Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Politics and Governance

‘එයාල බලහත්කාරයෙන් හරි සාමය ආරක්ෂා කරන්න ඕන! එතකොට බොදු බල සේනාව?’

(බොදු බල සේනාවට එරෙහිව හැව්ලොක් පාරේ පැවති පළමු විරෝධතාව අවලංගු කිරීම කෙරෙහි පෞද්ගලිකව දක්වන ප‍්‍රතිචාරයකි)

Monk BBS
[නිහඬ විරෝධතාව පිළිබඳව නිව්ස් ෆස්ට් විකාශය කළ වීඩියෝවෙන් උපුටා ගත් ඡායාරූපයක්]

එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන සිකුරාදා) ලෝරිස් පාරට යාබද සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිල්ල ඉදිරිපිට හැව්ලොක් පාරේ දී ප.ව. 7.15ට පමණ මට යළි වතාවක් මතක් කරන ලද්දේ අප රට තුළ කිසි ම නිදහසක් නැති බව යි.

දැන් වසර 45ක් පමණ වයසැති මට, 30 වසරක දිගු කාලයක් තිස්සේ නානාවිධ ආකාරයෙන් විවිධ අවධිවල නොයෙක් තැන්වල දී යළි යළිත් මතක් කර දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් උගුලක සිරව සිටින බව යි. අපගේ භීතිය, අපගේ නොඉවසීම, අපගේ නොදැනුම, බලයේ සිටින බලවතුන් කෙරෙහි හෝ සුරක්ෂිතව එහි මෙහි යාම සහ සුරක්ෂිතව ජීවත් වීම සඳහා අපට ම තිබෙන දැඩි අවශ්‍යතාව කෙරෙහි ඇති බැටළුවෙකුට සමාන අපගේ කීකරුකම නිසා සිරව සිටි අපි දැනුදු එම උගුලෙහි සිරව සිටිමු – ඇත්තට ම නම් තව තවත් සිර වෙමින් සිටිමු.

මම නීතිඥයෙක්, මාධ්‍යවේදියෙක්, ශාස්ත‍්‍රඥයෙක් හෝ ක‍්‍රියාකාරිකයෙක් නො වෙමි. අප ආරක්ෂා කරනු පිණිස අප ම බල ගැන්වූ හමුදාවල් කරන බිය ගැන්වීම් නිසා හිරිහැරයට පත්ව සිටින මම හුදු සාමාන්‍ය පුරවැසියෙක්මි. අපගේ දුර දිග නොබලන, ඥාති සංග‍්‍රහකාර ආණ්ඩු, අපගේ දූෂිත දේශපාලනඥයන්, අපගේ උද්ධච්ච නීතිය බලාත්මක කරන නිලධාරීන්, අපගේ අන්තවාදී ආගමික නායකයන් සහ අපගේ නොදැනුමෙන් යුතු, සෑහීමට පත් පුරවැසියන් නිසා මම හෙම්බත්ව සිටිමි. මම පැහැදිලිව ම වෙහෙසට පත්ව සිටිමි.

එදා හැන්දෑවේ මා මගේ සැමියා සහ දරු දෙදෙනා සමග හැව්ලොක් පාරට ගියේ, අප රටේ අඳුර තුළ සංකේතාත්මකව ඉටි පහනක් දල්වා, ඒ මොහොතෙහි සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිල්ල තුළ සිය මූලස්ථානයෙහි රැස්වීමක් පවත්වමින් සිටි දැන් කුප‍්‍රසිද්ධ බොදු බල සේනාවේ අන්තවාදී දේශපාලනයට නිහඬ විරෝධතාවකින් විරෝධය පෑමට පැමිණි බොහෝ දෙනා හා එකතුව සිටි මගේ සොහොයුරිය, ඇගේ සැමියා සහ මිතුරන් කිහිප දෙනෙකු සමග එක් වීමට ය.

BBS Monk
අප අත තිබූ ඉටි පහන් විසි කරන ලෙස ගෝරනාඩු කරමින්, අප වහා අවනතව විසිර නොගියොත් අත් අඩංගුවට ගන්නෙමැයි තර්ජනය කරමින් අප එතැනින් ඉවත් කිරීමට අප පසුපස හඹා ආ චණ්ඩ පොලිස් භටයා නිසා මම මුළුමනින් ම පාහේ වික්ෂිප්ත වීමි! පාර එහා පැත්තේ භික්ෂූහු දෙදෙනෙක් කෑ ගසා පොලීසිය පොලඹමින් සිටියහ. ඔවුන් සමග සිටි බව පෙනුණු මැරයෝ කිහිප දෙනෙක් අසභ්‍ය ලෙස අප සියල්ලන් දෙසට මොර දෙමින් සහ ඉඟි කරමින් සිටියහ. අපි මවිත වීමු. අපි පොලීසිය සහ භික්ෂූන් අපේක්ෂා කළ නමුත් වෛරය; ප‍්‍රචණ්ඩත්වය; එතරම් ම බිය සැක නැතිව බලය, තනතුර අයුතු ලෙස යොදා ගැනීම අපේක්ෂා නො කළෙමු. විනාඩියක් ගත වන්නටත් මත්තෙන් මගේ සොහොයුරියට ඒ වන විටත් පාර එහා පැත්තේ පිරවුම් හල අසල සිටි ඇගේ සැමියාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. සියත ඉටි පන්දමක් දරා ගෙන එහි සිටි හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන තිබිණ! ඔහු ලෝරිස් පාරට පැමිණ සෙනගට එකතු වුණා පමණකි. සිදු වෙමින් පැවති දෙය වටහා ගන්නටත් කලින් ඔහුට තවත් කිහිප දෙනෙකු සමග ජීප් රියට නැගීමට සිදු විය. කිසිවෙකු ඔහුට කන් නො දෙන්නට ඇත. ඔවුහු ඔහු බම්බලපිටිය පොලිස් ස්ථානයට රැගෙන ගියහ. පැයකට පසුව ඔහු මුදා හළ නමුත්, එය සිදු වූයේ මගේ මස්සිනා අත් අඩංගුවට ගැනීම පිළිබඳව මගේ සැමියා කතා කිරීමට ගිය පොලිස් භටයා මගේ සැමියාගේ තරමක් අවුල් සහගත නම වටහා ගත නොහැකිව මොහොතක් පොරොත්තු වී මුසල්මානුවෙකු වීම නිසා මුස්ලිම්කාරයෙක් යැයි ඔහුට චෝදනා කිරීමට කලින් නො වේ! එක් කලෙක දෙමළ ජාතිකයෙකු වීම සැලකිය යුතු තරමකට අනාරක්ෂිත විය, දැන් මුසල්මානුවෙකු වීම නිසා ය! නිහඬ විරෝධතාව සඳහා කල් තියා පැමිණ සිටි අනෙක් අය ඒ වන විටත් තර්ජනය කොට විසුරුවා හැර තිබුණහ, කිහිප දෙනෙක් අත් අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබුණහ. මම ඉමහත් සන්තාපයට පත්ව සිටිමි, කෝපයට පත්ව සිටිමි, සියල්ලටත් වඩා වෙහෙසට පත්ව සිටිමි. මගේ ආදරණීය පුරවැසි සගයනි, ඔබ දැනට මත් මෙය වටහා ගෙන නැත් නම් මට පවසන්න ඉඩ දෙන්න, අප රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිය ගොසිණි.

වයස 10ක පමණ සහ වයස 15ක පමණ මගේ දරු දෙදෙනා ද මා සමග උන්හ. ඒ අසල ජීවත් වන අපි ඉටි පන්දම් දල්වා සාමය පතා නිහඬ විරෝධතාවක් පවත්වන ඒ මනරම් සැඳෑව නිරුපද්‍රිත යැයි සිතුවෙමු. අප වැරදි විය. මා පුතු භීතියට පත් විය. මා ගැටවර දියණිය භ‍්‍රාන්ත විය. අප වෙන රටකට සංක‍්‍රමණය විය යුතු දැයි ඔවුහු ඇසූහ! 1983 දී මා 15 වන වියෙහි පසු වූවා මට මතක ය. වසරක් ගත වුණු තැන මා හාත්පස සිටි සියල්ලෝ ම කැනඩාවට හෝ අන් තැනකට සංක‍්‍රමණය වූහ. අපි නො ගියෙමු. මේ අපේ රට බවත්, අප පලවා හැරිය නොහැකි බවත්, පලවා හරිනු නැති බවත් මගේ තාත්තා කී ය. ගිලෙන නැවක් අත් හැර යන්නේ මීයන් පමණකි යි ඔහු කී ය. ඔහු අදහස් කළේ කැරලිවල බලපෑමට ලක්ව සිටි අය නො ව, වඩා හරිත පැහැ තණ බිම් සොයනු පිණිස ඒ මොහොත තම වාසියට යොදා ගත් අය ගැන පමණකි. තම තක්සේරුවේ දී ඔහු බෙහෙවින් නිර්දය වුණා වැඩි යැයි මම සිතුවෙමි. ඔහු එසේ වී යැයි මම දැනුදු සිතමි. අපි වාසනාවන්ත වීමු; අපගේ සිංහල අසල්වැසියෝ අප ආරක්ෂා කළහ, අප පුළුස්සා දැමීම වැළැක්වූහ. ඒත් අනෙක් අය එතරම් පින්වත් නොවූහ. භීතිය හැම තැන ම විය. තමන් අවතැන්ව ඇති බවක්, තම දේපොළ ඉඩකඩම් පැහැර ගෙන ඇති බවක් බොහෝ දෙනාට හැඟිණ. ඔවුහු විමසා බැලූහ: තමන් ශ‍්‍රී ලාංකිකයන් ද?, තමන් ශ‍්‍රී ලංකාවට අයත් ද? ඉතින් ඔවුහු පිටව ගියහ. කාට නම් ඔවුන්ට දොස් කිව හැකි ද? එහෙත් මට මගේ පියාගේ වචන කිසි දා අමතකව නැත. ඔහු අදහස් කළේ කුමක් දැයි මම වටහා ගතිමි. ඔහු අදහස් කළේ, ගමන් මග අසීරු වන විට පලා නො ගොස් රැඳී සිට වෑයම් කරන්න යන්න යි. ඔහු අදහස් කළේ මේ රටට දීමට ප‍්‍රගතිය සහ සමෘද්ධිය කරා යා හැකි මගක් සොයා ගන්න යන්න යි. ඔහු අදහස් කළේ ශ‍්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බර වන්න යන්න යි: එනම්, මේ සියල්ල තිබිය දීත්, අප යහපත් සහ සමත් මිනිසුන් ය යන්න යි.

ඒත් තාත්තේ, ඔබ යන්තම් වත් නිවැරදි වී දැයි අද මම සිතා බැලූවෙමි. යුද්ධය අවසන් ය. මා නොපිළිගත්ත ද අවසානයෙන් ක‍්‍රියා මාර්ග යුක්ති සහගත විය, එය අවසන් වීම ගැන මම සතුටු වෙමි. මට සුරක්ෂිත බවක් දැනේ. මා අවදි වන්නේ අද මගේ දරුවන් පාසල ඇරී ගෙදර ඒ දෝ යි දෙගිඩියාවකින් නො වේ. මෝටර් රථයක පිටකුරුවෙන් නගින පිපිරුම් හඬක් හෝ රතිඤ්ඤාවක් පුපුරන හඬක් අසා ‘මගෙ දෙයියනේ, තවත් බෝම්බයක්!’ යැයි මම නො සිතමි. ඔව්, මා එසේ නොසිතන තරම් ය. අපගේ ජීවිතවලින් වැඩි කාලයක් සටනින් කැළැල් වුණු රටක ගත කර ඇති අපි සාමයට ඇබ්බැහි වෙමින් සිටිමු.

එනමුත් අප හාත්පස හැම තැන ම සාමයේ ලකුණු වෙයි, නොහොත් අපට එසේ කියනු ලබයි. මාර්ග ඉදි වෙයි, නව වරායවල් සහ ගුවන් තොටවල්, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන, සාප්පු සංකීර්ණ, කර්මාන්ත ශාලා ඉදි වෙයි! උතුරේ තිබෙන ඉඩම් කොල්ලය සහ නිවාස අහිමිකම ගණන් ගන්න එපා; දකුණේ සිටින අකීකරු වල් සතුන් ඈත් කර තැබීමට දිය වළවල් පිරවීම ගණන් ගන්න එපා. ක‍්‍රීඩා දේශපාලනීකරණය වීම; ඇමතිවරුන්ගේ පුතුන් නිසා විටින් විට ඇති වන සුළු ඇන කොටා ගැනීම්, පක්ෂග‍්‍රාහී, රාජ්‍ය පාලිත මාධ්‍යය සහ අධිකරණ සංහතිය අමතක කර දමන්න; ජීවන වියදම, පෙට‍්‍රල් මිල ගණන්, විදුලි ගාස්තු, ප‍්‍රජා විරෝධතා මධ්‍යයේ පොලීසියේ ආරක්ෂාව යටතේ බලාත්කාරයෙන් පුරවන කසළ ගොඩවල් නිසා ඇති වන ලෙඩරෝග; රට තුළ පවතින නොපනත්කමේ සාක්ෂියක් වන ස්ත‍්‍රී දූෂණය සහ අපයෝජනය විශ්වාස නොකළැකි තරමට ඉහළ යාම අමතක කර දමන්න. ඒ සියල්ල අමතක කර දමන්න. යුද්ධය අවසන් ය. අපි අපගේ ආණ්ඩුවට මොන ම දෙයකට වුව සමාව දෙන්නෙමු.

මුසල්මානුවන්ට අඩන්තේට්ටම් කිරීමට? ඔව් ඇත්තට ම ඔවුන් වඩා පරිස්සම් සහගත විය යුතු ය. ඒ එසේ වුවත් ඇත්තට ම ඔවුන්ට මේ රටට ඇති අයිතිය එය ද? පොලීසියෙන් බිය ගැන්වීම? අයිසෙ ඒ ගොල්ල කරන්නෙ එයාලගෙ රාජකාරිය! එයාල බලාත්කාරයෙන් හරි සාමය ආරක්ෂා කරන්න ඕන! එතකොට බොදු බල සේනාව? අහෝ, අහිංසක භික්ෂූන් වහන්සේලා නොවැ. එයාල ගැන තකන්න එපා. මේ හැම දේ ම මාධ්‍යයේ අතිශයෝක්ති විතර යි! එතකොට රාජ්‍යයේ අනුග‍්‍රහය ලබන ප‍්‍රචණ්ඩත්වය? ඉතා ම වැරදි හැඟීමක්! එයාල අප ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්තා මතක නැද්ද? එයාලට කාලය දෙන්න. එයාල අප පෙරට ගෙන යන හැටි බලා ඉන්න. එයාලට… කාලය විතරක් දෙන්න.

අපි බැටළුවෝ වෙමු. අපට නවසීලන්තය සමග ඇති පොදු දෙය කුමක් ද? එහි ද මිනිසුන්ට වැඩියෙන් බැටළුවෝ සිටිති! එහෙත් අද විරෝධය පෑමට මිනිස්සු පැමිණියහ. බොහෝ දෙනෙකු නාවත් අපි පැමිණියෙමු. අපි චණ්ඩ ලෙස විසුරුවා හරින ලදිමු. කමක් නැහැ. රාජ්‍ය පාලිත හමුදාවලින් බොදු බල සේනාවට සහාය ලැබෙන සැටි අපි ඇස් පනා පිට ම දැක ගත්තෙමු. අපි සත්‍යය දුටුවෙමු. අහෝ, අපි එය මුල සිට ම දැන සිටියෙමු. එහෙත් අද එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි ය. අප ආණ්ඩුව සිටිනුයේ භීෂණයට මුවා වී ගෙන ය. එය සිටිනුයේ අන්තවාදී බෞද්ධ දේශමාමකත්වයට මුවා වී ගෙන ය. අප ජනතාව බියෙන් අළලා තබා ගැනීමට, මිලිටරිය පෙනී සිටීම යුක්ති සහගත කිරීමට ඊට තවත් හේතුවක් අවශ්‍ය ය. ඒකාධිපතිත්වයන් ගොඩ නැගෙන්නේ එලෙසිනි.

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් යනු කිමැ’
යි වරක් ගුරුවරයෙකු තම සිසුන්ගෙන් විමසූ විට ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් යනු අපගේ ම ඒකාධිපතියන් තෝරා ගැනීමට තිබෙන නිදහසැ’යි ඔවුන් පිළිතුරු දුන් බවට කතාවක් ඇත. සත්තකින් ම අප කර තිබෙන්නේ එය යි. ඒත් ‘ඔබට ඇතැම් ජනයා සදහට ම මුළා කළ හැකි ය, සියලූ ජනයා යම් කලකට මුළා කළ හැකි ය, එහෙත් ඔබට සියලූ ජනයා සදහට ම මුළා කළ නොහැකි යැ’යි කී එකා කවුරු ද. අහා, ඔව්, ඒබ‍්‍රහම් ලින්කන් ය. මේ අනුව බැටළුවා තවත් නැත! අප අතර යහපත් සහ සමත් මිනිස්සු සිටිති. එනිසා බිය නොවන්න. මේ විදියට බැලූවා ම සමහර විට ඔයා හරි තාත්තේ. අද ජනයා පැමිණියහ. ඒ ජනයා රැඳී සිට වෑයම් කරනු ඇත. පොලීසිය සහ භික්ෂූහු වරදක් කළහ. සියලූ දෙනා හැම විට ම බිය නොවන බව ඔවුහු අමතක කළහ. ඇතැම් විට චණ්ඩ භාවය විරෝධතා ගින්න අවුළුවයි. එය එසේ වේවා. සාමාන්‍ය, සැම දා පුරවැසියන් වන අපගෙන් තව තවත් අය නැගී සිට විරෝධය පාත්වා. අපගේ අතීතය අමතක කරන්න? අපගේ ආණ්ඩුවලට සමාව දෙන්න? එයාලට කාලය දෙන්න? එවැනි ලේ වැකි මගකට නම් ඉඩක් නැත!

SCT – පුරවැසියෙකි