Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

රාජපක්ෂගේ බිබික්කම් පොලිටික්ස්

MR-happy-590[Photo Credit:www.lankastandard.com]
රාජපක්ෂ අමුතු අමුතු කතා කියයි. ඔහුගේ රජවාසල කවටයින් පමණක් නොව ඔහුද මේ වන විට කවටයෙකු වී සිටින සැටියෙකි. කෛරාටක – හාස්‍යජනක එහෙත් මුර්ග මිනිසුන් ගැන කලා නිර්මාණ රැසක් ඇතිවා සේම රාජපක්ෂගේ හැසිරීමද එවැනි කදිම කළා නිර්මාණයකට යොමු වීම සඳහා අතපොවන්නක් බඳුය. ඔහු කතා කරන විට ඔහුගේ කතාවට වඩා ඔහුගේ මුහුණේ ඉරියව් දෙස අවධානය යොමු කරන්නේනම් මිනිසුන් තුළ ඇතිවන විකුර්ති භාවයන් හඳුනා ගැනීම කිසිවෙකුට අපහසු නැත. එය තවදුරටත් විමසා බැලුවහොත් යාපනයේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යින් නොව තමන්ගේම වැඩිමහල් සහෝදරයා යලිත් පුනරුත්ථාපනය කළ යුතු බව ඔහුගේ සොහොයුරා වන ආරක්ෂක ලේඛම් වරයාට සිතෙනු ඇත. ඔහුන් දෙදෙනා දෙසම බලා සිටින එම පවුලේම තව කෙනෙක් ඔවුහු කතා කරන වචන වලට අවධානය යොමු නොකර ඔවුන්ගේ හැසිරීම ගැන සම්පූර්ණ අවධානයෙන් සිටියහොත් මොවුන් දෙදෙනාම පුනරුත්තාපනය කළ යුතු බව අවබෝධ වනු ඇත. එම සම්පූර්ණ පවුල දෙසම තම ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගැනීමට දුක් විඳින සාමාන්‍ය පුරවැසියෙකු අවධානයෙන් බැලුව හොත් මොවුන්ගේ එක ජවනිකාවක් පමණක් අවසාන වන විට එම සාමාන්‍ය පුරවසියාට පිස්සු වැටෙනු ඇත. මෙය හාසය ජනක ලෙස රටේ දේශපාලනය බවට පත් වී තිබේ. පිස්සන් සාමාන්‍ය මිනිසුන් ලෙස පෙනී සිටීමත් සාමාන්‍ය මිනිසුන් පිස්සන් බවට පත් වීමත් විකුර්තියක් මිස වෙන කිසිවක් නොවේ.

එපමණකට පිළිකුල් ලෙස මොවුහු රට සමඟ සූදුවේ යෙදෙති. මා විසින් මීට පෙරද කියූ පරිදි මොවුන් වෙනුවෙන් වීදි දිගේ දුවගොස් අහිංසක මිනිසුන්ට තලන එක මිනිහෙකුට හෝ නොසිතෙන්නේ මෙම අයියා මලෝලා මෙතරම් දේශප්‍රේමී නම් මොවුන් තම ඇමෙරිකානු පුරවැසි බාවය යලි ඇමෙරිකාව භාර නොදීම ගැනයි. එය එසේ කිරීමට නොහැකිනම් ඒ වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ කන් පලන මොවුන් දේශපාලන වහලුන් මිස වෙන කිසිම වචනයක් මොවුන් හැඳින්වීම සඳහා පාවිච්චි කිරීමට නැත. සැබවින්ම බලයෙන් උමතු වී එම බලය සමඟ අනවශ්‍ය සෙල්ලම් සිදු කිරීම සඳහා හැකි තරම් එය පාලනය, නිරීක්ෂණය සහ පරීක්ෂණය කිරීමට ඇති ඉඩකඩ කපා දැමීම මඟින් ඔවුන් එකිනෙකා අතරම පිස්ස්සුවක් හට ගෙන ඇත. එම පිස්සුවට අනුව නැටීම ඔවුහු දේශප්‍රේමය යැයි කියති. මහා පාරවල් දිගේ දුව ගොස් අගවිනිසුරු තුමියට එරෙහිව කුණුහරප කීමේ සිට මෙම වාචාල සංස්කෘතිය රාජපක්ෂලාගේ පවුල්වලම තියෙන පුරුද්ද වේ. ඒවා ජන්මයෙන්ම ලැබුණු පුරුදු වන අතර එය රාජ්‍යක් පාලනය කිරීමේ යතුරු ලෙස ඔවුහු සිතා කටයුතු කරති. සැබවින්ම චන්ද්‍රිකා විසින් රාජපක්ෂ නොසලකා හැරීමේ සහ ඔහුගේ තටු කපා එල්ලා තිබීමේ හේතුව දැන් කාහටත් අවබෝධ වනු ඇත. චන්ද්‍රිකා කෙරෙහිෙ, මෙම රාජපක්ෂ දක්වන වෛරයෙන් එය තවදුරටත් ඔප්පු වේ.

සිංහල භාෂාවේ වචන වලට හිමි තැන හුදු දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කොට රාජපක්ෂ මුළු රටේම අනන්‍යතාවය තමන්ගේ බුදලයක් කරගෙන තිබේ. ඔහු මෙරටින් චුත වන විට ලංකාවේ භුමිය පමණක් නොව භාෂාව,සංස්කෘතිය ඇතුළු සියලු ක්ෂේත්‍රයන් හී මහා පෙරලියක් අවශ්‍ය වනු ඇත. භාෂාව යලි සකස් කිරීමට සිදු වනු ඇත. එපමණකට රටකට හානියක් කළ මිනිහෙක් රටක ස්වාධීන අධිකරණ පද්ධතියක පැවැත්මට ඉඩ ලබා දෙතියි සිතීමම මෝඩකමකි. රාජපක්ෂ වූ කලී රාජපක්ෂම වේ. ඔහු වෙනත් නායකයෙකු සමඟ ගැලපීමටවත් නොහැකි මට්ටමේ විලිලජ්ජ නැති වැඩ රටකට සිදූ කරමින් සිටින්නේ රටක් වූ කලී ගමක වලව්වක් යයි සිතා ගෙන විය හැකිය. ඔහු ඉදිරිපත් කරන කතා අනුව ඔහුට සැබවින්ම ශ්‍රී ලංකාව වූ කලී දුපතක් යන්න ගැනවත් අවබෝධයක් තිබේ යයි සිතිය නොහැකිය. ඔහුගේ කටයුතු වලින් රටක් පාලනය කිරීමට හැකි යැයි ඔහු සිතන්නේනම් අප්‍රිකානු රවල් බොහොමයක් මේ වන විට යුරෝපයට ණය ලබා දෙන රටවල් වනු ඇත. සැබවින්ම එවැනි ණය දීමේ මෝඩ කතාවක් මීට කලකට පෙර ඔහුගේ සහෝදරයා වන බැසිල් විසින් මාධ්‍යට ඉදිරියේ ප්‍රකාශ කළේය. නමුත් සිදු කරනු ලැබුවේ ගරා වැටුණු ග්‍රීසියේ ආර්ථිකයෙන් ගැනීමට ගොස් ඇති දෙයත් නැති කර ගැනීමය. රටක ආර්ථිකය සමඟ කණා මුට්ටි බිදින්නන්ගෙන් රටක් සංවර්ධනය වේ යැයි සිතීම මෙන්ම එවැනි කණුන් රටේ මහා බැංකුව, මහා භාණ්ඩාගාරය වැනි තැන් වලට පත් කිරීමද එක්කෝ නොදැන සිදු කරණ බබාගේ කටයුතුය, නැතහොත් රටක් ගැන කිසිඳු අවබෝධයක් මෙම උමතු වූ කණ්ඩායමට නැත. එසේත් නැතහොත් දැන දැන සිදුකරන අපරාධයන්ය.

මෙම පසුබිම යටතේ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ සිදු වූ මහා අපරාධය ගැන කල්පනා කිරීමේදී අවබෝධවන මුලික කාරණය වන්නේ රාජ්‍යක රාජ්‍ය නායකයෙකු සිටිය යුතුය; එය රාජපක්ෂ විසින් සිදුකරනු ඇත නමැති මිත්‍යාව මත පිහිටා නොයෙක් සිහින ලෝක වල පාවුනු අයෙගේ ඔලමොට්ටල සිහින විනාශයකට මිස වෙන කිසිවකට හේතු නොවේ යන්න යලි යලිත් සනාථ වීමයි. අවසන් විග්‍රහයේදී රටේ දෛවය බවට පත් කොට ඇත්තේ ප්‍රභාකරන්ට මුහුණ දීමට සිදු වූ ආකාරයේම ඉරණමකට රටට මුහුණ දීමට සිදු කිරීමයි. වෙනත් වචන වලින් කියතහොත් එදින සිදු වූයේ ශ්‍රී ලංකාව මරා දමා ඊට ඔවුන්ගේම පරදාර ස්ත්‍රී සේවනය සඳහා ඇඳගෙන ගොස් කලබය නිසා ඇඳ යට අමතක වූ පිළිණු ගඳ අඹුඩයක් අන්දවා කාල්ටන් වලව්ව ඉදිරියේ එම ශ්‍රී ලංකාව නමැති මළ කඳ ප්‍රදර්ශනය කිරීමයි. අරලියගහ මන්දීරය හෝ රටේ ඇති අනෙක් ජනාධිපති මන්දීර සේම රටේ පාර්ලිමේන්තුවද එම කාල්ටන් වලව්වේ අනු ශාඛා මිස වෙනකක් නොවේ. මෙය මෑත ලෝකයේ කිසිම රටක සිදු නොවන අපරාධයකි. අඩු තරමින් කාලාන්තරක් තිස්සේ පැවත එන සම්ප්‍රදායන් ඇති (එය වත්මන් තත්වයන් යටතේ හරි හෝ වැරදි විය හැකිය) ස්වාසිලනත්යෙවත් මෙවැනි අපරාධ සිදු කිරීමට නොහැකිය. මේ හමුවේ දෝෂාභියෝග යෝජනාව මෙන්ම එය සම්මත කොට දිනම රාත්‍රියේ කතානායක විසින් රාජපක්ෂට අදාළ ලිපි භාර දීම මඟින් පෙන්වා ඇති දේශපාලන චිත්‍රය කුමක්ද?

රාජපක්ෂ කෙසේ හෝ අගවිනිසුරුවරිය පන්නා දැමීමට කටයතු කරනු ඇත. මේ වනවිට ඇය සතු පැසසිය යුතු චිත්ත ධෛර්යත්, ඇයට සහය දක්වන පිරිස සතු කැපවීමේ ගුණයත් මඟින් එය ඔහුට වඩා ගැටලුකාරී කොට ඇත. ජනරාල් සරත් ෆොන්සේකා විසින් සිදු කරගත් බොහොමයක් අත්වැරදී (සැබවින්ම ජනරාල් ෆොන්සේකාට ඇති වූ කේන්තිය මෙන්ම ඔහු ඉදිරිපත් කළ අදහස් සාමාන්‍ය ජනතාවට එපමණකට අවබෝධ නොවීම සහ ආගන්තුක වීම රාජපක්ෂ මනාව ප්‍රයෝජනයට ගත්තේ) ඇය ක්‍රමානුකූලව මඟ හරිමින් සිටින්නීය. කෙසේ වෙතත් මේ වන විට මෙම ගැටලුව රාජපක්ෂගේ අභිමානය, සැබෑ ලෙසනම් මෝඩ හීනමානය, පිලිබඳ ගැටලුවක් බවට පත් වී තිබේ. එය නීතිය පිළිබඳව හෝ දේශපාලනය පිළිබඳව වන කාරණයෙන් ඔබ්බට ගොස් මවා ගත් ලෝකය පුපුරා යාමට දක්වන බිය නිසා හටගෙන ඇති භයානක මානසික පෙලම්භ වීමකි. මෙවැනි රෝගීනට කළ නොහැකි දෙයක් නැත. මෙම සන්දර්භය හමුවේ මෙන්ම රාජපක්ෂගේ කතා දෙස බැලුව හොත් පැන නගින මුලික ප්‍රශ්නයනම්, සැබවින්ම මොහු ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද තබා එය නිවැරදිව සිංහලෙන් ලියන ආකාරයවත් දන්නේද යන්නයි.

චීනයේ රාජ්‍ය පුවත් සේවය වන ෂින්හුවා හී වසර ගණනක් සේවය කළ පසුව මාඕ සේතුන්ගේ අවධිය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොවූ කාරණා ඇතුලත් කරමින් ටෝම්බ් ස්ටෝන් නමැති කෘතිය රචනා කළ යුන් ජින්සංග් මෑතකදී ලන්ඩන් ගාඩියන් පුවත්පතට පසුගිය සතියේ ලබා දුන් සාකච්ඡාවකදී මෙසේ සඳහන් කළේය. “සැබෑ ප්‍රශ්නය තමයි ක්‍රමයේ තියෙන අවුල. ඔවුන් ක්‍රමයේ වැරද්දක් ඇති බව පිළිගන්න කැමති නෑ.. එය කොමුයුනිස් පක්ෂයේ නීතියානුකූල භාවයට බලපෑම් සිදු කරනු ලැබුවා.” ඔහුගේ පියා කොමුනිස්ට් පක්ෂය විසින් මරා දැමූ බව ඔහුට දැනගැනීමට ලැබී ඇත්තේ ෂින්හුවා පුවත් සේවයෙන් විශ්‍රාම ගැනීමෙනුත් පසුය. ඔහු මෙන්ම චීනයේ බොහෝ දෙනෙක් තමන් අවට සිදුවන ඇත්ත පිළිගැනීමට අකමැත්තක් දක්වනු ලැබුවා පමණක් නොව ඇත්ත සහ ඔවුහු ජීවත් වූ මායාව අතර දුර බොහෝ විය. එක්කෝ එය විදේශ කුමන්ත්‍රණයක් හෝ සතුරෙකුගේ කටයුත්තක් විය හැකි යයි සිතුහ. තවමත් බොහෝ අයට ප්‍රසිද්ධියේ එවැනි දෑ කථා කිරීමට හැකි දේශපාලනිකතත්වය එහි නැතුවා සේම එය ගැන ප්‍රශ්න කිරීම අභිමානය නැති කරන කටයුත්තක් ලෙස සංස්කෘතික ගත කොට ඇත. “චීනයේ මාව් සේතුං විශ්වාස කරපු එක වගේම චීනය එම මාර්ගය ගැනීම හරිම සංකීරණ ඓතිහාසික ක්‍රියාවලියක්. එය එක මනුස්සයෙක්ගේ වැරද්දක් නෙමෙයි නමුත් මිනිසුන් රාශියකගේ වැරද්දක්. එය ක්‍රියාවලීයක්”; යුන් එහිදී තවදුටරත් කියා තිබුණි.

ශිරාණි බණ්ඩාරනායක ගැන ඕනෑම අයෙකුට ඕනෑම බොරුවක් නිර්මාණය කළ හැකිය. රාජ්‍ය බලය යොදා ගනිමින් කටුව නැති ගොළු බෙල්ලන්ට ඇයට එරෙහිව ශාප කළ හැකිය. මොවුන් බොහෝ දෙනෙක් තමන්ගේ මව ගැහැනියක් ලෙසවත් සිතීම අමතක කර දැමු වචාලයින් වෙති. එය රාජපක්ෂ යටතේ වඩාත් පහසු වනු ඇත. මන්ද අගවිනිසුරුවරිය සිටින්නේ බලය පැත්තේ නොව සත්‍ය පැත්තේය. ඇය මෙම මුර්ග ක්‍රියාවලීය තුළ ඝාතනය කරනු ලැබුවහොත් එයද පුදුම විය යුතු නැත. ලසන්ත මරා දමා එය පසුව වසා දමනු ලැබීම සඳහා ඔහු රාජපක්ෂගේ ගජ මිතුරෙකු බවට වූ කතාව මතුපිටට ගත්තේය. ඉන් වසර කිහිපයක් ගිය පසු මෝඩ කුහක රැලක් විසින් ඔහු ඔත්තු කාරයෙක් කරනු ලැබීය. ඔබ තනිව කන්නාඩියක් ඉදිරියට ගොස් නිරුවත් වී බැලුවහොත් ඔබ විසින්ම සිදු කරන පල් මෝඩ කටයුතු අවබෝධ වනු ඇත. එය ප්‍රසිද්ධියේ පිළිගැනීම ලැජ්ජාවක් හෝ රාජපක්ෂ මෙන්ම හීනමානයෙන් පෙලෙන්නේනම් අඩු තරමින් ඔබ ඔබටවත් එය පිළිගත යුතුය. එවිට ඔබට ඔබ ගැනම පිළිකුලක් ඇති වෙනවා පමණක් නොවේ එය පෘතුල වශයෙන් සමාජීය ප්‍රගමනයට හේතු වනු ඇත. එය එසේ නොවන තාක් දුරට . ඔබද රාජපක්ෂද සොයන්නේ එකම කාසියේ දෙපැත්ත මිස ඔබ ඔහුගෙන්ද ඔහු ඔබෙන්ද වෙනස් වන්නේ නැත.

බලය නැමති ගර්භාෂයේ සිටින පණුවෙකුට පෙනෙන සත්‍ය ඉන් පිට සිටින අයෙකුට ඍජු ලෙස අවබෝධ වන්නේ නැත. එය දැන ගැනීමටනම් ඉතා විශාල කැපකිරීමක් මෙන්ම කාලයක් අවශ්‍ය වනු ඇත. ශිරානි වූ කලී එම ගර්භයේ සැබෑ හැඩරුව දන්නා අයෙකි. ඇය ඉන් පිටතට පැමිණ සියල්ලටම පෙන්වමින් සිටින්නේ අදාළ ගර්භාෂයේ ඇති පිළිකුල් බව සහ එය මර්ධනය නොකළහොත් ඇතිවන විපාකයයි. එය ඇතැම් පිරිස් විසින් මීට කලකට පෙරද තේරුම් ගෙන විරෝධය දක්වනු ලැබුහ. නමුත් 71 සහ 88-89 දී එම විරෝධය සහාසික ලෙස මර්ධනය කරනු ලැබීය. ඒ හා සමගාමිවම එය 60 දශකයේ මුල් භාගයේ සිට දෙමළ ජනතාව තේරුම් ගත්හ. එයද සහාසික ලෙස මර්ධනය කරනු ලැබීය. මේ වන විට එය වඩාත් දරුණු ලෙස රාජපක්ෂ සිදු කරමින් සිටින්නේය. රටක ආයතන කෙරෙහි ඇති ගරුත්වය කඩා බිඳ දමමින් රටක් වූ කලී මාළු ලෑල්ලක් යැයි සිතා රාජපක්ෂ එම අවි අමෝරාගෙන එම මාළුවාගේ කෑලි කපමින් සිටින්නේය. ඒ සඳහා තම දේශපාලන වහලුන් යොදාගනිමින් තමන්ගේ මෙන් රටේ බදුගෙවන ජනතාවගේ මුදල් නාස්ති කරමින් සිදු කරන මාළු වෙළඳාම තේරුම් ගැනීමට සහ ඊට එරෙහිව ක්‍රමෝපායික වැඩපිළිවෙලක් වෙත අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන්නේ ප්‍රමාදය පසුතැවීමට හේතුවනබැවිනි . ඔලුව නැති කුකුලන් නටන නාඩගම හමුවේ අගවිනිසුරුවරිය රැක ගැනීමත්, ඇය වෙනුවෙන් පෙනී සිටීමත් ඇය වෙනුවෙන් සිදුකරන යුතුකමක් පමණක් නොවේ, එය රටේ අනාගතය මෙන්ම ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් සිදු කරන වගකීමකි . අඩු තරමින් එයවත් සිදු කිරීමට නොහැකිනම්, උපන් නූපන් දරුවන් රාජපක්ෂගේ මැජික් බොලේ කරකවා පෙන්නපු බිබික්කම් දේශපාලනය නිසා වන්දි ගෙවමින් අපට ශාප කරනු ඇත.

Nilanthailangamuvaනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa