් දීමට බිය වූ ආණ්ඩුවක් බාරයේ සිටි තවත් රැදවියෙකුයි. ඒ තවත් මිනිසෙක් ය.