Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ දේශපාලනයට තිත්ත වන ඇමෙරිකානු මිදි

MRBC924

රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි. ‘‘අයියෝ, ඔය ඇමෙරිකන්කාරයො නැති උනාට අපට වෙච්ච පාඩුවක් කොහේ ද? හොදින් කියන්නේ අපට වසර 2,500ක ඉතිහාසයක් තියෙනවා,අපට පුළුවන් ඔහෙළටත් එක්ක මානව හිමිකම් ඒ ඉතිහාසයෙන් උගන්වන්න.’’ යලිත් ටික දිනකට පසු ‘‘එන්න, අපිත් එක්ක මූලෝපායන් හදන්න’’ යැයි ආයාචනා කරයි.

මේ හැසිරීම පෙන්නුම් කරන්නේ පරිණත දේශපාලන භාවිතයක් නොවේ. එය හරියට අපට ආච්චි අම්මා කියාදුන් ‘නරියා සහ මිදි වැළ’ පිළිබඳ නොදන්නා කෙනෙක් නැති කතාව ය. ඒ කතාවේ හැටියට නරියා ඒ කතාව කියා ගත්තේ තමන්ම රවටා ගෙන හිත හදා ගැනීමට ය. නූතන ශ‍්‍රී ලංකාවේදී නම් ඒ කතාවෙන් රැවටෙන ජනයා බොහෝ ය.

මේ මිදි ‘තිත්තවීමට’ පෙර උඩ පැනපැන ඒවා කෑමට දරන උත්සාහය තේරුම් ගැනීම පිනිස අපට මෑත උදාහරණ තුනක් ගත හැකිය. මෙම නිදසුන් තුනම අයත් වන්නේ පසුගිය මාර්තුවේ දී එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී යෝනාවක් සම්මත කිරිමට පියවර ගැනීමෙන් පසු ය. එනම් එම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් එකසත් ජනපදය සහ ජනාධිපති ඔබාමා සම්බන්ධයෙන් දරුණූ වෛරකාරී ප‍්‍රචාරයන් ගෙන යෑමෙන් පසුව බව මතකයේ තියා ගන්න.

පළමුවැන්න. පසුගිය අගහරුවාදා ඇමෙරිකාවේ බොස්ටන් නුවර පැවති ගම හරහා දිවීමේ තරඟය දිනුම් කනුව අසළට ළගාවත්ම එකක් පසු පස පුපුරා ගිය බෝම්බ දෙකකින් 150කට අධික නරඹන්නන් පිරිසක් තුවාල වී තිනෛකු මිය ගියේ ය.

අලූත් අව්රුද්දට පෙරදා අළුයම යාපනයේ උදයන් පුවත්පත් කාර්්‍යාලයට අවිගත් කණ්ඩායමක් කඩා වැදී වෙඩි තබා ඊට ගිනි තැබීම හෙළා නුදුටු ජනාධිපති රාජපක්ෂ වහාම ඇමෙරිකාවෙහි සිදු වූ බෝම්බ ප‍්‍රහාරය හෙළා දැක්කේ ය. එම ප‍්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙත සිය ශෝඛය ද ප‍්‍රකාශ කළේ ය.

ඉරාකයේ හෝ ඇෆ්ගනිස්ථානයේ පිපිරෙන බෝම්බවලින් මියයන ජනයා ගැන හෝ මෙයට දෙමසකට පෙර මැක්සිකෝවේ සියගණනාවක් තරුණ ජනයා සමාජ ශාලාවක ගින්නකින් මිය යාම ගැන හෝ ජනාධිපති රාජපක්ෂ එවැනි ශෝඛය ප‍්‍රකාශ කිරීමක් නොකරයි.

දෙවැන්න: ජනාධිපති රාජපක්ෂගේ ඥාති පුත‍්‍රයකු වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති පසුගිය දිනෙක ඉංග‍්‍රිසියෙන් ලියා පළ කල ලිපියක මෙසේ සදහන් විය.

‘‘ආර්ථික සහ දේශපාලන බලය පෙරදිගට මාරුවෙමින් ඇති පසුබිමෙහි බටහිර, ආසියාව පුරා ඇති සිය වෙළද සහ යුද සන්ධානයන් ශක්තිමත් කිරීම මගින් ඊට ප‍්‍රතිචාර දක්වති. ජනාධිපති ඔබාමාගේ විදේශ පිළිවෙත ආසියාව ඉලක්ක කර ගැනෙන සහ ‘ඇමෙරිකානු පැසිෆික් ශත වර්ශය’ දිග ශැරෙන මේ අවස්ථාවෙහි එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාව සමඟ පවත්වන මූලොපායික සම්බන්ධතාවය විමසා බැලිය යුතු ය.

‘‘ කලාපයේ දීර්ඝතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාවෙහි වානිජ, යුද්මය සහ සංස්කෘතික හවුල්කාරිත්වයන් උදෙසා මහත් අවකාශයක් තිබේ. දැනටමත් ශ‍්‍රී ලංකාවෙහි විශාලතම ආර්ථික හවුල්කරුවා වන එක්සත් ජනපදයට ලබා දිය හැකි බෙහෝ දේ ශ‍්‍රී ලංකාව සතු ය.

දෙරටෙහි යුද හමුදා අතර සබඳතාවයක් පවතින අතර යු.එස්.එ.්අයි.ඞී. ඇමෙරිකානු ආධාර දිගටම වර්ධනය වී තිබේ…. මෙම අවස්ථා වාසි බවට හරවා ගනු පිණිස එක්සත් ජනපදය සහ ශ‍්‍රී ලංකාව පුළුල් ක‍්‍රියාකාරී මූලෝපායක් සළකා බැලිය යුතු ය. එක්සත් ජනපදය සමඟ ඇති 200 වසරක් පැරණි වෙළද හවුල්කාරිත්වය මත ඉදිරි දශකයන්හිදී එක්සත් ජනපදයේ ප‍්‍රබල භූදේශපාලනික සහ මුලෝපායික මිතුරකු වීමේ විභවය ශ‍්‍රී ලංකාව සතුය.’’

රජපක්ෂ පවුලේ රාජ්‍ය තාන්ත‍්‍රික දේශපාලනඥයකු වන ජාලිය වික‍්‍රමසිංහ මේ කියන්නේ ආසියාවේ නැගී එන චීන බලය සමතුලනය කිරීම පිණිස එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාව සමඟ මූලෝපායික හවුලක් ඇති කර ගත යුතු බවය. ඹබාමාගේ පැසිෆික් යුද දේශපාලන මුලෝපායට ශ‍්‍රී ලංකාව ද සම්බන්ධ කර ගත යුතු බව ය. එමෙන්ම ශ‍්‍රී ලංකාව ආර්ථික සහ යුදමය වශයෙන් එක්සත් ජනපදයට ප‍්‍රයෝජනවත් වනු ඇති බව ය.

තෙවැන්න: ඇමෙරිකානු එක්සත් ජනපදයේ සිත් දිනා ගැනීම පිණිස වරන් වර පාන ආලවන්තකම් හැරුන විට දැන් ඇතෙක් වටින බර පැන ගෙවන කපු මහත්වරුන් ද සේවයට යොදවා ගෙන තිබේ. ඉන් එක් කපුවකුගේ නම රොබට් ජේ. තොම්සන් ය. මෙම කාරිය සඳහා ඔහුට තමා පමණක් සිටින රාජ්‍ය නොවන උපදේශක ආයතනයක් තිබේ. ඔහුට මාසිකව රුපියල් ලක්ෂ 83ක් ඩොලර් 66,000* ශ‍්‍රී ලංකා රජයෙන් ගෙවන බව පෙන්වන ලියැවිලි දැන් අන්තර් ජාලයේ සංසරණය වෙයි.

තානාපති ජාලිය වික‍්‍රමසිංහ විසින් මාට්ටු කර ඇති බව කියැවෙන මෙම කපුවාගෙන් බලාපොරොත්තු වන්නේ ඇමෙරිකානු ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් මානව හිමිකම් ගරු කරන රටක් ලෙස යහපත් අදහසක් ඇති කරවීම ය. මෙම මුදල ගෙවන්නේ පුදුමාකාර ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවෙනි.(තවත් අපුරු කතාවක් තිබේ. එනම් මෙම තොම්සන් උපදේශක ආයතනයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධෙයන් විශේෂඥයා වශයෙන් පත් කර ඇත්තේ තොම්සන්ගේ රියැදුරු ලෙස ලීමෝසීන් කාරයක් කුලියට දෙන තිලක් මොහාන් සිරිවර්ධන නම් අයෙකි. මේ දෙදෙනා 2010 ජනාධිපතිවරණ සමයේ දී ජෙනරල් පොන්සේකා වෙනුවෙන් වැඩ කර තිබේ.)

මෙම කපුවාට අමතරව මසකට ඇමෙරිකානු ඩොලර් 33,000ක් බැගින් ගෙවා ‘මැජෝරිටි ගෘප්’ නම් තවත් ඇමෙරිකානු සමාගමක් ශ‍්‍රී ලංකාණ්ඩුව කුලියට ගෙන තිබේ. එම සමාගමට දැන් වසර පහක් තිස්සේ ම මෙම කුලිය ගෙවනු ලැබේ. මෙම සමාගම් දෙකට ගෙවන මුදල එක්සත් ජනපදයෙහි ශ‍්‍රී ලංකා තානාපති කාර්්‍යාලය වෙනුවෙන් කරන වියදමෙන් අඩක් තරම් විශාල මුදලක් බව සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක් වාර්තා කළේ ය.

මේ ඇත්ත ශ‍්‍රී ලංකාවේ ජනයාගෙන් වසං කැරෙන්නේ ඇයි?

ඒ කෙසේ වෙතත් මේ සියළු කපුකම් තිබියදීත් ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කළේ නැත. එහි මෑතම ප‍්‍රකාශනය නම් ශ‍්‍රී ලංකාවට දෙන ආධාර සියයට 20කින් පා හැරීමට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් යෝජනා කිරීමයි. ඊට එක් හේතුවක් වශයෙන් ඔහු දක්වන ලද්දේ එක්සත් ජනපදය උතුරෙහි සරණාගතයිනට සහායවීම පිණිස ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළ වැඩ සටහන් ගණනාවක්ම යුදහමුදාව සහ රජය මැදිහත් වී වෙනත් මාර්ගයන්හි රැගෙන ගිය බවයි.

මේ වනාහී උතුරෙහි ජන ජීවිතයට යුද හමුදාව ඇඟිළි නොගසන බවට ශ‍්‍රී ලංකාණ්ඩුව පුන පුනා කියන කතාව පුපුරුවා හැරීමකි. එක්සත් ජනපදය 2013 වසර සඳහා ලබා දෙනු ලබන ආධාර වැඩිම කප්පාදුවකට ලක්ව ඇත්තේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙනි.

රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් මෙම ආධාර කප්පාදුව ප‍්‍රසිද්ධ කිරීමට සතියකට පෙර ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් ජේ. සිසෝන් මෙරට විදේශ වාර්තාකරුවන්ගේ සංගමය ඇමැතුවා ය. එහිදී අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය කෙලින්ම කියා සිටියේ පසුගිය මාර්තුවේ දී මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාව ක‍්‍රියාවට නැගීමට ශ‍්‍රී ලංකාණ්ඩුව පියවර නොගත හොත් සිය ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය තුල මෙන්ම ඉන් පිටත ද ගත හැකි වැඩි දුර පියවර සළකා බලන බවයි. ස්වාධීන අන්තර් ජාතික පරීක්ෂණයක් යන්න ඇය එහිදී අවධාරණය කළා ය.

ඇය සිය අදහස් දැක්වීම මුලදීම කියා සිටි කරුණක් වුයේ එල්ටීටීඊ ය පරාජය කිරීමේ ව්‍යායාමට සිය ආණ්ඩුව නොපැකිළ සහාය දුන් බව ය. එල්ටීටීඊ ය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කොට එය ලබමින් සිටි ජාත්්‍යන්තර මුල්‍ය ආධාර නතර කිරීමට මූලිකත්වය ගත්තේ එක්සත් ජනපදය බව ඇය කියා සිටියා ය.

බෙහෝ දෙනෙකු අසන ඊළගට වෙන්නේ කුමක්ද යන ප‍්‍රශ්නයට පිළිතුර ඇත්තේ ලංකාණ්ඩුව ගන්නා පියවර මත බව ප‍්‍රකාශ කළ ඇය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දීත් ලබන වසරේ මාර්තු මාසයේ දීත් මහ කොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ඇති වාර්තා මත පදනම්ව ඊළඟ පියවර ගැනෙනු ඇතැයි කීවා ය.

එක්සත් ජනපදය මෙන්ම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය විදේශ කාර්්‍යාංශය ද අවධාරණය කළ එක් වැදගත් කරුණක් වූයේ මෙරට ජනමාධ්‍ය නිදහස යි. ජනමාධ්‍ය නිදහසට එල්ල වන තර්ජන නතර කිරීමත් යුද්ධ කාලයෙහි ජනමාධ්‍යට එල්ල කරන ලද ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පිහිටුවීමට අත්‍යවශය වන බව දෙරටම නැවත නැවත කියා සිට තිබේ.

යළි මිදි තිත්ත වීම පිළිබඳ කාරණයට එමු. රාජපක්ෂ ආණ්ඩුවට මෙළෙස ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමානයකු සේ විවෘත පිළිවෙතක් ගෙන යාමට බැරි වී ඇත්තේ ඇයි? ශ‍්‍රී ලංකාවේදී සිය අනුගාමිකයින් ලවා ඹබාමාගේ පඹයින් පුච්චමින් අධිරාජ්‍යවාදී ඇමෙරිකාව භංගවේවා යැයි කියන අතර කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජන මුදල් වැය කරමින් ඇමෙරිකාව යාලූ කර ගැනීමට වළි කෑමට සිදුව තිබෙන්නේ ඇයි?

දේශපාලන රුවටිල්ල ද? මානව හිමිකම් කෙළෙසීම් වසා ගැනීමට දරන ප‍්‍රයත්නයක් ද? නැත්නම් ඒ දෙකම ද?

@Image Credit:President Mahinda Rajapaksa meets President Barack Obama at the UN | www.transcurrents.com

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya