Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, International Relations, Politics and Governance

පිල්ලෙයිගෙ කට වැඩියි, රිසානා මැරීමේ වරදක් නෑ සහ විදේශීය කුමන්ත‍්‍රන

ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ පසුගිය මැයි දිනයේදී  භාවිතා කල  සටන් පාඨ
ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ පසුගිය මැයි දිනයේදී භාවිතා කල සටන් පාඨ

රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය:

‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ විවිධ රටවලින් විරෝධතා දැක්විණි. ශ‍්‍රී ලංකාව ද ඊට එරෙහි විය. කැනඩාව ද ඊට එරෙහි විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ද ඊට එරෙහි ව කරුනු දක්වන ලදී.

එහෙත් සෞදි රාජ්‍යය ඒ ගැන සත පහකට ගණන් ගත්තේ නැත. ඔවුන් රටේ නීතිය ක‍්‍රියාත්මක කර තිබේ. …සෞදි රාජ්‍යය ආසියාවේ හෝ අප‍්‍රිකාවේ බලවේගවලට යටත් වන්නේ නැත. එහි එක් සාධාරණ පිළිවෙතක් ඇත්තේ රටක් අනුගමනය කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව නිසාය.
සෞදි රජයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද විවිධ අදහස් ආකල්ප තිබෙන්නට පුළුවන. එහෙත් ඔව්හු මූලික වශයෙන් තම ව්‍යවස්ථාව හා නීතිය රැකීමට බැඳී සිටිති. ඒ අනුව රිසානාගේ ගෙල සිදීම සම්බන්ධයෙන් …. දේශපාලන විරෝධයක් අපට දැක්විය නො හැකිය.’’

මේ අනුව රිසානගේ හිස ගසා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට විරුද්ධව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගී ආ දේශපාලන විරෝධය වැරදිය. සෞදි රාජ්‍යය එම විවේචනයන් නොසළකා හැරීම සාධාරණය. මන්ද යත් ඕනැම රටකට එහි ව්‍යවස්ථාව ඒකාධිපති හෝ මානව විරෝධී වුවත් ඒ අනුව කටයුතු කිරීමට අයිතියක් තිබේ. එය විවේචනය කිරීමට අන් කිසිවකුට ඉඩක් නැත.

රටක සෙවරීයත්වය සහ ජාත්‍යන්තර බැදීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා දේශපාලනයේ ඇති දොස් සහිත මතය මෙම කතුවැකියෙන් විද්‍යාමාන වෙයි. ලෝකයේ සියළුම ශිෂ්ඨ රටවල් මානව හිමිකම් සම්බන්ධ පොදු නීති රීති මාලාවකින් බැදී සිටිති. මානව හිමිකම් විශ්වීය යැයි කියන්නේ ඒවා රටක සීමා තුලට කොටු කළ නොහැකි නිසා ය. කිසිදු රටකට සිය නීතියට අනුකූල යැයි කියා සාධාරණ නඩු විභාගයකින් තොරව කිසිවකුට මරණ දඩුවම දීමට අයිතියක් නැත. එමෙන්ම බාල වයස්කාරියකට මරණ දඩුවම පැමිණ වීමද අන්තර් ජාතික නීතිය කෙළෙසීමකි. රිසානාට සාධාරණ නඩු විභාගයක් නොලැබුනා පමනක් නොව ඇයට මරන දඩුවම දෙන ලද්දේ ඇය බාල වසස්කාරියව සිටියදී කරන ලදැයි කියන වරදකට ය. මෙම හේතූන් දෙක මත සෞදි රජයට විරෝධය පෑමට ලොව කවරකුට වුවත් අයිති ය.

සාධාරණ විනිශ්චයක් සඳහා ලොව සෑම පුරවැසියතුටම අයිතියක් ඇති නමුත් රාජ්‍ය මාධ්‍ය දැන් කියා සිටින්නේ එවැනි අයිතියක් සෞදි ව්‍යවස්ථාවේ නැති නිසා රිසානාට ද නොතිබූ බවයි. ඒ කෙසේ කීව ද ගෙල සිඳ රිසානා මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සෞදි රජයට විරෝධ්‍ය පළ නොකළ යුතු යැයි යන රාජ්‍ය මතවාදය මෙරට ජනයා පිළි නොගන්නා බව සහතිකය.

අගවිනිසුරු ශිරානි බන්ඩාරනායකට එරෙහිව රාජපක්ෂ පාලනය ගෙන ආ දෝශාභියෝග විවාදයේ දී ද දක්නට ලැබුනේ ද මෙම පිළිවෙතම ය. එනම් දෝශාභියෝග ක‍්‍රියාවලියට ව්‍යවස්ථානුකූළ බවත් දක්වන ලද විරෝධය විදේශීය කුමන්ත‍්‍රනයක කොටසක් බවත් විදේශීකයිනට එවැනි අයිතියක් නැති බවටත් ය.

අරලිය ගහ මන්දිරයේ සිට පාලනය වන මෙම කතුවැකි ලේඛකයා ඒ සමඟම ලියූ අනෙක් කතාවෙන් ඒ බව පැහැදිළි වෙයි. උක්ත කතුවැකිය ලියා තිබුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කට වැඩි බව කීමට ය. ඇය ඕනෑවට වඩා වැඩි බවත් ඇයට පාඩමක් ඉගැන්විය යුතු බවත් ඇය වැන්නියන්ට සමාජයේ නිදහසක් නොදිය යුතු බවත් එම කතුවැකිය මතයක් ගෙන ආවේ ය. සිතා ගත හැකි පරිදිම මෙම දරුණු ප‍්‍රහාරයට හේතුව වූයේ ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල නොවූ අනිසි විධික‍්‍රම මගින් ඉවත් කිරීම හෙළා දකිමින් ඇය විසින් කරන ලද ප‍්‍රකාශය යි.

එළෙසින් රාජපක්ෂ පාලනයේ හොරණෑකරුවන් අපට කියා සිටින්නේ දෝශාභියෝගය ඇසුරෙන් ශ‍්‍රී ලංකාව දැන් යළිත් වරක් ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයකට මුහුණ දී සිටින බවය. ඔව්හු මෙසේ කියති . ඉන් කෙටියෙන් කියැවෙන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්ණ සම්බන්දයෙන් අන්තර් ජාතික වශයෙන් කැරෙන කවර හෝ විවේචනාත්මක මැදිහත්වීමක් වෙතොත් එය ද්‍රෝහීකමක් බවය.

ඇත්ත වශයෙන්ම නම් මෙම මතවාදය යුද්ධය කරගෙන යාම සඳහා රාජපක්ෂ පාලනය විසින් සමාජ ගත කරන ලද එකකි. දැන් එය සමස්ත සමාජ දේශපාලන ක‍්‍රියාකාරිත්වය මතම පොදු රීතියක් ලෙස පනවා තිබේ.

එසේ නමුත් අප සැම දන්නා ප‍්‍රසිද්ධ කාරණයක් වන්නේ ජනාධිපති රාජපක්ෂ මහතා සහ අද විනිසුරුන්ගේ ලෝගු ගලවා අධිකරණය අපායට යැවීමට තර්ජනය කරන වාසුදේව නානායක්කාර සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගොස් ශ‍්‍රී ලංකාණ්ඩුවට විරුද්ධව ප‍්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කළ බවයි. එදා මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමා යක්ෂයා සමඟ එක්වී හෝ ඕනෑම තූත්තුකුඩියකට ගොස් හෝ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් කෙළෙසීම්වලට විරුද්ධව කටයුතු කරන බවයි. ඒ ශ‍්‍රී ලංකාණ්ඩුව එල්ටීටීඊ ය සමඟ යුද වැද සිටි සමයක් වූ 1990 දී ය.

එමෙන්ම අද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයින්ව සිටින ජි.එල්.පීරිස් ඇතුළු එජාපයේ සිට පැති මාරු කළ බොහෝ දෙනා ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන අන්තර් ජාතික මැදිහත්වීම් ඉල්ලා සිටි අය වූහ. ලෙහෙසියෙන්ම මතකයට එන ඉන් එක් අයකු නම් අමාත්‍ය එස්.බී. දිසානායක ය.

අගවිනිසුරු සරත් සිල්වා විසින් එවකට එජාප ජාතික සංවිධායක වූ එස්.බී. දිසානායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ 2005 වසරෙහි දී දෙවසරක සිර දඩුවමකට යටත් කරන ලද අතර ඊට එරෙහිව එස්.බි. දිසානායක මහතා අන්තර් ජාතික සිවිල් සහ දේශපාලන ප‍්‍රඥාප්තිය යටතේ පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කළේ ය. එමගින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව දොස් සහිත බවත් ඒ යටතේ තමන්ට පනවා ඇති දඩුවම අන්තර් ජාතික නීති ප‍්‍රමිතීන්ට පටහැණි එකක් බවත් ය. ශ‍්‍රි ලංකාවේ අගවිනිසුරුවරයා දේශපාලන වශයෙන් අගතිගාමි බවත් තමන්ට විරුද්ධ පැමිණිල්ල විභාග කිරීමට සාක්ෂිකරුවන් නොකැඳවූ බවත් ඔහුගේ අයුතු විනිශ්චය මගින් සිය කතා කිරීමේ නිදහස ද අහිමි වී ඇති බවත් යනාදි වශයෙන් ඔහු කල පැමිණිල්ලේ සඳහන් වී තිබුනි.

ඔහුගේ පැමිනිල්ල විභාග කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ශ‍්‍රී ලංකාණ්ඩුව එකී අන්තර් ජාතික සිවිල් සහ දේශපාලන ප‍්‍රඥාප්තියෙහි වගන්ති ගණනාවක්ම කෙලෙසා ඇති බවට තීන්දු කරමින් ශ‍්‍රී ලංකාණ්ඩුවට විරුද්ධ තීරනයක් දුන්නේ ය.

රාජපක්ෂ පාලනයේ වත්මන් කතිකාව අනුව මෙම පැමිනිල්ල ඉදිරිපත් කිරීම ද්‍රෝහී ක‍්‍රියාවක් වන අතර මානව හිමිකම් කමිටුවේ තීන්දුව ශ‍්‍රී ලංකාවට විරුද්ධ විදේශීය කුමන්ත‍්‍රනයේ තවත් පියවරකි. එනයින් අමාත්‍ය දිසානායක ද්‍රෝහියෙකි. එපමණක් නොව එදා මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර ජිනීවා නුවරට පැමිණි විලසින් අද පැමිනිය හොත් ඔවුන් ද ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසෙනු නොඅනුමාන ය.

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය සිංහල ස්වෝත්තමවාදී මතවාදය තුළ සිය ස්ථානය අල්ලා ගැනීම පිණිස එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද දෝශාභියෝග විවාදය අතරතුර මෙම මතවාදයට පොහොර දැමූහ. මෙම පක්ෂ දෙකම දෝශාභියෝගයට විරුද්ධ වීම සඳහා එක් හේතුවක් ලෙස දක්වා සිටියේ එමගින් විදේශීය අත පෙවීම් ඉහළ යනු ඇති බව ය.

ඒ අනුව යමින් 16දා කොළඹ පැවැති සාකච්ජාවක දී එජාප මහ ලේකම් තිස්ස අත්නායක මහතා දෝශාභියෝගය ගෙන ඒම මගින් රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර ඇඟිළි ගැසීම් වලට අවස්ථාවක් ලබා දී ඇති බව කියා සිටියේ ය. එපමනක් නොව දෝශාභියෝගය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුවෙන් ඉල්ලීමක් කල එජාප මාධ්‍ය ප‍්‍රකාශකයා වන මංගල සමරවීරට මුඛවාඩම් බැදීමට ආණ්ඩුවේ විපක්ෂ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ පියවර ගත්තේ ය.

එනමුත් මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික‍්‍රමසිංහද පසුගිය කාලයේ බොහෝ අවස්ථාවන්හිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාතයන්තර තලයට විවේචන ගෙන ගිය බව අපි දනිමු. ඔහුගේ එක් අගසව්වකු වන පා.ම. ජයලත් ජයවර්ධන විසින් එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත යවන ලද පැමිණිළි බොහෝ ය.

ජවිපෙ වෘත්තීය අංශයේ ප‍්‍රධානියා වන ලාල් කාන්ත මහතා පසුගිය 14දා පක්ෂයේ වෘත්තීය සමිති අමතමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක් පවතින බව තමන් දන්නා බවත් රාජපක්ෂ ආණ්ඩුවේ දෝශාභියෝගය නිසා එම තත්ත්වය උත්සනන් වෙමින් ඇති බවත් ය. ඉන් ඔහු කියා සිටියේ දෝශාභියෝගයට විරුද්ධව ජත්‍යන්තර වශයෙන් නැගුණු විරෝධය ශ‍්‍රී ලංකාවට එරෙහි කුමන්ත‍්‍රනයක කොටසක් බවයි.

එසේ නමුත් තමන් ආණ්ඩුවේ මර්දනයට ලක් වූ අවස්ථා බොහෝ ගනනාවක දී ජවිපෙ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානයන්හි පිහිට පැතූ බව රහසක් නොවේ. මෙයට දෙවසරකට පෙර ජවිපෙ යටතේ තිබු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන්කි මුන් වෙත ලිපියක් යවමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට වත්මන් රජය දරන ප‍්‍රයත්නයන් මෙන්ම අතීතයේ දී දරන ලද ප‍්‍රයත්නයන් ද දන්වා සිටියේ ඒ පිළිබඳ පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

වත්මන් යුගයෙහි මානව හිමිකම් යනු දේශීය සීමා ඉක්මවා යන විශ්වීය අයිතියකි. මානව හිමිකම් රැක ගැනීම පිනිස දෙස් විදෙස් සෑම තලයකම ක‍්‍රියා කිරීමට ශ‍්‍රී ලාංකික ජනයාට අයිතිය තිබේ. ඒ බව පිළි ගැනීම සහ ඒ මත ක‍්‍රියා කිරීම අද ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ව්‍යවස්ථාදායක අත්තනෝමතිකත්වය සමඟ සාර්ථක අරගලයක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි.

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya