Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

‘මට යුක්තිය ඉල්ලන්න වෙලා තියෙන්නෙ ලෙඩෙකුගෙන්‘

b

අම්මා(සංධ්‍යා එක්ණැලිගොඩ) සිය පුතුට විරෝධතා මුඛවාඩම පළදවන අයුරැ
අම්මා(සංධ්‍යා එක්ණැලිගොඩ) සිය පුතුට විරෝධතා මුඛවාඩම පළදවන අයුරැ

‘‘ආණ්ඩුවේ නියෝජිතයා ජිනීවා වලට ගිහිල්ලා කියනවා ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊට පස්සේ ලංකාවෙ අධිකරණයේදී සාක්ෂි කූඩුවට නැගලා කියනවා ප්‍රගීත් එක්ණැලිගොඩ ඉන්න තැන දන්නෙ දෙයියො විතරයි කියලා. සහ එයාට මතක නැහැයි කියලා. මේ මතක නැතිවෙන රෝගයෙන් පෙළෙන මේ කෙනා අද අගවිනිසුරැ වෙලා. අද මේ ලෙඩාගෙන් තමයි මට යුක්තිය ඉල්ලන්න වෙලා තියෙන්නේ.අද මොහාන් පීරිස්ට අභියෝගයක් තියනවා තමන් රෝගියෙක් නොවෙයි නම් ප්‍රගීත් ඉන්න තැන අධිකරණයේදී හෙළි කරලා මට යුක්තිය ඉශ්ඨ කරලා දෙන්න.‘‘ යැයි අතුරැදහන් කළ මාධ්‍යවේදී, ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩ ප්‍රකාශ කළා ය.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරැදහන් කර අදට වසර 3ක් ගත වන මොහොතේ පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයකදී ය. අදින් වසර 3කට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරැදහන් කළේය. නමුත් මේ වන විට වසර 3ක් ගතවී ඇතත් කිසිදු බලධාරියෙකුට ඔහු සොයා ගැනීමට හෝ ප්‍රගීත් අතුරැදහන් කිරීමට සම්බන්ධ කිසිවෙකුත් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ.

[‘මට යුක්තිය ඉල්ලන්න වෙලා තියෙන්නෙ ලෙඩෙකුගෙන්‘ | සංධ්‍යා එක්ණැලිගොඩ]

මේක ම්ලේච්ඡ පාලනයක්

‘‘මේ රජයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරෑපය හුදෙක් අතුරැදහන් කිරීම හරහා කෙරැවා පමණක් නොවෙයි අද වෙනකොට පාලනය පිළිබද කාරණයට ආපුවහම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් තමන්ට අවශ්‍ය විදිහට අර්ථ නිරෑපනය කරමින් ව්‍යවස්ථාදායක ඒකාධිපති පාලනයක් කරා තමයි අපේ රට ගොස් තිබෙන්නේ. ලංකාව මංකොල්ල කරැවන්ගේ රටක් බවට පත් කර තිබෙනවා. නීතිය එක පැත්තකින් ඔවුන් කොල්ලකාගෙන තිබෙනවා. අපේ සම්පත් අනිත් පැත්තෙන් කොල්ලකාලා තිබෙනවා.‘‘ යැයි විරෝධතායට එක්ව සිටි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පැවසී ය.

[ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු]

මොකද්ද මේ අණ්ඩුව? | ‘මම මැරෙන්න ඉස්සෙල්ලා මගේ පුතාලා දෙන්න‘

විරෝධතාවය සදහා අතුරැදහන් කර ඇති තම දරුවන් ඉල්ලා වෙනත් ප්‍රදේශවලින් පැමිණි අම්මාවරැන්ද ප්‍රකාශ කළේ තම දරැවන් සොයා දෙන ලෙස ය. ඔවුන් පැවසූවේ..,

‘‘මොකද්ද මේ ආණ්ඩුව. මේ අම්මට මගේ පුතාලා පෙන්නන්න ඕන. මගේ පුතාලා මුකුත් කරේ නෑ. ජනාධිපතිතුමනි මගේ පුතාලා දෙන්නව මට දෙන්න. මම මැරෙන්න ඉස්සෙල්ලා දෙන්න.‘‘

මේ එම විරෝධතාවයේ සම්පූර්ණ ඡායාරෑප සටහනයි.