සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජපක්ෂගේ “චාවේස්‌ ආදරය”

“අපේ ප්‍රවේශයේ ඇති රහස කුමක්ද? එය පිහිටුවා ඇත්තේ මානව ශක්තිය මුදල් හම්බ කිරීමට වඩා දෙයක් මුදුන් පත් කර ගැනීමට හැකියි යන කාරණය මත. මානව ශක්තිය හුදෙක් දැනුම කෙරෙහි පමණක් නොව දේශපාලන සිහිනුවන, ආචාරධර්ම, එක්සත්කමේ සංවේදී භාවය, මානව හැඟීම්, කැපකිරීමේ ජීව ගුණය, වීරත්වය මෙන්ම ඉතා අඩු පහසුකම් යටතේ විශාල දෙයක් කිරීමේ හැකියාව කෙරෙහිද බිහි වූවක්.” – ෆිදෙල් කස්ත්‍රෝ ( 2005 දී ලතින් ඇමරිකානු වෛද්‍ය විද්‍යාලයේ පැවති ප්‍රථම උපාධි ප්‍රධානෝත්සවයෙදී)

z_new350[Photo Credit: www.dailynews.lk]

අවුල කොතනින් ලිහන්නේද? කවුරුන් ලිහන්නේද යන්න රාජපක්ෂට ඇති දැවෙන ප්‍රශ්නය වේ. රාජපක්ෂ විසින් කාලාන්තරයක් තිස්සේ කරමින් සිටි රැවටිලිකාර දේශපාලනය තවදුරටත් භූමිය තුළ වලංගු නැති බව තේරුම් ගනිමින් සිටින සැටියෙකි. එසේම මේ දකවා භාවිතා කළ ඉත්තන්ගේ හැසිරීම ඛේදනීය විහිළුවක් බවට පත් වෙමින් තිබේ. රටේ සාමානය ජනතාවටද රාජපක්ෂ අවුරු ගණනාවක් කියවන ජාතික සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේ වන විට තවත් කදිම විහිළුවක් වී තිබේ.

මීට වසර දෙකකට පමණ පෙර මා විසින් සඳහන් කළ ආකාරයටම අදත් කිව හැක්කේ කෙදිනක හෝ රාජපක්ෂ තමන්ගේ බලය රැක ගැනීම සඳහා මහජනයා ඉදිරියේ විලාප නගමින් හඬනු ඇත. ඒ වූ කලී වෙන කිසිවක් නොව එනම් රාජපක්ෂගේ කෛරාටක දේශපාලන භාවිතය එය වේ. ඔහු එවැනි කෛරාටක බොරු කාරයෙකි. ඔහු කෙසේ හෝ අනුකම්පාව ලබා ගනිමින් තම පුද්ගලික සුඛ විහරණය සොයන විනාශකාරී හිතුවක්කාර පුත්‍රයෙකි. රාජ්‍යක් සහ එහි ක්‍රමයක් අරාජිකවාදයේ(මෙය ඇනාකිසම් නමැති ගැඹුරු දේශපාලන සංකල්පය ලෙස සිතා පටලවා නොගත යුතු මුලික කාරණයකි) විනාශකාරී දිශාවේ අන්තගත වී සිටින්නෙකුට පවත්වා ගැනීමට හෝ නඩත්තු කිරීමට නොහැකිය. මන්ද ඔහු රාජ්‍යට මෙන්ම එහි සංස්ථාවන්ට ඇති අධික බිය හෙයින් සෑම විටම එය සතුරෙකු ලෙස දකින්නේය. රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම විනාශ කළේ මීට වසර කිහිපයකට පෙර වන හෙයින් රාජ්‍යක් ගැන ඔහුගේ හැඟීම් ගැන කවර කථාද.

අගවිනිසුරුවරියට එරෙහි ඔහුගේ (අ)මානුෂීය මෙහෙයුම වූ කලී ඇයට එරෙහි පුද්ගලික ගැටලුවක් නොව සමස්ත ක්‍රියාදාමයම කාමුක බල ලොභියෙකුගේ ගොදුරක් වීමේ පියවරක් ලෙස බහුතරයක් තේරුම් ගැනීම සහ ඔවුහු ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටීම කදිම සමාජීය පරිණාමයක් වන අතර එය දුෂීත දේශපාලනයෙන් මුක්ත කොට තබා කටයුතු කිරීමද අග්‍රගන්‍ය වේ. අගවිනිසුරුවරියද මෙය අඛණ්ඩව පැහැදිලි කිරීම ප්‍රඥාවන්තය. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට මෙරට ගැටලු විසඳීමේ කිසිඳු වුවමනාවක් නැති බවත් ඔවුහු සියල්ලම පරපෝෂිතයින් බවත් ජනතාවගේ දෛනික අත්දැකීම වේ. එහි දෛවෝපගත ගොදුරක් බවට පත් වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. මේ නිසා රාජ්‍ය නමැති රාමුවට ගරු කරමින් එය සම්බන්ධ කරන මුලික අංගයන් ශක්තිමත් කිරීම සහ ඒවාට හිමි ස්වාධීන බලය ශක්තිමත් කිරීම ගැන විස්වාශ කරන සියල්ලගෙන්ම සිදු විය යුත්තේ එහි මුලික හරයන් ජනතාවට ක්‍රමානුකූලව අවබෝධකර ගැනීමට අවැසි වටපිටාව නිර්මාණය කිරීමය.

අප, අප වැනිම තවත් මිනිසෙකුට බලය ලබා දී ඔහු අප රවටා දුෂ්ඨත්වය මුලික කරගනිමින් මර්ධනය ගෙන ගොස් ක්‍රෑර පාලකයකු වන්නේ නම්, අප ඔහුට ලබාදුන් බලය ආපසු ගැනීමේ කිසිඳු වරදක් නැත. එය අපට ගැනීමට හැකි බව අවබෝධ කරගැනීම සහ ඒ සඳහා අපට මුලික අයිතියක් ඇති බව විස්වාශ කිරීම මෙහිදී වැදගත් වේ. මෙම මුලිකාංගය ඕනෑම පාලකයෙකු ජනතා අභිමතාර්තයන්ගෙන් අපගමනය වූ විට වසා දැමීම සඳහා යන්ත දරයි. එය ඔහු සිදු කරනු ලබන්නේ; වර්තමානය නැති වුවහොත් කිසිදු විකල්පයක් නැති බව සිතීමට පුරුදු කිරීමෙනි. එය පාලකයාගේ අභිමතාර්ථය අනුව සකස් කරන රාමුවක් වන අතර එහිදී පාලකයා සියලු දෙනා අභිබවා සිටින යම් විශේෂයකු ලෙස අර්ථ ගන්වනු ලබයි. රාජපක්ෂ 60 රියන් බැනර් ගසමින්, සහ තමන්ගේ ආවතේවකරුවන් යොදා සිදුකරනු ලැබූ නොයෙක් මාදිලියේ ප්‍රචාරණ ව්‍යාපෘතියේ සැබෑ න්‍යාය පත්‍රය වූයේ එයයි. එය කිසිඳු වැදගැම්මකට නැති මිත්‍යාවකි. එය මිනිහෙක් මැරුණු පසු ලෝකයම විනාශ වේ යයි විශ්වාස කිරීම හා සමානය. එවැනි දෑ සංස්කෘතියේ අඩංගු වූයේ මිනිසා ගෝත්‍ර අවධියටත් පෙර සිටි කාලයේදීය. නමුත් මේ වන විට නරියෙකු පාට වෙනස් කළ පමණින් සිංහයෙකු නොවන බව තේරුම් ගැනීමට කිසිවෙකුට එතරම් කාලයක් ගත වන්නේ නැත. රාජපක්ෂ මෙන්ම රාජපක්ෂ වටා සිටින සියලුම දෙනා සමස්තයක් වශයෙන් සියලු දේශපාලනඥයින් වූ කලී ජනතාවගේ නිර්මාණයක් වන අතර ඔවුහු පාලනයට නුසුදුසුනම් මුලිනුපුටා දැමීමද ජනතාවට පැවරී ඇති යුතු කමකි. නමුත් ඔවුන් තමන්ගේ රූකඩ මාධ්‍ය හරහා වපුරා ඇති මිත්‍යාව මඟින් සාමාජ භීතිකාව ගොඩ නගා ඇත. එය සාමාන්‍ය ජනතාවගේ නිදහස මෙන්ම අවශ්‍යතාවයන් මර්ධනයට ලක් කරමින් ඔවුන්ට අසීමිත නිදහසක් ලබා දී ඇත. සමාජ ක්‍රමයක් ගොඩ නගාගත් සියලු රටවල් මෙම මිත්‍යාවට පයින් ගැසුවෝ වෙති.

තමන්ගේ රටේ සෞඛ්‍ය සේවය විනාශ කොට දමා, ඩෙංගු උවදුර නැති කිරීමට නොහැකි රාජපක්ෂ වෙනුසියුලාවේ ජනාධිපතිවරයාගේ පිළිකාව සුව කිරීමට වෛද්‍යවරු යැවීමට හැකි යයි ලොකු කතා කියන්නේ එහෙයිනි. චාවේස් තම පිළිකාව සඳහා ප්‍රතිකාර ගමින් සිටින්නේ ලෝකයේ ඇති හොඳම වෛද්‍ය පහසුකම් සහ හැකියාවන් ඇති රට වන කියුබාවෙනි. වෛද්‍යවරුන්ගේ වටනාකම තබා නීතිඥ විභාගෙට පෙනී සිටින නීති ශිෂයන්ගේවත් වටිනාකම් නොදන්නා, විශ්ව විද්‍යාල තබා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයවත් බොරුවක් නැතිව කිරීමට නොහැකි පාලකයෙකු ගෝලීය දේශපාලනයේ අතිශය වැදගත් මෙන්ම ආකර්ශනීය මැදිහත් වීමක් කළ නායකයෙකුට වෛද්‍යවරයෙකු ලබාදීමට කැමති යැයි කීම තුළ ඇති මානසිකත්වය තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නැත. බැලූ බැල්මට චාවේස් තමන්ගේ හූනියම් යන්තරේ ලෝකේ වටේ රැගෙන යමින් ඉන් තම සතුරා මෙන්ම මිතුරා වශී කරගැනීමට හැකි යයි සිතන සිංහල අන්තවාදී හින්දු අමන බමුණෙකු නොවේ. එය එසේ වූයේ නම් තමන්ගේ ශුක්‍රාණු අනුන්ගේ බිරින්දෑවරුන්ට රහසිගතව දමා තමා දෙවියන් දුන් වරමකින් දරුවන් ලබා දෙනවා යයි කියමින්ම මහජනතාවගේ මුදල් මංකොල්ල කෑ හොරුන් සිටින අරලියගමන්දීරයේ මෙන්, වෙනුසියුලාවේ කරාකස් හී උර්දනේටා පටුමගේ පිහිටි මිරෆොලොස් මන්දීරයේද හොර දොස්තරලාගෙන්, හොර කට්ටඩියන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. එවැනි මිත්‍යාවන් වලින් මහජන බදු මුදල් විනාශ කිරීමේ උමතුවක් ලතින් ඇමෙරිකාවේ බොහෝ නායකයින්ට නැත. රාජපක්ෂගේ කිසිඳු වැදගත් කමකට නැති ඇමෙරිකානු විරෝධය ලතින් ඇමෙරිකාව ආකර්ශනය කරාවී යයි කිව හැක්කේ රාජපක්ෂ විසින් පත් කොට ඇති රජවාසල කවටයින්ට මිස මහපොළවේ පය ගසා සිටින මිනිසුන්ට නොවේ.

රටේ ගොඩ නැගෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවය උගන්වමින් තිබෙන පාඩම වන්නේ; වරක් ඒබ්‍රහම් ලින්කන් කියූ ආකාරයෙන්; හැම මිනිසෙකුම සමහර වෙලාවට ඔබට මෝඩයින් කළ හැකිය. එසේම ඔබට ඇතැම් මිනිසුන් සෑම විටම මෝඩයින් කළ හැකිය. නමුත් ඔබට හැම මිනිහෙක්ම හැම විටම මෝඩයෙක් කළ නොහැකිය, යන්නයි. රාජපක්ෂ, චාවෙස්‌ගේ පිළිකාව සුව කරනු වෙනුවට, රාජපක්ෂට ඔහුගේ දේශපාලන පිළිකාවට අවැසි වෛද්‍යවරු සෙවීමට ළඟදීම සිදු වනු ඇත. අහිංසක මිනිසුන්ගේ සුනාමි අරමුදල් හොරකම් කිරීමේ සිට රාජ්‍ය ප්‍රතිපත්ති යයි කියමින් තම පුද්ගලික සුඛ විහරණ ඉලක්ක කරගත් නරුමවාදිගේ නරුම ගති එවිට නිරුවත් වනු ඇත. එවිට චාවේස් නොව චේස් අවේ(chase away) වනු ඇත.

Nilanthailangamuvaනිලන්ත ඉලංගමුව[Nilantha Illangamuwa]