Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, Reconciliation

නපුරු යුගයක සිට විමුක්තියේ මො​හොතකට පෙර

DSC_0095

ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි ප්‍රතිඵලයක් ලෙස විප්ලවකාරී විමුක්ති ව්යාපරය(Revolutionary Liberation Organization) R.L.O. නම් අප දේශපාලන සංවිධානය ආරම්භකිරීමට අප ඉදිරිපත් වූයේ ඇයිද යන්න පැහැදිලි කිරීමක් සහිත වූ පහත දක්වා ඇති ලිපිය මා විසින් ලියන ලද්දේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම්-2 සිරමැදිරිය තුළදීය. නමුත් අපට එරෙහිව තිබූ අධිපතිමතවාදයන් හේතුවෙන්ම එම ලියවිල්ල කිසිදු මාධ්‍යක් තුළ පළනොවුනි. මාගේ වසර 4 1/2 ක් පමණ වන සිරගත ජීවිතයේ වැඩිකාලයක් යාපනය බන්ධනාගාරයේ රදවා තැබු නිසාම එවකදී යාපනය බන්ධනාගාරය තුළ රදවා සිටි දෙමළ සහෝදරවරුන්ගේද සහයෝගයෙන් එම ලිපිය දෙමළ භාෂාවට පරිවර්ථනවය කර දමිළ මාධ්‍යයන් හී පළකිරීමට උත්සහයක් දැරුවද එය සාර්ථක නොවීය.

අපට එරෙහිව අප වටකොට අසුර සේනා මෙන් දසතින් තර්ජන ගර්ජන, චෝදනා වධහිංසා සියල්ල පැමිණෙද්දි විප්ලවකාරී විමුක්ති ව්‍යාපාරය නම් වූ අප දේශපාලන සංවිධානය මාධ්‍ය වෙත යොමුකළ පළමු ලියවිල්ලද එය විය.

විප්ලවකාරී විමුක්ති ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස එම ව්‍යාපාරය බලාධිකාරීත්වය විසින් සහ අප තුළම පැවති යම් යම් අඩුපාඩු නිසාවෙන් විනාශවූ පසුව වුවද අප කළ කාර්යභාරය සහ අප තේරූ උපක්‍රමයක් සම්බන්ධව ලංකා සමාජය වෙත අවම කරුණු පැහැදිළි කිරීමේ ශුද්ධ වූ වගකීමක් ඇතැයි මා පෙෘද්ගලිකව විශ්වාස කරමි.

අප ලංකා සමාජය වෙනුවෙන් මැදිහත්වූ ආකාරය සම්බන්ධයෙන් නැවත වටයකින් සංවාද ගත කිරීම ඉදිරි අනාගතයේදී යහපත් සමාජයක් උදෙසා සටන් වදින සියලු පෙරමුණුවලට එය වැදගත්වනු ඇති බවත් මම විශ්වාස කරමි.

එදා අපව විශේෂයෙන්ම මාධ්‍ය මගින් සිංහල කොටි නමින් නාමකරණය කොට අප සම්බන්ධව සමාජගත කල එම ඒකපාර්ශික කරුණු දැක්වීම ඉතා පිළිකුල් සහගත වූ අසත්‍ය වාර්තාකරණය මා ඇතුලු අප සගයන්ගේ පවුල් මෙන්ම හිතවතුන් වෙතද උදාකරනු ලැබුවේ මාරාන්තික තත්ත්වයකි.

මා ඇතුලු අපේ සගයන් සම්බන්ධව මාධ්‍ය හැසුරුනු ආකාරය ඉතා බිහිසුණුය. සිංහල කොටි ලෙස නාමකරණය කරමින් ගෙන ගිය ඒකපාර්ශික මාධ්‍ය භාවිතාව තුළ ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබු අප සගයන්ගේ ජීවිත වලට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත වලට පවා අවාදානම් තත්ත්වයක් ඇතිකරනු ලැබීය. අප විෂයෙහි මාධ්‍ය හැසිරුණු ආකාරය මධ්‍ය විසින්ම සිය ගෞරවනීය බව කෙලෙසා ගත් සිදුවීමක් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.

අවම තරමින් අප යොමුකළ ලිපියක් පළකිරීමට තරම්වත් මාධ්‍ය අවකාශක් අප වෙත ලබානොදුන්න ද මා ඇතුලු අප සගයන් මාධ්‍ය නිදහස හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ සටන් අපට හැකි අයුරින් සවිමත් කිරීමට සක්‍රීය දායකත්වයක් ලබාදී ඇත්තෙමු. අද මෙන්ම එවකදී ද නිදහස අහිමිවීමේ ඛේදවාචකයට මුහුණ දී සිටි අප සමාජයේ සුලුතරයක් වෙතින් හෝ භීෂණයට මර්ධනයට වාරණයට එරෙහිව පැනනැගුණු ඒ සටන් තුළ පැවති දේශපාලනික අරුත වූයේ නිදහස පිළිබද කාරණාවක් බව මම අද ද විශ්වාස කරමි. එබැවින්ම එම සටන් ශක්තිමක් කිරීමට අප සැපයූ දායකත්වය පිළිබද කිසිදු ආකාරයේ සංවේගයක් හෝ ඒ පිළිබද පශ්චාත්තාපයක් මා සතුව නොමැත.

පෞද්ගලකව මා ද අනෙක් බොහෝ සහෝදරවරු ද අසූව දශකයේ මැද භාගයේ සිට රාජ්‍ය නම් වූ පීඩකයාට එරෙහිව පැවති සටන් පෙරමුණුවල සක්‍රියව ක්‍රියාත්මක වූවන් විය. දෙමළ සමාජය රාජ්‍ය මර්ධනය විසින් කුඩුපට්ටම් කිරීමට පෙර දකුණේ ක්‍රියාත්මක කළ බිහිසුණු මර්ධනයෙන් ජීවිතය බේරාගත් අතලොස්සෙන් මම ද එකෙකු වෙමි. අප සෑම විටම සිටගනු ලැබුවේ පිඩකයාගේ පැත්තේ නොව පිඩිතයාගේ පැත්තේ වෙමු. එමනිසාම ඉතිහාසය පුරාම පීඩිත සටන් පවාදෙමින් ක්‍රියාත්මක වූ බලවේගයන් සහ මඩිතරගත් දේශපාලනය සම්බන්ධව ද අවබෝධයක් අප සතුව පැවතුනි.

පීඩිත සටන් සෑම විටම පරාජයෙන් නොව ජයග්‍රණයෙන් කෙළවර කිරීමේ අරමුණින් නව සටන්ෙ සම්ප්‍රදායක් ගොඩනැගීමට අප උත්සහ දැරුවෙමු.

රාජ්‍ය ගැත්තන් විසින් අප සම්බන්ධව කුමන අරුතින් විග්‍රහ කළද අප සිදුකළ කාර්යභාරය ඉතිහාසය විසින් විනිශ්චය කරනු ඇත.

M-2 සිරමැදිරියේ සිට ලියමි…..

(මෙමම ලියමන අප සකස්කරන ලද්දේ සිරගතව සිටිය දී වන අතර මේ එදා අප මධ්‍යවෙත ඉදිරිපත්කළ ලියවිල්ලේ සංෂිප්ත සටහනයි.)

ලංකාවේ දේශපාලන භූමිය තුළ අපගේ මැදිහත්වීම තේරුම් ගැනීම සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන සැමට ප්‍රයෝජනවත් වනු ඇති නිසාම, මේ සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු වුවත්, අප පිලිබඳව සමාජය තුල පතුරුවා ඇති, පතුරුවමින් සිටින විවිධ ආකාරයේ මතවාදයන් මෙන්ම අද අප සිටින තත්ත්වයද තේරුම්ගෙන කරුණු දෙකක් ඔස්සේ මේ සම්බන්ධයෙන් කෙටි සටහනක් තැබීම මේ ලියවිල්ල හරහා සිදුවේ.

ලංකා සමාජයේ කේන්ද්රීය ප්‍රශ්ණය ලෙස ස්මත්තට ගෙන ඇති ‘‘ජාතික ගැටලුව’’ට මුවාවෙමින් සියළුම සමාජ, ආර්ථික ප්‍රශ්ණ, ඒ තුලට කොටුකර ගනිමින් සිටිය මොහොතක අපගේ දේශපාලන ව්‍යාපාරය ‘‘කොටි ලේබලය’’ යටතට ගෙන ඒම ගැන අප පුදුම නොවූයෙමු. ‘සිංහල ජාතිවාදය සතුටු කිරීම තුල සමාජය අත්පත් කර ගන්නා මෝඩ චූන් එක විනාශයක් වෙත රට ගෙනයාම හැර වෙන අන් යමක් නොකරනු ඇතිබව අප දැන සිටියෙමු.

– ජාතික ප්‍රශ්ණය වෙත අපගේ මැදිහත් වීම

– ක්‍රම විරෝධී දේශපාලනයක් සඳහා වැඩපිළිවෙලක් ගොඩ නැඟීම

ලංකාවේ සුළු ජාතීන්ගේ ප්‍රශ්ණය තේරුම් ගැනීම සඳහා අපි අවදීන් තුනකට යටත්ව පිවිසෙමු. 1948 ට පෙර යුගය, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවට ප්‍රධානය කල ඊනියා නිදහසින් පසු යුගය, එනම් 1948- 1983 දක්වා පාර්ලිමේන්තු දේශපාලන සටන සහ 1983 න් පසු සන්නද්ධ දේශපාලන යුගය වශයෙනි.

වර්තමානයේ දෙමළ ජාතික සන්නද්ධ ව්‍යාපාරය විසින් අභියෝග කරන ලද, ඒ හරහා මතුකල දේශපාලනය මේ කොදෙව්වෙන් එපිට මුළු ලෝකය පුරාම පැතිරුණු හා ලෝකයම මැදිහත් වූ නිශ්චිත දේශපාලන ක්‍රියාවකි. එම නිසා අප විසින් ඉතා සැලකිල්ලෙන් හා ගැඹුරෙන් මෙම ගැටළුව වෙත මැදිහත් වීම කළ යුතු වෙමු. තවදුරටත් සමාජය විසින් එම මැදිහත්වීම පමා කරන්නේ නම් වඩා හොඳ මිනිස් සමාජයක්, නව ලෝකයක් පිළිබඳ ඇති අදහස හුදු ප්‍රාර්ථනාවක් පමණක් වනු ඇත.

ලංකාවේ නොදියුණු නිශ්පාදන මාදිලිය මත ගොඩ නංවනු ලැබූ ‘ධනේෂ්වර ක්‍රමයත්’ එය අනෙකා කොට බිහිවුණු වාමාංශික ව්‍යාපාරයත් සුළු ජාතීන්ගේ ගැටලුවෙත ප්‍රෙව්ශවූයේ තම තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම විනා එම ගැටළු නිරාකරනය කිරීම වෙනුවෙන් නොවන බව ඉතිහාසය අධ්‍යනයේදී අප තේරුම් ගනිමු. පැරණි සමාජ ව්‍යාපාරයන්ගේ අසමත්කම මින් මතුවන අතර, නව සමාජ ව්‍යාපාරයක් විප්ලවකාරී සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාවය දැන් මතුව ඇත. පැරණි සමාජයේ නොහැකියාව තේරුම් ගැනීමට ඉතාමත් ක්‍රෑරෑර සූරා කෑමකට ගොදුරුවූ කදුකර දෙමළ ජනයා, වතු කම්කරුවන් සම්බන්ධයෙන් කල්පනා කිරීම පමණක් වුව සෑහේ.

1948 දී බ්‍රිතාන්‍ය විසින් දෙකට බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු එහි බලය ලබාගත් සිංහල, දෙමළ පාලක කොටස් පීඩනයට පත් සිංහල, දෙමළ පහළ ජන කොටස් වෙන වෙනම රැවටීමේ කාලකණ්නි දේශපාලනයක නිරත විය. සිංහල සමාජය තුළ 1971 දී එය පුපුරා ගිය අතර 1975 දී දෙමළ පීඩිතයන් ඒ සඳහා පියවර තැබීය. ඉන්පසු එය විසින් ලංකාවේ භූ දේශපාලන සිතියම වෙනස් කලේය.

වර්ථමාන ලංකාවේ ජන සමාජය විවිධ බෙදීම් හරහා ඉම් වෙත තල්ලුවී ඇත. උතුරේ දෙමළ ජාතික නිදහස් අරගලයේ වර්ථමාන ප්‍රකාශකයා ලෙස දෙමළ විමුක්ති කොටි සංවිධානය නොසලකා මගහැර යාමට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. දැන් උදාවී ඇත්තේ එම අරගලයේ කඩඉම් ලකුණු කරන සංදිස්ථානයයි. එය වඩාත් වැදගත් වනුයේ ක්‍රම විරෝධී දේශපාලනයක් වෙනුවෙන් සටන් කරන සමාජ බලවේගයන්ටය. තව දුරටත් එම සටන හුදු දෙමළ ජනයාගේ විමුක්ති අරගලයක් පමණක් නොවන අතර, පීඩනයට ගොදුරුව ඇති සියළු ජන කොටස් වල විමුක්තිය වෙනුවෙන් පෙරළා ගත යුතු වූවකි. මෙහිදී ලංකාවේ මහාජාතිය වන සිංහල පීඩිතයන්ගේ දායකත්වය අතිශයින් වැදගත් වනු ඇත.

අපි ලංකාවේ දේශපාලන භූමියට මැදිහත් වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, හා කඳුකර දෙමළ යන ජන කොට්ඨාශයන්ගෙන් සැදුම්ලත් ජනතාවක් ජීවත්වන බිම් කඩක් වශයෙන් සළකමිනි. මෙම සියළු දෙනාගේ අයිතීන් හා අනන්‍යතාවයන් සුරැකෙන සමාජ ක්‍රමයකින් තොරව ලංකාවේ ‘‘ජාතික ගැටළුව’’ විසඳීම කිසිසේත් කළ නොහැකිය. එසේ නොමැතිව වර්ථමානයේ ඉදිරිපත්වන විසඳුම් තුලින් සිදුවනුයේ මුළු ලංකාවම විනාශය වෙත රැගෙන යාමය. මේ තත්වය තේරුම්ගත් අප වසර 10ක් ඉදිරියට ඇති දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන් වැඩ කලෙමු. එමෙන්ම එහි ආරම්භය වුයේ බිම් මට්ටමින් මේ සඳහා යාන්ත්‍රණයක් සැකසීමය. එය සහභාගීත්ව දේශපාලනයක් තුල මිස හුදු ප්‍රකාශ හා අකුරු මත කළ හැකි කාර්යයක් නොවේ. එමෙන්ම එක ජන කොට්ඨාශයක් (මහා ජාතිය)විසින් හදන න්‍යාය පත්‍රයක් හෝ වැඩ පිළිවෙලක් තුල ගොණු නොකර සියළු ජන කොටස්වල සහභාගීත්වයෙන්, නායකත්වයෙන් ගොඩ නගන වැඩපිළිවෙලක් වෙත යෑම අපගේ අරමුණ විය.

මෙකී අරමුණ වෙත යෑම සඳහා එම ජන වර්ගයන්ගේ ක්‍රියාකාරී කොටස් සමග පුළුල් සම්බන්ධයක් ගොඩ නැගීම අප විසින් සිදු කළෙමු. එමෙන්ම එය අප මුල් වටයේදීම ජය ගතිමු. එය අලුත් දේශපාලන පරිච්ඡේදයක ආරම්භයකි.

” ක්‍රම විරෝධී දේශපාලනයක් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් – එනම් ලංකාව වැනි රටක් මෙතරම් දේශපාලන කල්ලි, කණ්ඩායම්, සංවිධාන පවතිත්දී අලුතින් තවත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප ඉදිරිපත් වූයේ ඇයි? මේ සම්බන්ධයෙන් අප තුලවූ සංවාදය කෙටියෙන් හෝ පැහැදිලි කිරීම අපව තේරුම් ගැනීමට පහසුවක් වනු ඇත. 1948 න් මෙපිට ලංකාව සම්බන්ධයෙන් සමාජයේ සෑම දෙනාටම විවේචනයක් ඇත. මාරුවෙන් මාරුවට යූඑන්පී යත් ශ්‍රීලනිප පක්ෂයත් රට පාලනය කල අතර අනෙකුත් පාර්ලිමේන්තු දේශපාලනයේ නියැළුණු (වමේ යැයි කියාගත්) කල්ලි විසින් අඩු වැඩි වශයෙන් ඊට දායක වී ඇත. ඔවුන් සියළු දෙනාටම පාහේ තිබුණේ හුදු බලය ලබා ගැනීමත්, තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමත් පමණය. කිසිවෙකුටවත් දිගු කාලීන හෝ ජාතික වැඩපිළිවෙලක් නොතිබුනේ අහම්බයකින් නොවන බව අප තේරුම් ගත යුතුය. ලංකාව මේ තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුටවත් සමාව දිය යුතු නොවේ. නමුත් අප සමාජය තවමත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ මාරාන්තික නින්දකය. එය කෙතරම් කාලකණ්නි තත්වයක්ද?

අපට ලංකාවේ මේ තත්වය වෙනස් කිරීමට වුවමනා විය. එමෙන්ම එය අතරමගින් පටන් ගත හැකි මට්ටමක නොපවතී. හැම දෙයක්ම මුල සිටම වෙනස් කිරීමකින් තොරව මෙම සමාජ ක්‍රමය වෙනුවට වඩා හොඳ සමාජ ක්‍රමයක් ඇති කිරීම තුළ පමණි සංවර්ධනාත්මක මිනිස් සමාජයක් ගොඩ නැගිය හැකි වනුයේ. අප ලංකාවේ ජාතික කොඩියේ ජාතික ගීතයේ සිටම මෙම වෙනස් වීම දකිමු. මේ අයුරින් ලංකාව විනිවිද යෑම සඳහා සෑම ක්​ෂේත්‍රයකම දැවැන්ත ක්‍රියාදාමයක් අවශ්‍ය වනු ඇත. එය අල්පෙනෙත්තේ සිට රොකට් එක දක්වා සිදුවිය යුතු පරිවර්ථනයකි. මෙම වෙනස් කිරීම පවතින ව්‍යුහය තුල සිට කල නොහැකි බව අප ඉතා පැහැදිලිව කියා සිටිමු. ඒ සඳහා ව්‍යුහාත්මක මෙන්ම අභ්‍යන්තරික වූ වෙනසක් අවැසිය. එය ප්‍රසංස්කරනයක් නොව සම්පූර්ණ කණපිට ගැසීමකි. විප්ලවකාරී මැදිහත්වීමක් යනුවෙන් අපි හදුන්වනු ලබන්නේ එවැනි පරිවර්ථනයකි.

මෙතැනදී ප්‍රශ්න රාශියක් නගනු ඇත. එවැන්නක් අපි වගේ රටක කල හැකිද? කවුද ඒ සඳහා ඉදිරිපත් වන්නේ? යන්න බොහෝ දෙනා ඉදිරිපත් කරන පැණයකි. අපට ඒ සඳහා ඇත්තේ ඍජු පිළිතුරකි. ඔව්! කල හැකිය!

පළමුව තමන් මේ ‘‘කණපිට ගැසීම’’ තමන් තුල කිරීමට සූදානම්ද? එයට පිළිතුර ඔව්! නම් මේ සමාජය වෙනස් කිරීමේ පළමු පියවර ඔහු/ ඇය තබා ඇත. එය සරල හා සුමට නොවේ. සති අන්ත පුවත්පතකට රැඩිකල් ලිපියක් ලීවීම තරම් පහසු දෙයක් නොවේ. කාමර ගතවී විප්ලවය ගැන කතා කරීම තරම් ‘ සීතල’ නොවේ. එබැවිනි අප අලුත් සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාවය නැවත නැවතත් මතු කරන්නේ. විප්ලවීය මිනිසෙකුට හැර මේ කටයුත්ත වෙන අන් කිසිවෙකුටවත් කල නොහැකිය.

දැන් අප ලංකාව සමාජය හැටියට මුහුණ දෙමින් සිටින් සමස්ථ අර්බුධය තේරුම් ගැනීමට පිවිසෙමු. අප මුහුණ දෙමින් සිටින අර්බුධය කේෂ්ත්ර 5 ක් තුල යොමු කරමු. මේ හැම අර්බුධයක්ම ජාත්‍යන්තර මට්ටමින් අපවෙත කඩා පාත් වී ඇත. එනයින් අපගේ විප්ලවකාරී සමාජ පරිවර්තනය යනු මේ කොදෙව්ව පමණක් ඉලක්ක කර ගත් වැඩ පිළිවෙලකින් පමණක් ජයග්‍රහණය කල හැකි එකක් නොවනු ඇත. එනමුත් අප එය ‘කොදෙව්ව’ මට්ටමින් පටන් ගත යුතුය. අප පළමුව පය ගසා නැගිට ගත යුතුය.

අප මුහුණදෙන අර්බුදයන් මෙසේ ගොනු කලහැකිය.

1. ආර්ථික

2. දේශපාලනික

3. සමාජ – සංස්කෘතික

4. යුධමය

5. පාරිසරික

1. ලංකාවේ ආර්ථික අර්බුදය, ඉදිරි පරම්පරා ගණනාවක්ම නයකාරයන් වූ රටක වෙන කතා කරන්න දෙයක් ඉතිරිව තිබේද? ලංකාවේ අද ප්‍රධාන විදේශීය විනිමය ගෙනෙන ආදායම් මාර්ගය වී තිබෙන්නේ වහල් වෙළදාමයි. රටේ සම්පූර්ණ ආර්ථීකය මෙහෙයවනු ලබන්නේ බහු ජාතික සමාගම් හා ලෝක බැංකුව විසිනි. ජාතික නිශ්පාදනය යනුවෙන් කිසි දෙයක් නොවන අතර ඉතිරිව ඇති යම් දෙයක් වෙතොත් එයද විකුණා දැමීමට පිඹුරුපත් සැකසේ. කිසිදු පාලනයකින් තොරව බහු ජාතික සමාගම් විසින් තමන්ට අවශ්‍ය කරන මොහොතක භාණ්ඩ, ද්‍රව්‍යවල මිළ ඉහල දමනු ලබයි. නිශ්පාදන මාදිලියක් නැති, අහිමිකරගත් රටකට සංවර්ධනයක්, දියුණුවක් යනු මිත්‍යාවකි.

2. දේශපාලනය යනුවෙන් අද ලංකාවේ කිසිවක් නැති අතර ලෝක බලවතුන්ගේ උවමනා එපාකම් ඉටු කිරීම වෙනුවෙන් වසර කීහිපයකට වරක් විවිධ මුහුණු බලයට ගෙන එනු ලබයි. අනෙක් අතට දැවැන්ත වප්‍රසාද හා වංචා දූෂණ වලින් කෝටි ගණන් උපයාගන්නා මැති ඇමැති වරුය. එය ප්‍රජාතන්ත්‍රවාදය වශයෙන් සැලකීමේ මහා ඛේදවාචකයකට අප ගොදුරුව ඇත. ඉහලම එකාගේ සිට පහළම එකා දක්වා සෑම ආයතනයකින්ම සෑම ව්යාපෘතියකින්ම මංකොල්ල කති. රටේ සියළුම අපරාධයන් පිටුපස බලය ලබාගත් වූවන් සිටිති. බලය සඳහා ඕනෑම පාවාදීමක් කරති.

3. සමාජයක් හැටියට ඉතා ප්‍රාථමික දේවල් වලින් සංතෘප්ත වන මිනිසුන් වෙතින් දියුණු සංස්කෘතියක් බලාපොරොත්තු විය නොහැකිය. වර්ථමානයේ සියළුම නොපනත්කම් වසාගනු ලබන්නේ වසර 2500 ක ඉතිහාසයට මුවා වෙමිනි. නමුත් අද පවතින සමාජ සංස්කෘතික සෝදාපාළුව කෙතරම්ද යත් කන බොන එකේ සිට නිදි වදින්නේ කොහොමද කියන එක දක්වා මෙහෙයවනු ලබන්නේ ඉන්දියානු – බටහිර බාල ගණය ‘‘ටෙලි නාටක’’ හරහාය. ඉතිං අපට කුමකටද සංස්කෘතික අමාත්‍යංශයක්. ලංකාවේ මිනිසුන්ට දැන් සංස්කෘතිය වශයෙන් කරන්න ඉතිරිව ඇත්තේ සිංහල අවුරුදු වලට ගමට ‘ට්රිප් එකක්’ යෑමත්, වෙසක් එකට ‘දන්සැලක් දීම’ත් පමණය. එයද වෙළදුන්ගේ මෙහෙයවිම යටතට ගෙන ඇති වීම කෙතරම් අපූරුද?

4. 1971 සිට මේ දක්වා යුධමය තත්වයක් තුල ලක්ෂ ගණනක් මිනිසුන් මරාදමා ඇත. දසලක්ෂ ගණනක් අනාතභාවයට පත් කර ඇත. දේපළ ගිනිය නොහැකි ප්‍රමාණයක් විනාශකර දමා ඇත. වෛරය කදුපිටින් මිනිස් සිත් තුළ ගොඩ ගසා ඇත. කාලයක් පුරාවට යුධ වෙළෙන්දන්ගේත්, දේශපාලුවන්ගේත්, ප්‍රධාන යැපීම් මාර්ගය වී තිබුණේ ආයුධ වෙළදාමත් රැකියා ප්‍රශ්නය විසදීමට තරුණයන් බිලි දීමත්ය. සමාජයේ අනෙකුත් සියළුම ප්රශ්න යුධ වාදය තුළ ගිල්වා දමා තිබුණේ දේශප්‍රේමයද තවරාය. මේ වනවිට මේ සියළු දේ කූඨ ප්‍රතියට පැමිණෙමින් තිබේ. අනෙත් පැත්තෙන් ඉන්දියාවත්. ඇමෙරිකාවත්, තම තමන්ගේ මංකොල්ල කෑමේ වුවමනාවෙනුවෙන් මේ රට පාවිච්චි කරමින් සිටී. ඔවුන්ගේ යුධ කඳවුරු හැටියට ගොඩ නගමින් සිටී.

5. අද මුළු ලොවම දැඩි පාරිසරික අර්බුධයකට ගොදුරු වෙමින් පවතී. ධනපතියන් විසින් සූරාකන ලද පාරිසරික පද්ධතිය පාරා වලල්ලක් වී පැමිණ ඇත. අපේ රටේ පවතින ස්වාභාවික සම්පත් අද ඔවුන් මංකොල්ල කන්නත් විනාශ කරන්නත් අවශ්ය කරන මැදිහත්වීම් කරමින් සිටී. සිංහරාජ වනාන්තරයට මෙන්ම ජල සම්පතටද මේ වන විට අත තබා අවසන්ය. එමෙන්ම රටට පරිසරයට ඔරොත්තු නොදෙන දැවැන්ත ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කරති.

මේ සියල්ල විසින් අප වෙත එල්ල කරනු ලබන අභියෝගයන් ජයග්‍රහණය තෙක් රැගෙන යන්නේ කෙසේද? එය රටේ එක ජන කණ්ඩායමකට පමණක් කල හැකි කාර්යයක්ද? අප යෝජනා කරනු ලබන්නේ වැඩ කරනු ලැබුවේ පීඩනයට පත් සියළුම ජන සමාජයන්ගේ ඒකාබද්ධ වූ සටනකි. එහි දියුණුම සටන් කරුවන්ගෙන් බිහිවන නායකත්වයක් විසින් මෙහෙයවනු ලබන අරගලයකි. ඒ යටතේ ඕනෑම සමාජ ස්ථරයකට වුව ඉඩකඩ වෙන්විය යුතුය.

ලෝකයට අද අවශ්‍යවනුයේ විශ්වයීය මිනිසෙකි. ආදරය හා මනුෂ්‍යත්වය රැගෙන එන මිනිසෙකි. ගහ කොළට සතා සිව්පාවාට ආදරය කරන මිනිසෙකි. ජාති, ආගම් දේශ සීමාවන්ගෙන් මිදුනු මිනිසෙකුට පමණි ලෝකය යලි සාමකාමී නිදහස් බිමක් ලෙස ගොඩ නැගිය හැකි වනුයේ. අප අරගලයේ වැඩ පිළිවෙල සැකසී තිබුණේ එවැනි පුළුල් දිසානතියත් වෙතය. එබැවින් මේ වන විට අප වෙත එල්ල වී තිබෙන, එල්ල කරමින් පවතින පටු චෝදනා හා පහරදීම් දුහුවිල්ලක් තරම්වත් නොවටින්නේය. ජයග්‍රහණයට පියවරු සියයක් සිටියද පරාජය අවජාතක යැයි කියමනක් ඇත. සත්‍යය හා යුක්තිය වෙත යන මග වැටී ඇත්තේ කවර මාවතක් ඔස්සේද යන්න අප විසින් නැවත නැවතත් සිතා බැලිය යුතු කාලය එළඹෙමින් පවතී……

ප්‍රියන්ත ගුණරත්න